Sunday 7 November 2021

මගේ වග තුග (මගේ වත ගොත) - 5 කොටස

ඔස්ට්‍රේලියානු ජීවිතයේ ලොකු වෙනසක් වූ කාලය කෝයෝ එකෙන් අස්වීමෙන් ටික කලකට පසු සිදු විය. මේ වන විට භාරි ද රැකියාවක් සඳහා කාලය ගත කලා. බිස්නස් එක හරහා ලැබුනු කොන්ත්‍රාත් වැඩේ වගකීම වූයේ ලූකස් හයිට්ස්වල ඉදිවුන නව රියැක්ටර් එකේ කොටසක් වූ නියුට්‍රන් ඉන්ස්ටෘමන්ට් බීම් ප්‍රොජෙක්ට් එකේ අවශ්‍යවන උපකරණ සඳහා ඉංජිනේරු තාක්ෂණික හා විද්‍යාත්මක තොරතුරු ගොණු කර මිලදී ගැනීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් සැකසීම ය. මේ project එකේ විද්‍යාඥයන් අට දෙනකු යටතේ ඉන්ස්ටෘමන්ට්ස් අටක් තැනීමටත්, ඉලෙක්ට්‍රිකල් හා ඩේටා සිස්ටම් ඉන්ජිනියර්ස්ලා දෙදෙනා සමඟ වැඩ කිරීමටත් සිදු විය. මේ දස දෙනාම ආචාරී උපාධි දරණ ක්ෂේත්‍රයේ ඉහල තලයේ සිටි අයයි. ඒ අතර ඔස්ට්‍රේලියන්, බ්‍රිටිශ්, ජර්මන්, රසියන් මෙන්ම ඵ්‍රෙන්ච් අය ද විය. සහායට තාක්ෂණික නිළධාරීන් හා මම අධීක්ෂණය කල ඉංජිනේරු මයිකල් ඩියුරා ද විය. නියුට්‍රන් ඉන්ස්ටෘමන්ට් බීම් ප්‍රොජෙක්ට් එක යනු ඔවුන්ගේ බසින් cutting edge technology ය. එනම් සහායට කිසිදු පෙර කල දෙයක් නැති start from scratch වර්ගයේ වැඩකි. එසේම විද්‍යාඥයන්ට හා ඉංජිනේරුවන්ට එකට වැඩ කරන එක ලේසි නැත. විද්‍යාත්මක අවශ්‍යතා පමණක් ගොණුකල Instrument proposals තුලින් පටන් ගත යුතු විය. මෙහිදී රහස්‍යභාවය රැකීමට නාමිකව හෝ විද්‍යාත්මකව ඒ තුල අඩංඟු වූ දේ නොකියමි.

