Saturday 27 May 2023

ඔබ වෙනස් වේ නම් මට ඔබේ ඉරණම වෙනස් කල හැක - සිංහලයන්ට පියසේන​, ද්‍රවිඩයන්ට දියසේන​, සීවලයන්ට (සිව්-හෙලයන්ට​) දියසෙන්

 වෙනසක් සඳහා ලියමින් සිටි තොරතුරු නවතා වෙන අතකට යොමු කිරීමට මෙය ලියමි. ඒ තව දුරටත් මෙලෙස අන්තර්-ජාලයට තොරතුරු දිය යුතු ද නැද්ද කියන ප්‍රශ්ණය විසඳිය යුතු නිසා ය​. මෙතෙක් ලියපු දෙයින් කිසිදු ඵලක් නො වු නිසා, කියවන්නට ඇත්තේ පත්තර බලන්නන් හා දේශපාළුවන්ට කඩේ යන වහළුන් යයි සිතේ. මම කල බොහෝ දෙයින් එසේ වාසි ගත් වසලයන් (වස ලේ ඇති උන්) රටවැසියන් නොමග යැවූ ආකාරය මම දනිමි. දැන් ගඟට ඉනි කැපීම නොකල යුතු තැනට පැමිණ ඇත.  

බොහෝ කලකට පසු නැවත මෙම blog යන මගින් බැහැරව වෙනත් ආකාරයකින් සක්‍රීය කිරිමට සිතුවේ කාළීණ තත්වය සලකා බලා එය කලයුතු නිසාය​. ඔබ අද ලංකාවෙ සිටී නම්, ඔබ නිරායාසයෙන් ම වැරදි මග ගොස් විනාශ මුඛයට ආසන්න කෙනෙකි. අපි තෝරාගන්න මග අනුව​, එනම් අපි ජීවත් වන ආකාරය අනුව අපි ජීවත් වෙනවා ද නැසෙනවා ද කියන එක තීරණය වෙනවා. ඔබට අත් වන ඉරණම දැක මම ඔබ ඉන් බේරා ගැනීමට 2018 ඔක්තෝබර් මස ලංකාවට ආවෙමි. කොවිඩ් නිසා ගමණ කෙලවර කර ආපසු ආවේ 2022 ඔක්තෝබර් ය​. මම අත් දුටු සියල්ල තුලින් ඔබට හිමි ඉරණමින් ඔබ බේරා ගැනීම අතහැරියේ ඔබ තෝරා ගෙන ඇති මග වැරදි නිසා ය.

ඔබ තෝරා ගත් නායකයන් නිසා අද ඔබ මරු මුවට ලඟා වී ඇත​. එසේ සිටියදීත්, ඔබ ඔවුන් පසු පස ම යන්නේ කලින් ගිය ලෙසම ය​​. එක් පසකින් මනුෂ්‍යත්වය පිළිකුල් කරන බහුතරයකි. අනෙක් පසින් ඉවක් බවක් නැතිව ජීවත් වන පරිසරය මෙන් ම මෙතෙක් ගොඩ නගා ගත් සියළු සම්මත බිඳිමින්, රුපියල් සොයා ගොස් ඒ තුලින් අටවා ඇති උගුලේ පැටලී එදා වේල කන්න දඟලන අතිබහුතරය කරන විනාශය දරා ගැනීමට රටට නොහැකිය​. නියත වශයෙන් ම ඔබ විනාශ වන බව දනිමි. එය එසේ විය යුතු ය​. ඒ ඔබ තෝරා ගත් මග ය​. මෙය ශ්‍රී ලංකාව වැනි පුංචි රටකට සීමා වුවක් නොව​, මුළු ලෝකය පුරාම සිදුවෙමින් පවතී. අද මුළු ලොවම තෝරාගෙන ඇත්තේ ඉංග්‍රීසීන් හඳුන්වා දුන් මංකොල්ල කෑම සඳහා යෙදූ මැර පාලනයයි. ඒ තුල ඇති සියළු ආයතන කරන්නේ ද මංකොල්ල කෑම ය​. අද මංකොල්ල කෑමට තැනක් නැති නිසා මුළු ශිෂ්ටාචාරය ම බිඳ වැටෙමින් පවතී. ඒ තුල හැදුනු වැඩුනු ඔබ දන්නේ කරගෙන ගිය දේ එලෙස ම කරගෙන යාමට ය​. ලබා ගත් දැනුම හැර වෙන් දැනුමක් ඔබට නැත. කලින් තෝරා ගත් නායකයන් නැවත තෝරා ගැනීමට සිදු වේ​. ඉන් වෙනසක් නොවේ. දිනෙන් දින මෙතෙක් වූ ආකාරයට ඉදිරියටම යනු ඇත​. මෙතෙක් පැවති සියළු ශිෂ්ටාචාර අතුරුදහන් වූවා සේ ඔබ සමඟ අද පවතින ශිෂ්ටාචාරය අතුරුදහන් වනු ඇත​. ශිෂ්ටාචාර ගොඩ නැගෙන්නේ ඔවුන් තෝරා ගත් මග අනුවය​. කලකට පෙර රෝමානු ශිෂ්ටාචාරය අති ප්‍රබල විය​. අද ඒ තුල සිටි කිසිවකු පණ පිටින් නැත​. ඔවුන් වඳ වී ගොස් ය​. නුදුරු කල ඔබ ද ඔබේ දරු පවුල ද එලෙස අතුරුදහන් වනු ඇත​.

