Monday 27 September 2021

මගේ වග තුග (මගේ වත ගොත) - 2 කොටස

 1979 - 1983

මේ කාලය තුල පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයනය කලෙමි. අග මුල පැටළුනු අධ්‍යාපන ක්‍රමයේ උසස් පෙල සිංහලෙන් කර පළමු වසරේ ඉංග්‍රීසියෙන් හැදෑරීමට සිදුවීම, ගමෙන් ගාල්ලට ගිය විට වූ දේ ම නැවත වීමකි. එක විෂයයක් ද්‍රවිඩයකු ආවේනික ස්වරූපයෙන් ඉංග්‍රීසි උච්චාරණය කල නිසා කිසිවක් තේරුනේ නැත. අවසාන ඵලය වූයේ වසර අවසානයේ ඉන් අසමත් වීමයි. මුල් කාලය තුල නවක වදයට ගොදුරු විය. එකල සෝමේ මාමා තුන්වන වසරේ සිවිල් සිසුවෙකි. ඔහුගේ ගජයන් කී දෙයක් කරන විට, සැබැවින් ම කුණුහරුප බණක් කියන විට වෝඩන්ගේ අතටම අසු විය. මම සති දෙකකට සස්පෙන්ඩ් කරනවා යයි වෝඩා මට තර්ජනය කලේ ය. නවක සිසුවකු සස්පෙන්ඩ් කරන එක පුදුමයක් වුවත් මම කල දේ බරපතල යයි කීම මට ඇසිනි. ඒ කාලේ මම කියන දේ ඒ ආකාරයෙන් ම හැකි උපරිමයෙන් කිරීමට උත්සාහ කලෙමි. මෙය පවතින අධ්‍යාපන ක්‍රමයට හැඩගැසීමකි. කියන දේ ගිරවා සේ කීමත් කරන්න කියන දේ ඒ ආකාරයෙන් කිරීමත් හොඳ සිසුවකුගේ ගතියයි. එම දුබලතාවය ජ්‍යේෂ්ටයන් දැන සිටියා. මට චකිතයකින් තොරව දෙක වසර 250කට පන්සිල් දීමට හැකිවිය. වරක් පැය කිහිපයක් ශ්‍රී පාදෙ නැග්ගෙමි. ඒ සමසමාජ කාරයකුට අසු වූ විටයි. විශේෂයකට වූයේ ධම්මිකට හැම විටම හෙළුවෙන් ඉන්න කීවත් මට එසේ නොකීම ය. බානගලයා පැය භාගයක් ම කුණුහරුපෙන් බැණීම ගත් කල මානසික රෝගියකු යයි සිතේ. පළමු වසර නිව් වින්ග් එකේ බිම් මහලේ ගත කලෙමි. ධම්මික රූම්මේට් විය. ඔහු පාඩම් කරන ගමන් නිදාගත් නිසා මහ රෑ ද ඇහැරිලා පාඩම් කරනු දුටිමි. මම රෑ 10ට නිදා ගතිමි. හික්කඩුවේ කොඩිකාරගේ අලාම් ක්ලොක් එකේ වෙලාව වෙනස් කල විට ලනුව කා උදෑසන කරන දෑ හැන්දෑවේ කරන්න දුවන විට ඔක්කොම හිනා වුනා.

ලංකාවේ හැම පැත්තකින් ම ආපු සිසුන්ගේ විවිධාකාර හැසිරීම් දුටිමි. මේ අතර කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ ටියුෂන් කර බදුල්ලෙන් ආ හත් දෙනා මතක් කරමි. මට යයි විශේෂ හැසිරීම් රටාවක් නොවූ නිසා, කිසිවකු ගැන කිසිදු මතයක් ගොඩ නැගුනේ නැත. ඒ හත් දෙනා අතර සිටි ජයන්ත ආර් කැපී පෙනීමට උත්සාහ කල චරිතයකි. හිස පීරා හැඩ ගැන්වීමට බොහෝ වෙහෙස වූවෙකි. ආනන්දේ සමන් ජී නෑමට අලස වූයේ සකසාගත් කොණ්ඩ මෝස්තරය අවුල් වන නිසා ය. ඉහලට ඉගෙනීමට තිබූ ආශාව බිඳ වැටීමට ස්ලයිඩ් රූල් වෙනුවට කැල්කියුලේටර් ඉල්ලා කල වර්ජනයේදී පීඨාධිපති මහචාරී ජයසේකර දැක්වූ නිර්ධය ප්‍රතිරෝධය, මහචාරී සිවසේගරම් පන් මල්ලක් අරගෙන කල කැෂුවල් හැසිරීම,  මහචාරී ජයතිලක තමන්ට උසුළු විසුළු කරන අය සෙවීමට සයිඩ් මිරර් එකෙන් බැලීම, මහාචාරී ගුණවර්ධනගේ ඉලෙක්ට්‍රිකල් ලෙක්චර්ස් බලපෑවා විය හැක. ගුරුන් ලෙස දැක්වූ කෲර හා සතුරු දෘෂ්ඨිය නිසා අතරමන් වූවා වැනියි. සැබැවින්ම ගුරෙකු නැතිව අයාලේ යමින් ඉගෙනීමක් දුටිමි.