වැඩ බිම ඉතාම ආරක්ෂිත තැනකි. Australian Protective Service හරහා ඇතුල්වීම පිටවීම පාලනය විය. Shoot to kill බලය ඇති ඔවුන් ඉදිරියේ වැරදීම් වලට ඉඩ නැත. වරක් මම සමඟ අභ්‍යන්තර ගේට්ටුවක් හරහා යමින් සිටි තාක්ෂණවේදී ප්‍රංශ මිතුරා අතින් වූ වරදකට arrest කරන බවට ආරාක්ෂාවට සිටි APS officer තර්ජනය කලේය. ආරක්ෂාව එතරම් දැඩිය. එසේම ඉබාගාතේ තැන තැන යාමද තහනම් ය. ID නැතිනම් නෝ එන්ට්‍රි ය. පාස්වර්ඩ් වෙනස් කරපු වේගය කොතරම් ද කියනවා නම් අදත් අංක මතක තබාගැනීමට අපහසු ය. අනෙක් පැත්තෙන් ක්‍රියාත්මක වූ පරණ රියැක්ටර් එක නිසා එය අධි අවදානම් කලාපයකි. ඒ වටා කිලෝමීටර් ගණනක් ඈතට විහිදුන ප්‍රදේශය ජනවාසවලින් තොර කැලෑවකි. හදිසියක දී පළමුව වසන්නේ ඇතුළවන පිටවන ගේට්ටුවයි. අවදානම පහවන තුරු designated ආරක්ෂිත ස්ථානයට වී සිටිය යුතුය. ගොඩනැගිළි සියල්ල සංවෟත ය. අවශ්‍ය විට වාතය ඇතුල්වීම පිටවීම නවතන ආකාරයට එයාර් සර්කියුලේෂන් යුනිට්ස් ඇත. ගෙදර මෙන් දොර ජනෙල් ඇරිය නොහැක. රියැක්ටර් යනු හෙන්ඩුවෙන් පාලනය කරන ඇතෙකු වැනි පාලනයක් සහිත තැනකි. පාලනයෙන් ගිලිහුනොත් බඩුම තමයි. එසේම රේඩියෝඇක්ටිව් වායුන් නිපදවන අතර ඒවා ඉහල ආකාශයට මුදා හැරේ. සීමා ඉක්මවා ගියොත් එය අවට සිටින පවුල් අවදානමට ලක්වේ. සේවකයන් ලෙස ඉහල radiation exposure limits ඇත්තේ රියැක්ටර් ආසන්නයේ ඇති රේඩියේෂන් හා භාවිතයේදී වන මුහුණදීම සේවයේ කොටසක් නිසා ය. මම දුටු සුවිශේෂ දෙයක් නම් පෙන්ෂන් ගොස් මාස කිහිපයකින් පිළිකාවෙන් මියගිය අය ගැන කරන දැනුම් දීමයි.

න්‍යෂ්ටික තාක්ෂණය සීමිත කොටසකට හිමි රහස්‍ය තාක්ෂණයකි. මම මීට පෙර ලංකාවේ ඇති ඇටොමික් එනර්ජි ඕතරිටි හරහා Level 2 Radiography inspection බලය ලබාගෙන සිටියෙමි. ඒ තෙල් ටැංකි වල වෙල්ඩින් පරික්ෂාවටයි. මා සමඟ එම පුහුණුව ලැබූ මගේ ඩෙපියුටි ඉංජිනියර් වූ ඵර්නැන්ඩුපුල්ලේ ටික කලකට පසු පිළිකාවකින් මිය ගොස් ඇත.  රැකියාව කරන අයට මෙම ක්ෂේත්‍රය මාරක අභියෝග කරයි. එහෙත් අදාළ ඉන්ස්ටෘමන්ට්ස් වලින් කරන කාර්යයන් ගත් කල රියැක්ටර් එකෙන් ජනනය කරන න්‍යුට්‍රන්ස්, බීම් එකක් ලෙස ගෙන කරන පරීක්ෂණ ඉතාම සංකීර්ණ ක්‍රියාවළි ය. එක් එක් ඉන්ස්ටෘමන්ට් සඳහා භාවිතා කරන ආකාරය වෙනස් ය.