මෙසේ බිහි වූ සියළු ශිෂ්ටාචාර බිඳ වැටුනත් එක ශිෂ්ටාචාරයක් පමණක් එසේ නොවේ. එය අද ඔබෙන් ගිලිහී ගිය "සිංහල​" ශිෂ්ටාචාරයයි. ඔබ තෝරාගත් වැරදි මග නිසා, ඔබ තෝරාගත් හොරුන් ගේ හා මෝඩයන් ගේ නායකත්වය නිසා, ඔබට එය අහිමි වුවත්, අදත් ඒ තුල සිටින මට ඔබට ඇති අභියෝග, උදාවෙන ව්‍යසනය හා මරණ භිය නැත​. ඒ මා ජීවත් වන සිංහල ජීවන රටාව නිසා ය​. එසේම මා සතු හැකියාවන් නිසා ය​. මම උත්සාහ කල ද, ඒ මගේ උරුමය ඔබට හඳුන්වාදීමට නොහැකි වූයේ ඔබ තෝරා ගත් මගේ දිගට ඇලී සිටි නිසා ය​. ඔබ මගේ රටට කල විනාශය අති මහත් ය​. මුළු පරිසරය ම වනසා ඇත​. මෙය මගේ දෑසින් දැක තහවුරු විය​. එතරම් විනාශයක් කල ඔබ වඳ වී යා යුතු ය. අද මගේ රට තුල හිරවී සිටින ඔබට මරණ දඬුවම හිමි විය යුතු ය​. එය ඔබ කල විනාශයෙන් ඔබ උපයා ගත් දෙයකි.