ස්ලයිඩ් රූල් වෙනුවට කැල්කියුලේටර් ඉල්ලා කල වර්ජනයේදී පීඨාධිපති මහචාරී ජයසේකර දැක්වූ නිර්ධය ප්‍රතිරෝධය නිසා වර්ජනය මාස ගණනක් ඇදී ගියා. එය 100%ක වර්ජනයකි. පසුව එකඟ වුවත්, විභාගය ඉතා දුෂ්කර කර තිබිනි. අපි පළමු වසරේම කැල්කියුලේටර් භාවිතා කල නිසා ස්ලයිඩ් රූල් භාවිතා කිරීමට අවශ්‍ය වුනේ නැත.

දෙවන වසර නේවාසිකාගාර අහිමි කාලයකි. ගෙවල් කිහිපයකම සිටියෙමි. මේ කාලේ මම, පාලිත, සෙනෙවිරත්න, සුසන්ත හා හෙන්රි එක කාමරයක බෝඩිං කාරයන් විය. බොහෝ ලෙක්චර්ස් වලට පස්දෙනාම  නියෝජනය කලේ මම ය. අවසානයේ මම ටියුෂන්කාරයා වීමි. මේ කාලය වන විට මම පරිසරයට හුරු වී සිටියෙමි. පළමු වසරේ එක විෂයයකුත් සම්පූර්ණ කර දෙවන වසර සඳහා සෙකන්ඩ් ලෝවර් පංතියත් ගත්තේ ඉහල අධ්‍යාපනය ගැන උනන්දුවක් නැතිව ය. බෝඩිම් වල තරමක සෙල්ලම් විය. අන්තිම බෝඩිමේ දුව මට දීමට බොහෝ උනන්දු විය. ඒ වන විටත් දූලා දෙදෙනකු බැඳ සිටියේ බෝඩිං වූ ඉංජන් ය. ඇග්‍රෙක් සමඟ සෙට් වී සිටියත් ඒ බව නොහඟවා සමීප විය. ඔහු මගේ මිතුරකු විය. ඒ නිවස හැර ගියේ නිරස කෑම නිසා ය. මේ කාලය තුල මගේ වසරේ උන්ගෙන් මම ඈත් වුනෙමි. අනුන්ට අකුල් හෙලන උන් බොහෝ විය. මේ කාලයේ සිසු අරගල එමට ය. ජේආර්ගෙ කාලෙ නිසා මැර ප්‍රහාර අපේක්ෂාවෙන් සිටියෙමු. නවක වදය දීමේ නායකත්වය දෙවන වසරට හිමිවේ. මට එතරම් උනන්දුවක් නොවී ය. එහෙත් හෙන්රි මගෙන් ප්‍රයෝජන ගත්තේ ය. ඒ ඔවුන්ගේ කීමට කීකරු නොවන උන්ට මම කීවිට කිසි කතාවක් නොකර කල නිසා ය. ඒ මට බිය වූ නිසා ද නැත්නම් මගේ කටහඬදැයි නොදනිමි. එහෙත් පසුව මට හෙන්රි ගැන අකමැත්තක් ඇතිවිය.

තෙවන වසරේ නැවත නේවාසිකාගාර හිමි විය. මම අක්බාර් වින්ග් තෝරාගත්තේ බැචාලා නැති නිසා ය. මගේ රූම්මේට් සිබ්බා ය (සී බී රත්නා..). ඔහුගේ ගෙදර බහිරව කන්දේ ය. ඒ නිසා මම තනියම සිටියෙමි. පසුව ජූනියර් බැච් එකේ සිටි මගේ ක්ලාස්මේට් කහඳ ආවේ දෙක වසරේ නේවාසිකාගාර අහිමි නිසා ය. පළමු වසර දෙක තුල කාටත් විෂයයන් පොදු වූවත් තෙවන වසරේ තම ක්ෂේත්‍රය තෝරා ගත යුතු ය. මට ඉලෙක්ට්‍රිකල් හා මිකැනිකල් දෙකම කරන්න ඕන වුනත් දෙන්නේ එකක් නිසා මිකැනිකල් තෝරා ගතිමි. ධම්මිකගේ ඉලෙක්ට්‍රිකල් නෝට්ස් හැදෑරුවත් ප්‍රශ්ණ නිසා අතහැරීමට සිදුවිය. කෙල්ලෙකු නැතිකම තරමක් අසහනකාරී විය. මුදල් හිඟය හා විශ්වාසවන්තයන් නැතිකම නිසා නැගුණු මානසික බලපෑම් අද ද නැති වී නැත. මහාචාරී මහාලිංඟම් මගේ හිත ගිය විශේෂ කෙනෙකි. ඔහු වයිබ්‍රේෂන් වලට ප්‍රසිද්ධ ය. මම ද ඒ විෂයයට ආශාව දැරුවෙමි.

දෙවන වසරේ අප අතර සිටි මානසික රෝගයකට ප්‍රතිකාර ගත් එකෙකු නවකවදය ලෙස කල දෑ ගැන අසා ඌට ඉඩ නොදී සිටියා. තෙවන වසරේදී මා අතින් වූ නවක වද ගැන පසු තැවී ඊට කිසිඳු සම්බන්ධවීමක් නොකලෙමි. කතාවත් ක්‍රියාවත් අතර ලොකු වෙනසකි. නවකයන් හඳුනාගැනීම කෙසේ වෙතත් තමන්ගේ මානසික අසහනය නවකයන් මත ඇරීමක් විය. අද සමාජයේ යථාර්තය එදා මා වටා සිටි උන්ගෙන් දුටු නිසා තනියකු වීමි. කහඳ පාසැලේ මිතුරා නිසා ප්‍රශ්ණයක් නොවීය. ඔහු සමඟ සිටි ජයතිලක හා සූරියාරච්චි මට සමීප වුවත් මේ දෙදෙනා මෙන් ම හෙන්රි ද ජෙප්පන් බව දැන ගත්තේ මේ කතාව ලියන කාලයට සමීපව ය. මම කොතරම් අසංවේදී ද යන්න ඉන් කියවේ. හරියට උන් සමඟ සිටි රොබෝවකු වැනි ය. එහෙත් ඉන් ලද අත්දැකීම නොකැළැල් එකක් වන්නේ මගේ යයි කිව හැකි කිසිදු බලපෑමක් නොවූ නිසා ය. හෙන්රිත් සූරියාරච්චිත් නූතන කලාකාරයන් ය. මම හෙන්රිට පහරදීමට කවියක් ලියා සාහිත්‍ය කවයේ පල කලේ ආශාවට නොව එදිරිකමටයි. මම කලාවට අරහං එකෙකි.