මගේ ප්‍රථම කාර්යය වූයේ විද්‍යාඥයන් සැකසූ proposals වල අඩංගු අවශ්‍යතා ඉංජීනේරු අවශ්‍යතා වලට පරිවර්තනය කර design, construction and supply සඳහා අවශ්‍ය specifications හා tender documents සැකසීම ය. මේ සඳහා දෙයාකාරයකින්, එනම් විද්‍යාත්මක ඇසින් හා ඉංජිනේරු ඇසින් බැලීමට හැකි විය යුතු ය. සරලව, කරලා බලා ප්‍රථිඵල ලබා ගැනීමත්, පවතින handbooks, codes, standards වලට අණුකූලව ඉල්ලන අවශ්‍යතා සපයන උපකරණ ගොඩ නැගීමත්, අවශ්‍ය තැන අළුත් තාක්ෂණය ගොඩ නැගීමත් මේ දෙයාකාර ලෙස කිව හැක. විද්‍යාඥයන් භාවිතා කරන න්‍යුට්‍රෝන ඇසට නොපෙනෙන කුඩා අංශු නිසා බලාපොරොත්තු වන උපකරණවල accuracy ඉතා ඉහල විය යුතුයි. උදාහරණ ලෙස උපකරණ වල X Y Z axes වල accuracy 0.00001 mm වැනි අවශ්‍යතා විද්‍යාඥයන් සඳහන් කර තිබුනි. මෙහිදී මගේ කාර්යභාරය වූයේ පවතින බටහිර තාක්ෂණයෙන් සේවා සැපයීම ය. මා සතු අදාළ නොවන තාක්ෂණයක මීටත් වඩා ගොඩක් ඉහල accuracy ලබාගත හැකි වුවත් හෙළි නොකලෙමි. පවතින බටහිර තාක්ෂණය ගත් කල ඉල්ලා ඇති අවශ්‍යතා ඉටුකල නොහැකි බව කියමින් ක්ෂේත්‍රයේ නියුතු නිෂ්පාදකයන්ගෙන් විමසන ලෙස ඉල්ලුවෙමි. ඔවුන් මා කී දේ තහවුරු කර නිසා නැවත විද්‍යාත්මක අවශ්‍යතා නිර්ණය කෙරුනි. පවතින නියුට්‍රන් බීම් තාක්ෂණයේ ඉමේ සිට ගොඩ නගන මේ instruments සඳහා සියලු අවශ්‍යතා දැන සිටිය යුතු ය. මගේ අදහස අදාළ තාක්ෂණයන් හෝ පුද්ගලයන් ගැන කතා කිරීම නොවේ. එසේම රහස්‍යතා ගිවිසුම් ද ඇත. අවශ්‍ය කෙනෙක් අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න. මම මුල් තැන දෙන්නේ කොහේ ගියත් මොනවා කලත්, මට ලැබෙන්නෙ ම, කල නොහැකි දේවල් බව කීමටයි. කට් ඇන්ඩ් පේස්ට් ජොබ් එකක් ලෙස සැලකුවත්, සැබෑව වූයේ proposals අංඟ සම්පූර්ණ නොවීමයි. අතරට නොදන්න හිස් තැන් ආවිට වැඩක් ඇන හිටී. දැන් මගේ වැඩ කිරීමට, මේ නොදන්න හිස් තැන් පිරවිය යුතු ය. නොඑසේ නම් progress නැත. milestones කැලේ ය. අන්තිමට විද්‍යාඥයකු ලෙස ද දැනුම ප්‍රගුණ කර, design, construction and supply සඳහා අවශ්‍ය specifications හා tender documents සැකසුවෙමි. අතරමැද හිරවී සිටි අය මෙන්ම අවශ්‍යතා නිවැරදිව හඳුනා නොගත් අය ද මේ නිසා මා කල සේවයට තම gratitude නොපැකිළව ප්‍රකාශ කල විට සතුටක් දැනුනි. එහෙත් ඇතුලතින් මේ උපකරණ කොතරම් සරල දැයි දැනුනේ ඔවුන් කරන සියල්ල එකම instrument එකෙන් කල හැකි තාක්ෂණය පෞද්ගලිකව මා සතු වීම නිසයි. මේ රැකියාව තුලින් අළුත් ක්ෂේත්‍රයක ප්‍රවීණයකු වීමි. සමහරු තමන්ට ම හිමි ගුරු මුෂ්ටි වූ රහස්‍ය දැනුම මගේ කටින් ඇසීමෙන් මට ඉතා සමීප විය.  ඒවා ලිඛිතව නැත.