සිංහලයන් අතර අනාදිමත් කලක සිට අද වන සිදුවීම් ගැන කියමින් සිංහල ජාතිය ගොඩ නගන කෙනෙක් ගේ පැමිණිම ගැන අනාවැකියක් පැවති බවත්, පැවති තොරතුරු මත ඒ මම බවත් කලින් පැවසුවෙමි. මගේ කාරිය ඉටු කිරීමට අවශ්‍ය වුවත්, ඊට ඔබ සුදුසු නොවන්නේ ඔබ වෙන මගක ගිය නිසා ය​. අද ඔබ වැටි ඇති වලෙන් ගොඩ ගැනීමට බොහෝ දියසෙන් ලා, විශ්ව ශක්තිකාරයන්, ධ්‍යාන ලාභීන්, උගතුන්, බුද්ධිමතුන්, මෙන් ම, සුදු හුනු ගාගත් රට වනසපු දේශපාළුවන් ද පොරකන්නේ කටුවකට පොර කන සුනඛයන් ලෙස ය​. ඔබ වරක් පැන්නු පාලකයන් නැවත දියසෙන් කෙනෙක් කර වැළඳ ගෙන වැටුනේ කබලෙන් ලිපට ය. අද ඔබට නායකත්වය දෙන්නෙ, තමන්ට හිමි වුන ප්‍රබලම දේශපාලන පක්‍ෂය බින්දුවට බැස්සු, භීෂණයට මුල් තැන දෙන කෙනෙකි. රෝමානු ශිෂ්ටාචාරය බිඳ වැටෙන විට පාලකයා කලේ වයලිනය වාදනය කිරීමයි. අද පාලකයන් දීප්තිමත් අනාගතයක සිහිනය දකී. මෙතෙක් ආ මගේ කිසිදු වෙනසක් නැත​. එලෙස ම ඉදිරියට යනු ඇත​. අභියෝග වලට මුහුණ දී ජය ගත හැකි එකෙක් නැත​. හේතුව ඔවුන් සියලු දෙනා ම දන්නෙ ඉංග්‍රීසීන් හඳුන්වා දුන් ආකාරයට වහළුන් සේ කියන ඕන දෙයක් කිරීම ය​. අද වහළුන් සේ යා හැකි සීමාවට ලඟා වී ඇත​. මග පෙන්නු උන් ද අතරමන් ය​. පසු පසින් ගිය උන් නන්නත්තාර ය​. හෙට උදාවන දීප්තිමත් අනාගත සිහිනයේ නින්දට ගොස් ය​. මියෑදෙන විට හැසිරීම එසේ ය​.

ඔබට මෙසේ වූයේ ඔබ කල තේරීම් ය​. එකම වරද නැවත නැවත කලේ ය​. ඔබ දුටුවේ ඇමේ ඇති කෑම පමණි. ඒ පසු පස තිබෙන කොක්ක දැක්කෙ නැත​. දුටුව ද ඔබ අන්ධයකු සේ ඇමේ ඇති කෑමට ලොල් විය​. දැන් එහි රඟ දැනුන ද පරක්කු වැඩි ය​. අද මගේ රට තුල හිරවී සිටින ඔබට මම දෙන අගය රුපියල් 1.00 කි. එනම් ඔබේ කිසිදු වටිනාකමක් නැත​. ඔබ අද වසංගතයකි. ඉන්න මොහොතක් පාසා කරන්නේ විනාශයකි. මම ඔබට තව වරක් දෙමි. එසේ කරන්නේ ඔබ මුලා කලේ දියසේන වෙස් ගත් වසලයන් නිසා ය​. උන්ට මගෙන් ද යම් සහායක් හිමි වූ නිසා ය​. ඉන් ඔබේ හෙළුව මම දුටුවෙමි. ඔබ අමන මැටි මෝලුන් ය​. ඕන කෙනෙක් තමන් දියසෙන් කී පමණින් පිළිගන්නා බූරුවන් රැසකි. අද හිඟන්නන් ද දියසෙන් වී ඇත​. කී දෙනෙක් උන් දියසේන යයි විශ්වාස කරනවා ද​? ඒත් ඔය කියන දියසෙන් ලා කී දෙනෙක් අනුන් රවටා යැපෙන හිඟනුන් ද? උන් මෙතෙක් කල කී දේ මොනවා දැයි ඔබ සෙව්වේ නැත​. යන මග නොදැන ගියොත් අතරමන් වේ. අන්ධයකු සේ කන වැල අල්ලගෙන ගියොත් ඔබ වලවල් වල වැටෙනු ඇත. අද ඔබ ඉන්නේ එවැනි ගමණක් ගිය නිසා ය. දියසෙන් කියා ගන්නා සමහර වසලයන් නිධන් හාරා ඔබට සුරලොව සැප දෙන බව කියති. විශ්ව ශක්තියෙන් ලෙඩ දුක් ප්‍රශ්ණ විසඳති. උන් මෙතෙක් කල් මොනව ද කලේ කියා ඔබ උන් ගෙන් ඇහුවා ද​?