හතරවන වසර ඉතාම කලහකාරී එකක් විය. ජේආර්ගේ වැඩට එරෙහි ව්‍යාපාර බොහෝ විය. අපේ පීඨය ස්වාධීන අය මුල් තැන ගත් අතර ජෙප්පන්ට තැනක් නොවී ය. එහෙත් මේ සමයේ ජෙප්පන් ඇටවූ උගුල් බොහෝ ය. එක් සැඳෑවක, ඩී එම් ආනන්ද අක්බාර් එකට දුව ආවේ නෙවිල්ට සමවාදීන් (UNP) පිහියෙන් ඇන්න බව කියමිනි. ඒ නිසා සියල්ලන් ම කුලප්පු වී සමවාදීන් සොයමින් ගල් ගසමින් ගොස් මාර්කස් ඵනැන්ඩු ශාලාව වට කලහ. මේ අතරේ පනිවිඩය දී ඩී එම් ආනන්ද හොරෙන් ලිස්සා යනු මා දුටුවෙමි. පසු දින මගේ බැච්මේට් වූ ඉඩමේගම ගේ නායකත්වයන් කණ්ඩායමක් ගල් මුල් රැගෙන ගලහ පාර දිගේ යන මතකය සිහිවන්නේ සතුන් දඩයමේ යන වනචාරීන් ලෙස ය. ඉඩමේගම, ගුනසේන සමඟ සිටි සිනාවට සීමා වූ හිතවත්කම ඇති නිහඬ චරිතයකි. රංජිතන් ගුණරත්නම් ද එසේ මය. පසු කාලෙක මොවුන් ප්‍රබල ජෙප්පන් බව දන ගත්තේ බාහිර මාර්ග වලිනි.

ඉතාම දරුණු සිසු අරගලය පැවතියේ සිව්වන වසරේ ය. මුළු පේරාදෙණිය ම ස්ට්‍රයික්ය. පහවසර මෙඩ්ඩන් නැවතුවේ හතර වසර ඉංජන්ගේ මැර තර්ජනයෙනි. වරක් විද්‍යා පීඨාධිපති උස්සා හිර කල විට පොලිස් ප්‍රහාරයක් එල්ල වේ යයි සිතා සෙනට් මණ්ඩලය තුල සූදානම් වී සිටියෙමු. ඇතුළුවන තැන සිටියේ මාතරින් ආ මමත් තවත් තිදෙනෙකි. 1976 සිසු ඝාතනය වූයේ ඒ අසලම ය. අපි හතර දෙනාම කළු ජූලිය ඇරඹි විට අක්බාර් නෙල් වල ප්‍රධාන දොරටුව වසා දැමීමට ද මුල් වූයෙමු. මේවා කෙසේ වූවා දැයි අදත් අදහාගත නොහැකි තරම් ය. කතාවේදී නිහඬ මට පළමු වසරේදී චෝදනා කල ජයන්ත රත්නායක මේ කාලයේ ඉතාම පසුගාමි චරිතයක් විය. ඔහුට රිදෙන්න උත්තර දුන්නේ මා සමඟ පළමු වසරේ සිට මිත්‍ර වූ පාලිත සෝමරත්න ය. ඔහු බැන්නේ අතීතය ද මතක් කරමිනි.

මොන ප්‍රශ්ණ ආවත් වසර හතරින් ඉගෙනීම අවසන් විය. විශේෂ උපාධිය සඳහා තෝරාගත් විෂයයන් ඉතා අමාරු ගනයේ වුවත් දෙවැනි පංතියේ පහල කාණ්ඩයේ විශේෂ උපාධියක් හිමි විය. මා ප්‍රිය කලේ කවුරුත් අතහැරි වයිබ්‍රේෂන් ක්ෂේත්‍රයයි. ඉගෙනගත් තියරි ඔළුව කළඹන සුළුවිය. මහාචාරී මහාලිංඟම් එම ක්ෂේත්‍රයේ ලෝ ප්‍රකට චරිතයක් විය. මගේ ප්‍රොජෙක්ට් එක කලේ නිව් සීලන්ඩ් වලින් ආපු ආචාරි පුස්සගොඩ (නම ෂුවර් නැත) සමඟයි. මාර්ටෙන්සයිට් වලට විශේෂඥ විය. කී ලෙස ටෙස්ට් රිග් හැදුවත් එය කැඩෙන බව මම කීවෙමි. කී ලෙස කැඩුනි. හැදීමට ක්ලාස් වන් මැෂිනිෂ්ට් හිටිය ද මම අවසර ගෙන කලේ ඇකියුරසි ගැනීමටයි. නිවාඩු කාලයේ වැඩ කිරීම ඉගෙනීමේ කොටසකි. පළමු වසරේ මාතර හයිවේස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව මාතර කඹුරුපිටිය පාරේ වැඩ කලෙමි. ඒ අතරේ ප්‍රේමදාසගේ මුල් ගමට පාරක් කපන වැඩේට ද ගියෙමි. ගමේ අය ඉතා හොඳින් සැලකුවා. ඔවුනට ප්‍රේමදාස යනු පවුලේ කෙනෙක් බව කතාවෙන් තේරුනා. දැනුදු ඒ මාතර කඹුරුපිටිය පාරෙන් යන විට ගත කල හැටි මතක් වේ.