මා ඔස්ට්‍රේලියාවට ගියේ ලංකාවේ ගෙවූ ජීවිතය ගෙවන්න නොවේ. එහෙත් වුනේ බින්දුවෙන් පටන් ගන්නයි. මේ වන විට අපි දෙදෙනාම රැකියා කල අතර ප්‍රථම වරට brand new කාරයක් මිල දී ගත් අතර අනෙක අතිරේක ලෙස තබා ගතිමි. බොහෝ විට බැටරි චාර්ජ් කිරීමට පමණක් පැදෙව්වෙමි. මේ කාලය තුල ම, බලාපොරොත්තු වූ ආකාරයටම නිවසක් පැරමටා අවටින් බැංකු ණයෙන් ගත්තෙමු. ගෙය නූතන ක්‍රමයට නොව ලංකාවේ ආකාරයට බිත්ති මත වහල රැඳවූවකි. බරපතල පැලීම් වූ නිසා වෙන කිසිවකු නොගත් බැවින් ඉඩමේ වටිනාකමට නිවස සමඟ මිල දී ගැනීම, පසුව, තවත් කල නොහැකි අභියෝගයක් වූයේ ට්‍රේඩීස්ලාට දුන් පළමු ජොබ් එකම අසාර්ථක වී මගේ දෑතින් නිම කරන්නට වීමෙනි. ඔස්ට්‍රේලියාවෙ මේ වගේ ගෙවල් අද හදන්නෙ විශේෂ ඒවා ලෙස ය. බහුලව ඇත්තේ ලී රාමුව ඇටවූ නිවාස ය. සාමාන්‍යයෙන් වසර තිහක් ආයු කාලය ලෙස ගැනේ. මෙය නිවාස ණය ගෙවීමට ඇති වසර තිහක කාලයට සමාන ය.  මේ සඳහා වසර තිහක් එක දිගට රැකියාව කල යුතු ය. පවතින පසුබිම ගත් කල එය ඉටු නොවන තරම් ය. බොහෝ විට විකුණා දමන නිසා අදාළ නැත. නිවසට ණය ගැනීමේ දී බැංකුව සියල්ල සූරා ගනී. මෙම නිවස ගත් කල අධික වාහන යන ප්‍රධාන පාරකට මුහුණ ලා සිටීම නිසා දෙදරුම් කම්පණයට ලක්වීමත්, නොනවතින කාලගුණික වෙනස්කම් නිසා ඇතිවන කම්පණයත් නිසා ඝණ බිත්ති ඉරි තලා කපරාරුව පෝරු පිටින් කඩා වැටීමත් විසඳිය නොහැකි ප්‍රශ්ණ බව දැන සිටි උන් නිවස මිලදී ගැනීමට පසුබට විය. මම ඉරි තැලූ තැන් පිළිසකර කලේ ලෙබ්බෙකු යොදාගෙන ය. ඊට පසු දින හතලිහක දිග නිවාඩුවක් දාගෙන පුතා සමඟ අපි දෙන්නා  ලංකාවට ඇවිත් බොහෝ ඓතිහාසික තැන් වලට ගියේ අසල ඇති ගෙස්ට් හවුස් හෝ හෝටලයක නැවතෙමිනි. යාමට බැරි වූයේ කලින් ගියපු නුවරඑළියට පමණි. මේ ගමනේදී බොහෝ කතා ඇසුවෙමි. ඒ අදාළ තැන් වල අතීතය ගැනයි.