අද ඔබට දියසේන විහිළුවකි. මුසාවකි. දිනෙන් දින කල් යන අනාගතයක හීන මවන්නෙකි. එසේ වන්නෙ ඔබ සිංහලයකු නොවන නිසා ය. කවුද ඒ කියා සොයාගන්න තරම් පරිනත බුද්ධියක් ඔබට නැත. හිඟමනට ඇබ්බැහී වුවන් අතර සිටින තවත් හිඟන්නකු වී ඇති නිසා ය​​. බොරුවෙන් වංචාවෙන් දිවි ගෙවන නිසා ය​. එවැන්නන්ට ඇත්ත පෙනෙන්නේ බොරුව ලෙස ය​. මේ කතාව ගැන මම උනන්දුවක් දැක්වූයේ එහි ඇති ඉතාමත් තිර බව නිසා ය​. එය ඇත්ත ද නැත්ත ද සෙවීම ඉතා පහසු ය​. එලෙසම කියන කතාවට අනුව හරියට ම මම උපත වූ වෙලාවට වසරකට පෙර ය​. යමෙක්, යම් දිනක, යම් තැනක අන්තිම විනාඩියට උපදින බව සඳහන් කතාව කුඩා කල සිට අසා ඇති මට, ඇත්තක් යයි සෙවීමට සිත් වූයේ වෙනත් රටක වෙනත් දෙයක් කරමින් සිටින විට ය​. එය සැබෑවක් ද නැද්ද යන්න සෙවීමට අවශ්‍ය සියළු උපක්‍රම යොදා සෙව්වෙමි. අවසානයේ එය සැබෑවක් බවත් එය වැරදුනේ ඉන්දියානු සංක්‍රමණිකයන් සිංහල ක්‍රමයට නොව ඉංග්‍රීසි ක්‍රමයට දින ගණනය කල නිසා බවත් තහවුරු විය​. එලෙසම ඒ නම ද ඒ ප්‍රදේශයට හෝ සිංහලයන්ට ආවේනික නමක් නොව ද්‍රවිඩකරණය වීමෙන් බිහි වූ නමක් වීම නිසා තවත් අවුල් වී ඇත​. අන්තිමට සියළු තොරතුරු නිරවද්‍ය කල විට​, ඒ සඳහන් වූයේ මම යයි තහවුරු විය​. හඳහන තුලින් සියල්ල දැකිය හැක​. සිංහල උරුමයෙන් එන හඳහන මෙතෙක් මා දුටු ඉහලම දැනුම අයත් ලේඛණයක් බව තේරුම් ගැනීමට නම් ජීවය බිහි වන ආකාරය මැනවින් දත යුතු ය​. ඉංග්‍රීසීන් කාලගුණය කියන ආකාරයට ම උපදින වෙලාවේ ග්‍රහ පිහිටිම් අනුව​, විවිධ තනතුරු හොබවන උන් අනුව පවසන ඉන්දියානු ජ්‍යෝතිෂ හිතළු නිසා අද හඳහනේ වටිනාකම හීන වී ඇත​. එහෙත් යන්තමින් හෝ දන්න කෙනෙකුට එම මොහොතේ සැකසෙන හඳහන කෙතරම් බලවත් දැයි සිතා ගත හැක​. ඒ මම යයි තහවුරු කිරීමට බොහෝ දේ කලෙමි. එම කතාව වැදගත් වන්නේ අදාළ කෙනාට පමණක් බව තිර කර ගතිමි. සැබවින් ම අන් අයට කිසි දින තේරුම් ගත නොහැකි කතාවකි. කෙසේ වෙතත් අද තමන් දියසේන/දියසෙන් කියන අය ගැන අඩුම තරමින් කිසිදු සොයා බැලීමක් කිරීමට තරම්වත් ඔබ හැකියාවක් නැති කෙනෙකි. එවැන්නන් මනුෂ්‍යත්වයට සුදුසු නොවේ. මම කතා කරන්නේ ඒ කතාව හිතට දැනෙන, ඒ බලාපොරොත්තුවෙන් සිටින අයට ය​. ඔබ දියසේන නමින් දන්නා කෙනා ඔබ අසා ඇති පරිදි සාමාන්‍ය කෙනෙකු නොව ලොව ජයගන්නා කෙනෙකි. ඔබ සෙවිය යුත්තේ එවැන්නෙකු ය​. එසේ නම් ඔබ දිනනු ඇත​. ඔබ අද මුහුණ දෙන බරපතල ප්‍රශ්ණ සියල්ල මට නම ඔබේ මෝඩකම නිසා බදා ගත් සුළු ප්‍රශ්ණ ය​. ඉන් ගැලවිය නොහැක්කේ ඔබේ ම වරදින් ය​.