මගේ දෙවන වසර මාතර ජල සැපයුම් යෝජනා ක්‍රමයට අනුයුක්තව කෙරිනි. මුල් කාලය කුණුඇල අසල බෝඩිමක මදුරු සාගරයක් මැද ගත කලෙමි. පසුව ඇන්ටිගේ ගෙදර උඩ තට්ටුවේ කාමරයක ගත කලෙමි. මෙය රාහුල පාරේ සුජාතා එකට හැරෙන තැන විය. ඒ කාලේ වටිනා දර්ශණ ඇති තැනකි. මා සමඟ සිටි ඒ ලෙවල් කරන එකා කල විහිළුවක් නිසා ඉඟ දැමීමෙන් වූයේ අනාගතය වෙනස් වන දෙයක් වීම ය. සුරූපී වුවත් නොදැන ඉඟ දමා පසුව වෙනස් වූවත් ආඩම්බර මට එය එතැනින් ඉවර විය. මම නිතර මුහුදු වැල්ලේ සැඳෑව ගත කලෙමි.

අපි නිතර පේරාදෙණි ගියේ මාතරින් රුහුණු කුමාරිට ගොඩවීමෙනි. ගාල්ලෙන් ධම්මික, කොඩිකාර ගොඩ වූහ. වරක් සීනියර් එකෙක් සුරූපියකට ට්‍රයි කලත් සෙට් වූයේ නිහඬව සිටි මට ය. කොඩිකාර සහායට ඩැනී විය. පසුව ලිපි ලීවා. වරක් ගෙදරට ද යාළුවකු ලෙස ගියෙමි. පසුව එය නැවතින. මට සෙනෙහස තරමක යාන්ත්‍රික හැඟීමකි.

තෙවන වසරේ යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබිඹු කරන යකඩ ගොඩවල් අතර ජීවිතය සිහිපත් කරන ගවර්මන්ට් ඵැක්ටරියේ පුහුණුවට ආවෙමි. යාළු වූ ඵෝර්මන් කෙනෙක් මගින් ගොතටුව ටේලර් ගෙදර බෝඩිංකාරයා වීමි. පාරේ ටැප් එකෙන් මූණ සෝදාගතිමි. කෙල්ලන් ද ඒ වෙලාවට ළංවුවත් එතරම් ඇල්මක් නොවී ය. පසුව ඒ අසල නව නිවාස පංතියක ගෙදර බෝඩිමා වූවෙමි. ඒ කාලේ ජනපතිවරණය උණුසුම් විය. නාමයෝජනා දෙන දිනයේ කාඩ් එක ගසා හොරෙන් පැන අපි කට්ටියම අසුවී පඩි කපාගත්තෙමි. කාඩ් පන්ච් කරන හිරගෙදරට හුරු වුනෙමි. එය ගුරුමුස්ඨිකාරයන් පිරි තැනකි. ස්ප්‍රින්ග් ලෝඩඩ් බෝල් වෑල්ව් ගැන මම ඵෝර්මන්ට කල විස්තරය වෙන අයට නොකියන ලෙස ඔහු මගෙන් ඉල්ලී ය. පුහුණුව අවසානයේ කෑම ගත්තේ ශාන්ති විහාර්වලය. ඵැක්ටරි ඉන්ජිනියර් (ද්‍රවිඩ) කෙසෙල් කොලේ බත් එකට කිරි දමා මැටි අනන සේ අනා කෑ හැටි මතක ය.

මේ කාලය තුල මා උපන් ගමේ සංස්කෘතියට වඩා හුඟක් වෙනස් නාගරික පරිසරය තුල කිසි සේත් ම කොන් වීමට මම ප්‍රිය නොකලෙමි. ඒ නිසා සැඟවී තිබූ පරම්පරා නාමය ඉදිරියට ගෙන මුල් නම අතහැර ප්‍රියන්ත අබේවික්‍රම ලෙස වෙනස් කලෙමි. එක් සිකුරාදා දිනක මාතර දිසාපති හමු වී මේ ගැන විමසූ විට ඔප්පුවක් ඒ නමට ලියාගෙන හමුවෙන්න කිව්වා. සඳුදා ඔප්පුව සමඟ හමුවී නිත්‍යානුකූලව උප්පැන්න සහතිකය වෙනස්කර ගතිමි. ඒ අනුව මගේ උපාධි සහතිකය පවා පසුව ලබා ගතිමි. මෙවැනි සුවිශේෂ උදව් මගේ ජීවිතය පුරාම ලැබුනු නිසා කොතරම් බාධා එල්ල වුනත් මා යා යුතු මග ඇන හිටියේ නැත. එසේ නොවී නම් මගේ ජීවිතය අසාර්ථක වෙන බව ස්ථීරයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුලින් ඉගෙනීමට තිබූ ආශාව බිඳ වැටිණි. එසේම ගුරු සිසු සබඳතා ගත් කල දැඩි පසමිතුරු බවක් පොදුවේ දුටිමි. පෞද්ගළික කතා බහේදී එවැනි වෙනසක් නොදැනුනත් ගුරුන් හැසුරුනු පොදු විදිය ගත් කල ඉතා දැඩි මෙන්ම ඒකාධිපති බවක් දුටිමි.  සාමාන්‍ය සමාජයෙන් ඈත් වී තමන් මවාගත් ලෝකෙක තනි වී මනෝ ගසන්නන් ලෙස  දුටිමි. උපාධි වෙනත් ලෝකයකින් ලබාගත් උන් ලෙස හැසිරීම අමුතු දෙයක් විය. අසාර්ථක දිවි ගෙවීම මට එසේ වීමට උනන්දු කිරීමක් නොවී ය. මවාගත් මහන්තත්වයට යටින් ඇති අමු ම්ලේච්ඡත්වය ද දුටු අවස්ථා විය.