නැවත ආවේ අප මිල දී ගත් නිවසටයි. හදපු බිත්ති ඒ කාලය තුල ඉරි තලා මුල් තත්වයට ඇවිත් තිබුන නිසා කඩා ඉවත් කලෙමි. දැන් බදාම වැඩ කරන්නේ මමයි. මට ම ආවේණික තාක්ෂණය යොදා හෙමින් හෙමින් පිළිසකර කලෙමි. ලියන මොහොතේත් ඒවා ඉරිතලා නැත. ඒ සමඟ නිවස පිළිසකර කිරීමේ සියලු වැඩ මම කලෙමි. සැබැවින් ම අවසන් කලේ 1918 ඔක්තෝබර් 18 දින ගුවන්තොටට යාම ද කලින් යා යුතු පැය හතරෙන් පැයකින් පමා කරමිනි. නිවසට ආවේ 2005 වසරේ ජනවාරි වලයි.  උපාධිමානෙන් වෙහෙසීමෙන් මගහැරපු භාරිගෙන් ලැබුනු පිටුවහල ඉතා අල්ප ය. පුතා ද ගියේ ඒ මගයි. තනිව ම බලාපොරොත්තු වූ ආකාරයට ම වැඩ නිම කිරීමේදී අදාළ වැඩ සියල්ලෙන්ම දැනුම ලැබුවෙමි. විශේෂ වැඩ සඳහා ලාංකික සුදේශ් ද දකුණු අඵ්‍රිකාණු ඉන්දියන් ඇලන් ද යොදා ගතිමි. මෙම නිවස තරම් අභියෝග දුන් වෙනත් නිවසක් නැති තරම් ය. වරක් ජල කාන්දුවක් නැවතීමට නොහැකිව plumber දෙවියන් යදින්න පටන් ගත්තේ ය. එවිට මම ඔහුට උදව් කලෙමි. ඒ ක්‍රමය 2010 දී වූ ලෝක ප්‍රසිද්ධ disaster එකක් විසඳීමට යෝජනා කල නැවුම් තාක්ෂණයක මුල් කොටස විය. මෙහි waste pipe line මෝඩකමේ උපරිමය සංකේතවත් කරන චොර තාක්ෂණයේ ඵලයකි. බොහෝ විට පිළිසකර කරන එක ඉතාම දුෂ්කර අභියෝගයකි. පවතින ඉංජිනේරු තාක්ෂණය කොතරම් චොර දැයි තේරුම් ගැනීමට මෙම අත්දැකීම ද ඉවහල් විය. එසේ ම විසඳුම් ලෙස නව තාක්ෂණික ක්‍රමවේද සොයාගැනීම ද සිදු වූයේ මුහුණ දුන් ප්‍රශ්ණවලට විසඳුම් ලෙස ය.

මගේ ජීවිතයේ වටිනා ම සොයාගැනීම් වූයේ මම දැරූ පෞද්ගළික උත්සාහය තුලිනි. ඒ නිසා කාටවත් කීමට හෝ ලිවීමට අවශ්‍ය නොවී ය. එළඹි කාලය තුල මා සිතු මගේ සාමාන්‍ය දැනුම එසේ නොවන බවත් අසාමාන්‍ය බවත් දැනෙන්නට විය. මෙය අත්දැකීම් බහුලවීම සමඟ ඇතිවන ස්වයං හඳුනාගැනීමක් හෝ self realisation ලෙස හඳුන්වමි. එනම් කාගෙවත් බාහිර බලපෑමකින් තොරව සත්‍යය හෙවත් සැබෑව මනාව තහවුරු කර ගැනීම ලෙස අරුත් දේ. මට සාපේක්ෂව අනෙක් අයගේ හැකියාවන් ඉතා පහල මට්ටමක පවතින බව තහවුරු විය. තම ක්ෂේත්‍රයට ප්‍රවීනයන් වූ දහදෙනෙකු සමඟ ගණුදෙනු කිරීමත්, ඔවුන්ගේ ක්ෂේත්‍රයේ මුහුණ දෙන ගැටළු විසඳා දීමට තරම් සමත් වීමත්, ඔවුන්ගේ දැනුමේ ඉම ඉක්මවා යමින් කටයුතු කල ද ඔවුන් මෙන් පීඩනයට ලක් නොවීමත් තරමක අමුතු බවක් ඇති කලා.