යම් හෙයකින් ඔබ යන මග අතහැර, සිංහලයන් වී මා යන මග යන්නේ නම් ඔබේ ප්‍රශ්ණ නිරාකරණය කර​, ඔබ හිතනවාට වඩා දියුණු ජීවන රටාවක් හිමි කර දිය හැක​. දැනට ම මේ ගැන හැඳින්වීමක් ප්‍රසිද්ධ කර ඇත​. මට ඔබෙන් වරප්‍රසාද, තනතුරු හෝ සම්පත් කිසිවක් අනවශ්‍ය ය​. මට කිසිදු ප්‍රශ්ණයකින් තොරව ජීවත් වීමට අවශ්‍ය සියල්ල ඇත​. මිනිසුන් ලන් කර ගැනීමට මට කිසිදු වුවමනාවක් නැත්තෙ එය කරදරයක් නිසා ය​. මම ඉදිරිපත් වන්නේ විසඳුම් වෙන කිසිවකු සතු නොවන නිසා ය​. ඒ සඳහා මම පසුබිම කරගන්නේ ඉංග්‍රීසීන් බිහිකල චොර තාක්‍ෂණය​, දැනුම​, යන්ත්‍රෝපකරණ වලට වඩා සිය දහස් ගුණයකින් ඉදිරියෙන් සිටින සැබෑ ලෝකය ගොඩනැගුණු ආකරය උපයෝගි කර ගෙන ය​. කිසිසේත් ඔබ අසා ඇති දියසෙන් ලා කියන ආකාරයේ මිථ්‍යාවන් තුලින් නොවේ. ඒ සඳහා මම මෙතෙක් කල කී දෑ කියන විස්තර අයත් ලිපි  9 ක් මේ බ්ලොග් එකේ ඇත. ඉන් මම කල කී දෑ දැක මා හඳුනා ගන්න​. අවශ්‍ය නම් මගෙන් ඉල්ලුවහොත් පමණක් ඔබගේ ඉරණම විසඳන විසඳුම් දිය හැක​. මම ඔබ පසු පස විත් ඔබේ තියෙන වටිනාකමට හෝ වෙනත් දෙයකට ඔබව බේරා ගනී යයි සිතන්නේ නම් එය විහිළුවකි. ඔබ කල විනාශයට ඔබට උරුම ඉරණම හිමි වේ නම් එය වරදක් ලෙස මම නොදකිමි. නිසි කල නිසි තැන නිසි පරිදි ඉල්ලුවහොත් පමණක් ඔබේ ඉල්ලීම ඉටු වන බව මතක තබා ගන්න​. මෙම කොන්දේසිය දමන්නෙ කලයුතු දේ කොතරම් බරපතල ද දුෂ්කර ද කියන එක මම දන්න නිසා ය.

මට ඔබව රැවටීමට අවශ්‍ය නැත​. ලැබෙන දේත් නොලැබෙන දේත් පළමුව කියමි. තේරීම ඔබ සතු ය​. මම ලංකාවෙන් ආවේ සියල්ල අමතක කර වෙනත් ආකාරයක ජීවිතයක් ගත කිරීමට ය​. එහෙත් ඇතුලතින් එන හැඟීම් නිසා මෙය කීවෙමි. උදව් අවශ්‍ය කෙනෙකුට එය දීම මගේ යුතුකමයි.



https://sinha-ali.blogspot.com/2021/09/1.html

සිට

https://sinha-ali.blogspot.com/2022/12/9.html

 දක්වා

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.