මම පෙර සූදානමක් ලෙස Fits and Tolerances වාර්තාවක් ස්වෝත්සාහයෙන් කල ද එසේ එකක් නොදීම නිසා සිසුවන්ගේ උසුළු විසුළු වලට ලක්වීමි. පසු කාලෙක මෙමගින් ලද දැනුම ඉතා වැදගත් විය.

1983 -1990

වසර හතරක අධ්‍යාපනය සමාප්ත කර ප්‍රථිඵල එන තෙක් තාවකාළික උපදේශකයකු ලෙස සේවයට වාර්තා කලෙමි. මගේ ප්‍රියතම විෂයය වූ වයිබ්‍රේෂන් ක්ෂේත්‍රයේ පරික්ෂණයක් වූ ඵෝර් රෝටර් පරීක්ෂණය මට භාරවිය. Fluid Dynamics පරික්ෂණය ද ඉංජිනියරින් ඩ්‍රෝවින් පංතියද රාජකාරියට අයත් විය. විභාගවලින් සමත්වීම සමඟ එන මහන්තත්වය මට ද බෝවූ දෙයකි. අංඟසම්පූර්ණත්වය සොයන බව ඒ කාලේ වූ සිදුවීම් කියනවා. ඵෝර් රෝටර් පරීක්ෂණය ගත් කල ගණනය කර ලබාගත් ප්‍රථිඵල පරීක්ෂණාත්මකව නොලැබුන නිසා fixed කර තිබූ කොනක් ලිහිල් කර බැලුවෙමි. ඒ සමඟ දෙදරා යන ශබ්දයක් ඒ තුලින් ජනනය වූ බව දුටිමි. එසේම පරීක්ෂණාත්මක හා ගණනය කල ඵල සම වීමත් විය. එහෙත් පරීක්ෂණ කලේ එක කොනක් fixed කර ය. හේතුව අනතුරුදායක බවයි. මහාචාරී මහාලිංඟම් ඉතාම නිහතමානී කෙනෙකු බව මැෂින් ලැබ් එකේදී දැන ගතිමි. අවසන් වසර විභාග ප්‍රථිඵල ලැබිනි. මට විශේෂ දෙවන ශ්‍රේණිය පහල කොටසේ උපාධියක් හිමි විය. එතැන් සිට ස්ථීර රැකියා සෙවීමට උත්සාහ කලෙමි.

කණ්ඩායම් හැදී විවිධ ආයතන වලට ගියෙමු. මෙසේ සිමෙන්ති සංස්ථාවේ ප්‍රධානියා හමු වූ විට, ඒ වෙලාවෙ ම මට පත්වීම් ලිපියක් ලැබුනි. ඒ අරුවක්කාරු වල නඩත්තු අංශයේ යාන්ත්‍රික ඉංජිනේරු ලෙසයි. මහ කැලෑව මැද සියලු නාගරික පහසුකම් ඇති සංස්ථා සේවක නිවාස පිහිටි ප්‍රදේශයේ තනිකඩයන් සඳහා වූ හොස්ටල් එක නැවතුම විය. යාමට ඒමට වාහන ලැබින. අනේක විධ මස් මාළු දඩමස් පිරි කෑම ඒ කාලේ අපූරු විය. වතුරේ තිබූ හුනුගල් දියවී හැදුනු දෘඪ ගතිය නෑවට පසු ඔළුවේ මැටි ගෑ සේ ය. කැලෑ ගස් සියල්ල පෙනුනේ පොළගුන් ලෙස ය. මැලේරියාව වැලකීමට තඩි පෙත්තක් බොන්න සිදුවිය. මුලදී පාලිත මට බොහෝ උපකාරී විය. ඔහු වැඩ කලේ පුත්තලමේ ඵැක්ටරියේ ය. අරුවක්කාරුවල කැනූ හුනුගල් දුම්රියෙන් පුත්තලමට ගෙනවිත් කුඩු කර සිමෙන්ති හැදීමට යොදා ගනී. මේ අතරේ දමා තිබූ ඉල්ලුම් පතට අනුව ඉන්ටර්වීව් එන ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් ලිපියක් ලැබිනි. මම එම ඉන්ටර්වීව් එකෙන් ප්‍රථමයා වූ බවත්, මා වෙනුවට වෙන කෙනෙකු ගනිමු යයි දේශපාළුවකු කීවත් ඉංජිනේරු ස්ටෑම්බො එකඟ නොවූ නිසා මට ලැබුනු බවත් පසුව දැනගතිමි.

ජීවිතයේ ප්‍රථම රැකියාව මන්නාරම ආසන්නයේ වීම සුවිශේෂ බව දැන් දනිමි. එහි බිමේ පස් විශේෂ පාටක් සහිත විය.