මේ කාලය තුල මා අසා ඇති මෙන් ම සොයාගත් විවිධ කතා, විශේෂයෙන් ම මෝඩ චොරයන්ගේ බැලයන්ට මිථ්‍යාව හෝ හිතළු ලෙස පෙනුන කතා විශ්ලේෂණය කලෙමි. ඒවායේ ඇත්ත නැත්ත සෙවීමට බොහෝ උපක්‍රම යොදා මධ්‍යස්ථ ව සොයා බැලුවෙමි. විවිධ ජාතීන්ට හිමි විවිධ කතා මෙන් ම ඓතිහාසික ව, ඔවුන් සතුව පැවති උරුමයන් ගැන සෙවීමේ දී, සිංහලයන් සතුව පැවති තොරතුරු තුල පමණක් ඇත්ත බව සනාථ විය. ඊට සමගාවී ව පැවති අනෙක් ජාතීන්ගේ කතා හුදු ප්‍රබන්ධ බවත් ඒවායේ මූල සිංහලයන් සතුව පැවති තොරතුරු බවත් දුටිමි. වෙන්වීම හා නූතන චොර ආධිපත්‍යය සමඟ බිහි වූ චොර බලපෑම් සමඟ විවිධ ලාභ ප්‍රයෝජන තකා බිහි වූ සාවද්‍ය විකෘර්ථිවීම් වලට මුල් තැන දීම සමඟ, ඇත්ත අහිමි වූවා සේ ම යම් දුරස්ථ වීමක් දුටිමි. මාගේ දැනුමේ අගය ලැබෙන වැටුපෙන් මැනීම ඉවසුම් නොදෙන අසාධාරණයක් බව මේ කාලයේ දී ඒත්තු ගත්තෙමි. මෙම න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ රැකියාව අවසන් වූ විට වෙනත් රැකියාවක් ලැබුන ද එය ප්‍රතික්ෂේප කලේ interview ගොස් අධිවේගයේ එන අතරමග මුහුණු දුන් අනතුරුදායක සිදුවීමක් නිසා ය. මෙතැනින් මගේ ජීවිතයේ වහළකු සේ රැකියාවක් කිරීම අවසන් විය. මේ වන විට භාරී හොඳ රැකියාවක නියුතු වූ නිසා වැඩි බලපෑමක් නොවී ය. ලියන මොහොතේ ආපසු හැරී බලන විට, එසේ නොකලා නම්, අද වන තෙක් ආ මග ඇහිරී පුතාගේ අනාගතය ද අඳුරු වන බව පැහැදිළි නිසා ය. මගේ පෞද්ගළික සෙවීම් හා අත්හදා බැලීම් සඳහා වැඩිපුර කාලය යෙදුවෙමි. පුතා මුහුණ දුන් අභියෝග හමුවේ, මම ඔහු සමඟ නොසිට රැකියාවකට ගියා නම්, අධ්‍යාපනය පවා අත හරින බව ස්ථීර ය. මේක ලියන මොහොතේ, ඔහු තෝරාගත් ක්ෂේත්‍රයේ ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව ලෝකයේ මුල් තැන ගත්තේ ය. මේ අතරේ භාරිගේ වැඩකටයුතු ද කර අත්දැකීම් ලැබුවෙමි. කොතරම් කලත්, ඇයගේ රැකියාවෙන් යැපුන සමය පුනා පුනා මතක් කරන විට, ඔවුන්ගේ හැසිරීමේ තවත් පැති කඩක් අනාවරණය විය. තේරීම් නැති නිශ්චිත ගමනක ගිය ජීවිතයේ මේ කොටස ද ඒ අනුවම ගෙවී ගියා.

කැපුවත් නිල් බයියන් අතරේ හැදී වැඩී බයියකු වූ මම 2005 දී ජනාධිපතිවරණයෙන් අපේ කෙනෙක් දිනුවා යයි සිතුවෙමි. ඒ නිසා ඥ්‍රාති සබඳතා උපයෝගී කරගෙන ලිපියක් යොමු කලෙමි. එම යෝජනාව 2013 අගෝස්තු මස මතක සටහනක් ලෙස බ්ලොගයට එකතු කලෙමි. එහි පුරුක https://sinha-ali.blogspot.com/2013/08/blog-post_22.html ය. විශ්මය වූයේ එය දැක තරමක් කලබල වී මම අභියෝගයක් විය හැකියි යන හැඟීම පෙන් වූ බව මට නැවත ලැබුන පිළිතුර වීම ය. මම පෞද්ගළික ව සිටි තැන හෙළි කරනවා නම්, මට අවශ්‍ය වූයේ අපේ පැත්තේ එකාට උදව් කර මේ රට ලෝකයේ බලවත් ම රට බවට පත් කිරීමයි. ඒ ලිපියේ අන්තර්ගතය ඔවුන්ගේ කරගෙන ක්‍රියාත්මක වීමේ දී රටට මෙන්ම ඔවුන්ට ද අනපේක්ෂිත ඵල නෙලාගැනීමට සිදු විය. චන්ද්‍රිකා සමයේ මෙන් රටට ඒමට සිත් නොවීම පසුව ඉතා සුභ දෙයක් වූයේ කම්බ හොරුන්ගේ බැලයකු නොවීම යයි කිව හැක. ඒ ලිපියේ අන්තර්ගතය හා එවීමේ යථාර්තය හරියට පැහැදිළි වුනේ ඊට බොහෝ කලකට පසු ය. කෙසේ හෝ ඉතා ශූක්ෂම ලෙස පියසේන යන නම  ටෙලිනාට්‍ය තුලින් අවමානයට ලක්කිරීමක් වී ඇති බව දුටුවේ බොහෝ පසු කාලයකයි. මෙතෙක් බිහි වූ කූටම දේශපාළුවන් සමඟ යම් වෙනසක් වී නම් ඒ ඊ ළඟ ජනාධිපතිවරණයේ දෙරණ හරහා කල මතවාදී සහාය ලෙසින් මම කල අවඥාසහගත ප්‍රචාරණයයි. මේ සමයේ මම නොයෙකුත් මාධ්‍ය හරහා සිංහලයන්ගෙ යයි ලේබල් ගසා පල කල උරුමයන්ට එරෙහිව විවිධාකාර ප්‍රතිචාර දැක්වීමි.