ඛනිජ තෙල් සංස්ථාවේ රැකියාවට යාම ජීවිතය ම වෙනස් කරන බලපෑමකි. රැකියාව භාර ගත්තේ දිනකට පසුව ය. පෙර දින ආවා නම් රැකියාව ප්‍රතික්ෂේප කරන්නේ එදින ආ සියල්ලන් ම යූඑන්පී එකට බලෙන් බඳවාගත් බව ඇසූ විටයි. එකල මම කැපුවත් නිල් බලකායේ බයියෙකි. කල ලාම්පු සටනේ දී පෝලිං ඒජන්ට් ලෙස ගියේ මැර බලයට බයේ කිසිවකු නොසිටි නිසා ය. යූඑන්පී එකට බලෙන් බඳවාගත් අය ද මම ද පසුව විධායක නිලධාරීන්ගේ සංගමයට බැඳුනි. සේවා ස්ථානය සපුගස්කන්දේ නයිලොන් 6 යන්ත්‍රාගාරයයි. නැවතුනේ මා සමඟ රැකියාවට බැඳුනු කටුබැද්දේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු අමරසිංහගේ කොහොල්විල ගෙදරයි. පයින් කිරිබත්ගොඩ හන්දියට ගොස් බසයෙන් නයිලෝන් එකට ගියෙමු. නයිලොන් 6 යන්ත්‍රාගාරය පාඩු නිසා කලින් වසා දමා නැවත ඇරඹීමට නියමිත වූ තැනකි. දිනපතා වැඩට ආවට ගියාට කල දෙයක් නැති තරම් ය. කයියට දවස ම වෙන් විය. පසුව මගේ ජීවිතයේ ලොකුම බර වූ භාරිද වැඩ කලේ අප සමඟයි. කවුරුත් බලා සිටියේ ජපානයෙන් විශේෂඥයන් ගෙනැවිත් re-start කිරීමටයි. මෙය මට රිස්සුවේ නැත. අපි කරමුයි මම කට දෑවෙමි. එදා පටන් බර අදින්න මට සිදුවිය. භාරධූර utilities භාරව සිටි ජ්‍යේෂ්ටයකු වූ Clarence යටතේ ස්ටාර්ට් කල චිලරයේ මෝටරය පිච්චින. එකල මිල රු ලක්ෂ තිහකි. මට ඒ අංශය භාරවිය. බාධාවකින් තොරව කලයුතු දෑ කර සියල්ල පණ ගැන්වූයෙමි. මගේ බොස් ආනන්ද වරක් බොස්කම පෙන්වා ජෙනරේටරය ස්ටාර්ට් කරන විට ඔහුට කියන්න යයි කීවේ ය. මගේ ජීවිතයේ කල හැම දේම කලේ මගේ අභිමතයටයි. ඒ නිසා සියල්ල සූදානම් කර, ආනන්දට එන්න කියන්නයි සුමතිට කීමි. සුමති හතර අතේ කෝල් දමා බලා ගේට්ටුවෙන් විමසූ විට ආනන්ද පිටවී ඇතැයි කීවේ ය. මම ඒ ගැන නොතකා අමරසිංහ සමඟ 2.2 MW ජෙනරේටරය ස්ටාර්ට් කලෙමි. එහි පීඩන තාප මාන බැලුවේ මායාදුන්නේ ය. මොහු දිනක් පයිප්පයක් උඩ බුදියගෙන මට අසු වූ ටෙක්නිෂන් කෙනෙකි. දඬුවම වූයේ මා පසුපස ඒමට අණ කිරීමයි. පසුව මගේ කුළුපගම මිතුරා ලෙස මායාදුන්නෙ මැරෙන තුරු ළඟින් විය. ජෙනරේටරය ස්ටාර්ට් කල දින රෑ ඔහුට හාර්ට් ඇටෑක් එකක් ආවා. බේරුනේ අනූනවයනි. මම පසුව දුක් වීමි.

utilities වල මුල් දිනයේ රෝස්ටර් එකට දැමු technicians ලා ආවේ නැත. ඒ මේ අංශය තමන්ගේ යයි සිතු මෛත්‍රී හා උදයසිරි නම් senior technicians ලා වර්ජනය කල නිසා ය. මා කුපිත වුනෙමි. Techniciansලා ඔක්කොම අතහැර contract labourers ලා පමණක් යොදා ගනිමින් මම වැඩ කලෙමි. පසුව ඔවුන් අතහැර ඉතිරි ඔක්කොම පුහුණු කලෙමි. වගකීම් පැහැර හරින උන්, ගුරුමුෂ්ඨි කාරයන් මට අරහන් ය. තවම ඔවුන් වෛර කරනවා විය හැක. අවාසනාවට වැඩ කරන අයට පමණක් මම කැමති ය. ඒ කාලේ ජීවිතය නයිලෝන් යාන්ත්‍රාගාරයයි. වරක් රෑ 8.30ට ගෙදර යාමට වාහනය සෙවූ විට රියදුරු නොවීය. මම complain කලෙමි. පසුව ඔහු සමඟ යන විට නම ජයසිරි බවත් එකල ගෝනවල පැත්තේ සිටි ප්‍රබලයකු මස්සිනා බවත් ගම රත්නපුරේ බවත් කී විට මම ඉපදුනේ මාතර පැත්තේ බවත් මැරෙන්නේ කොහෙදැයි නොදන්න බවත් කීවෙමි. ඔහු උරුණ වූ බවක් පෙන්වීය. මම වැඩ කරන එක මිස වෙන දේ ගැන නොසිතන බව කීමි. පසුව ඔහු මගේ ගජ මිතුරෙක් විය. රාජකාරී ගමන් යන සංස්ථා සේවකයන් මග බස්සවා ගම්පහ රියදුරු පුහුණුවට මා ගෙන යාමට තරම් සමීප විය. ඔහු ද මගේ සමීප මිතුරෙක් විය.

යන්ත්‍රාගාරයේ සියලු යන්ත්‍ර පණ ගන්වා නිෂ්පාදන ඇරඹීමට පටන් ගත්තේ කේ එන් ඵනෑන්ඩු The organisation requires you to shift-work කියා මම shift engineer කිරීමෙනි. මෙය chemical engineersලාගේ ය. මම කුපිත වූයේ කී ආකාරයට මිස කරන වැඩේට නොවේ. යන්ත්‍රාගාරයේ නිෂ්පාදනය අරඹා සියලු ප්‍රශ්ණ නිරාකරණය කර මාස තුනකට පසු day duty ආවද මට කල දේට අද ද වෛරයක් දැනේ. මා නිදි මැරීම අප්‍රිය කරමි. එදා ඇරඹි නහයෙන් වැක්කෙරෙන ආකාරය අදත් අත්විඳිමි. මම සාධාරණය වෙනුවෙන් තනතුර නොසලකා ගැටෙන්නෙකි. මේ අතරේ මට සහය දැක්වූ ඉන්ද්‍රා දුකින් පෙළුනෙකි. ඒ සුදුසු සහකාරයකු නැති කමෙනි. කල හැකි කිසිවක් නැති බව දැනගත් විට, ඒ බර කරට ගත්තේ ඒක මෝඩ වැඩක් යයි හැමෝම කී මතය මම ද දරමිනි. වෙන විසඳුමක් නොවීය. අද ආපහු හැරී බලන විටත් මට කොතරම් කෙලවුන ද වෙන විකල්පයක් නොමැත. කේන්දර ගැනත්, ගැහැණු පිරිමි වෙනස ගැනත්, විවාහයෙන් පසු ලෝකවාසීන් මුහුණ දෙන සියලු ගැටළු හඳුනාගැනීමටත් ලැබුනු අවස්ථාවක් විය. සමහරු  මාස තුනකට සීමා කල ද අදත් බර ඇදගෙන යමි. ඒ බර දැරීම වෙනෙකෙකුට කල නොහැකි දෙයක් බව ප්‍රත්‍යයක්ෂයි. මම තෝරාගන්නේ ලෙහෙසිම තේරීම නොව impossible තේරීම වීම මට එකල නොතේරුනත් දැන් මනාව දනිමි.

ආනන්ද හෙඩ් ඔඵිස් යාම නිසා තනතුරු ප්‍රශ්ණයක් ඇති විය. ඒ සඳහා කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ වැඩ කල, කලින් නයිලෝන්වල සිටි සෙනරත් දැමීම සමඟ මට ඔහු සිටි කොලොන්නාවට යාමට සිදුවිය. කොලොන්නාවේ Engineering function සංස්ථාවට සේවා සපයන ඉංජිනේරු අංශයයි. ප්‍රධානියා කලින් ඔපරේෂන්ස් ප්‍රධානියා වූ සරත් විතානයි. ඔහු මෙන්ම ගාමිණි සෙනෙවිරත්න මගේ බොස්ලා විය. මේ ස්ථානය දේශපාලනයට නතුවූ තැනකි. මගේ මුල් ම රාජකාරී වූයේ වැඩ නතර වී තිබූ fire pumps station හා 2nos. 10,000MT aviation fuel tanks ව්‍යාපෘථි නැවත පණගැන්වීමයි. ටැංකි දෙක දෙමටගොඩ පැත්තෙ ගේට්ටුව ආසන්නයේ ඇති දෙකයි. මුදල් ඉවර වී වැඩ නැවතී දිරාපත් වෙමින් පැවති ටැංකි වල වැඩ ඉවර කලෙමි. එහි දී DGM Financeට ඔහුගේ විෂයය ඉගැන්වීමට සිදුවිය. ගණන් තැබීමේ වරදකින් සියලු මුදල් වැඩ ඉවර කිරීමට පෙර ගෙවා අවසන් ය. මෙය පෙන්වීම සමඟ තඩි ඵයිල් දෙකක තිබූ පිටු බහුතරයක් අතුරුදහන් විය. කෙසේ හෝ සුළු වැඩිවීමක් සමඟ එය සාර්ථකව නිම විය. එය අදාළ කොන්ත්‍රාත් සමාගමේ අවසානය ද විය. මගේ බොස් වූ ගාමිණී කිසිවකු විශ්වාස නොකල කෙනෙකි. බිරිඳ තම දෙවන මනමාලයා සමඟ ගිය කෙනෙකුට එය සාධාරණයි. එහෙත් ඔහු මම දෙන වාර්තා අණුමත කලේ විමසීමෙන් තොරවයි. එතරම් මා විශ්වාස කලේ ය. නැවතී තිබූ වැඩ මෙන් ම ඉවරයක් නැති ටෙන්ඩර් අගැයීම් කිසිදු ගැටළුවකින් තොරව සිදුවිය. පසුව සැපයුම් කළමනාකරු සංස්ථාවේ ඉන්න එකම ඉංජිනේරුවා මා ලෙස හැඳින්වූයේ ටෙන්ඩර් සඳහා මා දුන් අගැයීම් නිසා ය. සංස්ථාවේ සියලු අර්බුදකාරි ටෙන්ඩර් අගැයීම මගේ රැකියාව එපා කරවන තරම් බරක් විය.