1990-94 කාලය තුල මා හිස මුදුණින් පුරුදු පුහුණු වූ ඉංග්‍රීසිකම බිඳ වැටීමේ ආරම්භය විය. ලංකාවෙ ඉන්න ගිරවුන් දෙන අධ්‍යාපනය දෙකට ම නැති හිඟන උපක්‍රම බව වැටහුන අතර, ඉංග්‍රීසි උරුමය ඇති උන් ලැබූ අධ්‍යාපනය ඒ තුල සැඟවුන ඇත්ත හෙළි කලා. නන්නත්තාර වූ, එහෙමත් නැත්නම්, සිරකරුවන් වහළුන් ලෙස තම යැපීමට හිතළු ඇත්ත ලෙස සළුපිළි අන්දා කරන බටහිර අධ්‍යාපනය, චොර (සොර, සුර) දැනුම බවත් එහි ඇති ව්‍යාකූල බවත් ප්‍රත්‍යයක්ෂ වෙන්න පටන් ගත්තා. මෙය Self Realisation හෝ ස්වයං තේරුම් ගැනීම ලෙස හඳුන්වමි. ඒ තමන් ඒ තුල ගිලී ඉන් ලබන අත්දැකීම් තුලින් ඇත්ත නැත්ත හඳුනාගැනීමේ ඵලයයි. මෙයට වෙන කිසිවකුගේ සහායක් නැත. මෙහි උපරිමය 2006 වසරේදී ලඟා වූවා යයි කිව හැක. බටහිර දැනුම, සූදු කෙලීමෙන් ලබාගන්නා අත්දැකීම් මත ගොතපු, හිතට එන අදහස් හෙවත් හිතළු සාගරයක් බවත්, ඇත්ත ඊට බොහෝ ඈත බවත් තහවුරු වන විට, ඊට පිටින් යමින්, ඇත්ත මත ගොඩ නැගූ දැනුම බිහිකිරීම 2006 කම්බ හොරාට ලියපු යෝජනාවේ අරමුණ වුව ද ඒක ඊට එහා ගිය ක්‍රියාවළියක ආරම්භය බව පසුව දුටුවෙමි. එනම් දේශපාලනික ක්ෂේත්‍රයට යොමු වීමේ ආරම්භය විය. ඊ ළඟ කොටසින් මම ගැනත් ශ්‍රී ලාංකිකයන් ගැනත් ඇත්ත දුටු කාලය ලෙස වැදගත් වේ. ඊ ළඟ කොටස, තීරණාත්මක දිනයක් වන 2012 අප්‍රේල් 12 ලෙස පසුව හඳුනාගත් දිනයක කල අත්හදා බැලීමෙන් අවසන් වී නව ආරක දැකීමක් සනිටුහන් කරපු කාලයේ සිදුවීම් සුළුවෙන් ලිපිගත කිරීමකි.

 



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.