Fire station ඉදිකිරීම සම්පූර්ණයෙන් නැවතී සැපයුම් කල දේශීය ඒජන්ත වූ UTI බංකොලොත් වී අවුල් ජාලයක පැවතින. මම සිවිල් ඉංජිනේරු වැඩද මගේ අතට ගෙනා පොම්පාගාරයේ නිෂ්පාදක වූ Surrey  වල Pullen Pumps කම්පැනියට ටෙන්ඩරය දී  මුල් design නැවත අධීක්ෂණය කර වැරදි හදා දුනිමි. Testing සඳහා UK ගියේ ඉතා අකමැත්තෙනි. ඒ පුතා ඉපදී මාස තුනක් වූ නිසයි, එම්බැසිය මෙන් ම ඉමිග්‍රේෂන් හිතුවේ මම උන්ගෙ රටේ සැඟවේ යයි බව මට දැනුනා. අද ඒ ගැන පිළිකුලක් දැනේ. ඇට මිදුළු පවා සීතල රටක ජීවත්වමට මට පිස්සුවක් නැත. Tobby Grills හි ගත කල සති දෙකේ රෙඩ් මීට් (භාගෙට පුච්චපු රතු පාට හරක් මස්) කෑමට සිදුවිය. එකල නෝ රෙඩ් කියා කීමට දැන සිටියේ නැත. සුළු සුළු ගැටළු ආවත් කොන්ත්‍රාත් කරුවකු දමා සියල්ල සවි කලෙමි. UK වල දී complain කල සුද්දා ලංකාවට ඇවිත් commission කරද්දී ඒ ගැන apologise කලේ මම කල දේ හරි බව දැකීමෙනි. දිරාපත් වෙමින් පැවති තවත් project එකක් එසේ නිමා විය.

හැම එකාම අවුල් කරගන්නා වැඩ මට තල්ලු කිරීම විතානගේ සිරිත විය. මේවා වෙනුවෙන් දින හතම වැය වන අතරේ, පැවැති වාහන තදබදය නිසා ගමන බසයෙන් සිදුවිය. එය ඉතා අමාරු එකකි. ඒ සමඟ 1988/89 භීෂණයත් මහ මග පිලිස්සුන මලසිරුරුත් තව පෞද්ගළික හේතුත් නිසා රට ම එපා විය. එකල සිංහලයන්ගේ හැටි දැක උන් හොඳටම එපා වුනා. ඒ අතරේ ගිනි නිවන රථයක් ගැනීමේදී මම පගාව ගත් බවට ඒ අංශයේ නෙල්සන් ඡෝදනා කල විට කලකිරීම දෙගුණ විය. සැබැවින් ම පගාව ඉල්ලුවේ ඌ ය. UTI එකේ නියෝජිත හල්ලොලුව මට මේ ගැන කී විට එසේ නොදෙන්නයි කීමට පලිගත්තේ පෙත්සමෙනි. හල්ලොලුව Richmond කෙනෙකි. මම රට හැර යාමට දැඩි උත්සාහයක් කලෙමි. මගේ තැන ගැනීමට පෙරුම් පිරූ දේවනායගම් ඔස්ට්‍රේලියානු හයි කොමිෂන් එකට මා සමඟ ගොස් PR ඉල්ලුම්පතක් අරං දුන්නා. අමාරුවෙන් එය සම්පූර්ණ කර භාරදුන්නා.

අවසානයේ ඇමෙරිකාවේ කාර්නෙගි මෙලන් වල වැඩිදුර ඉගෙනීමට අවස්ථාවකුත්, ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට අවස්ථාවකුත් උදා විය. සුරක්ෂිත බව මුල් කරගෙන ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට තීරණය කලෙමි. එසේ නොවී US ගියා නම් වෙන දේ අද ද සිතාගත නොහැක. එකල කේන්දරේ විශ්වාස නොකල මම කොලොන්නාවේ ලිපිකරුවකු වූ මායාදුන්නේගේ මිතුරකු වසර තුනකට පමණ පෙර මම එක්තරා දිනක එක වේලාවකට පෙර මේ රටින් පිට  වෙන බව කීවේ ය. සැබැවින් ම මගේ Departure ඒ දවසේ කී වෙලාවට විනාඩි පහකට පෙර සිදු විය. මට වෙනස් කල නොහැකි මගේ ජීවිත ගමනේ නව පිටුවක් එසේ ඇරඹිණ. මට බොරු චෝදනා කල නෙල්සන් සංස්ථා සේවකයන්ගේ ඇනුම් බැනුම් නිසා රට හැර කැනඩාවට ගිය බව ඇසුවෙමි. මගේ තැනට කෙල හැළු ජේආර්ගේ සබඳතාවයක් තිබූ දේවනායගම්ට ද සංස්ථාව හැරයාමට සිදු විය.

ඊ ළඟ කොටසින් ඔස්ට්‍රේලියානු සුරපුරේ ජීවිතය ගැන කියමි. තව බොහෝ වැදගත් සිදුවීම් ඉහත කාලය පුරා වුව ද දී ඇති තොරතුරු මා විශ්වාස කරන එකෙකුට ඇති ය. විශ්වාස නොකරන උන්ට කප්පරක් දේ කීව ද වෙනසක් නැත. අහිමි එකෙකුට එසේ වේ.




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.