Friday 17 September 2021

මගේ වග තුග (මගේ වත ගොත) - 1 කොටස

මම බොහෝ ප්‍රශ්ණවලට මුහුණ දී ජයගතිමි. එසේ මුහුණ දුන් ප්‍රශ්ණ කිහිපයක් මේ ලිපියෙන් දෙන්නේ අන්තිමට දෙන විසඳුම පසුව කීමටයි. ජීවත්වීමට ඇති බාධා ඉවත් කිරීම හිරුකමේ කොටසකි.

අප ඉන්න සැබෑ පරිසරය ගැන අප කොතරම් දන්නවා ද? නොයෙකුත් අභූත මත පිරි ලොවක ඒ මත එල්ලී සැබෑව අමතක කරන බහුතරය අන්ධයන් වැනි ය. මගේ යයි සිතන තාරය (ඇඟ) ඇත්තටම හැදෙන්නේ මවගේ ඇඟේ කොටසක් ලෙස නේ ද? මගේ භාෂාව සැබැවින් ම මම ජීවත්වන සමාජයේ භාෂාව නේ ද? මගේ කෑම බීම සියල්ලම මම ජීවත්වන සමාජයේ උරුමය නේ ද? මම අයිති මේ ජාතියට අර ජාතියට කියන උන්ට ඇත්තට ම තියෙන්නේ තමන් මේ ජාතියට අයත් යයි ඉංග්‍රීසි කාරයා හඳුන්වා දුන් උප්පැන්නය පමණක් නේ ද? මේ තමයි මගේ පියා මව සහෝදරයා කී පමණින් ඒක සැබෑවක් වෙනව ද? මනුෂ්‍යයන් අතර උපන් සුනඛයන් දඟර ගසාගෙන ධ්‍යාන වඩාගෙන බොහෝ දේ කිරීමට පුළුවන් යයි කීවට උන්ට පුළුවන් දෙයක් තිබේ ද? ඔබ දන්න දේවල් කරන දේවල් සියල්ල කාගෙන් හෝ ලද දෙයක් හෝ ඔබ බැරිමරගාතේ උත්සාහ කර ලබාගත් දෙයක් නේ ද? එය කාටත් පොදු නම් අළුත් යමක් එකතු වේ ද? මම වරක් අශූචි වල රස දන්නේ අශූචි කාපු එකෙක් පමණයි කීවෙමි. ඒක නේ ද ඇත්ත? මගේ වත ගොත කීමෙන් මම කියන්නේ සැබෑව තුල මම ගිය නිශ්චිත රටාවත් ඒ තුලින් යම් පාඩමකුත් කියා දීමටයි. ඔබ සුරංඟනා කතා විශ්වාස කරන්නෙකු නම් අනිවාර්යයෙන් ම හිඟමනට වැටේ. ඔබ සතු යමක් වේ නම් එය කවරෙකු හෝ හැදූ දෙයකි. සැබෑව තුල ජීවිතය කටුක ය, දුක්බර ය, ජීවත්වීමට කලයුතු දෑ බොහෝ ය. ඒ සඳහා අවශ්‍ය අඟපසඟ අප සතු ය. ඒ තුල අපි කොටු වේ. ප්‍රශ්ණයේ බරපතලකම අනුව විසඳුම සීමා වේ. එහෙත් කාටවත් බැරි ප්‍රශ්ණ විසඳිය හැක්කේ එවැනි ප්‍රශ්ණ විසඳපු කෙනෙකුට පමණි. මේ කතාව ඒ අතින් විසඳුම් නැති ප්‍රශ්ණ සමූහයකට මුහුණ දී ඒ සියල්ල ජයගත් කෙනෙකුගෙ කතාවකි.

මගේ අවතාරික උරුමය අක්‍රීයව පවත්වා ගත් කාලයේ හැම මොහොතක ම, මම මුහුණ දුන්නේත් තෝරාගත්තෙත් කල නොහැකි හෝ දුෂ්කරම තේරීමයි. ඉන් අදහස් වන්නේ, එක් එක් සත්ව තලයෙන් ඉහලට යත් ම ටිකෙන් ටික අමාරු වී ඒ අන්තයටම ගිය තේරීම අවසන් පරීක්ෂණය බවයි. සරල ව, ගනිතඥයකු වීමට චක්කරේ පාඩම් කර ලබා ගත නොහැක. කිසිවකුට බැරි ප්‍රශ්ණ විසඳන කෙනා මිස සාමාන්‍ය පුද්ගලයකුට ඔබේ ප්‍රශ්ණ විසඳිය හැකි ද? මෙය තේරුම් ගත නොහැකි අය කෙසේ නම් ඇත්ත දකීවි ද? මා ගිය මගේ ඔබට කිසි දින යා නොහැකි බව දනිමි. ඔබ ඉන්න තැනට ආවේ කී දෙනෙකුගේ ආධාරයෙන් ද? මම ඉන්න තැනට ආවේ ආධාර කලයුතු අය පවා කල හැකි හැම බාධාවක් ම කරන අතරේ ය. ඒ තුල ඇති ශක්තිය කොතරම් ද?

අරමුණ

මම බොහෝ දේ කීවත්, සැබැවින් ම, මා හා බැඳි සැබෑ ලෝකය ගැන තොරතුරු දීම සිතා මතා ම නොකලෙමි. ඒ අහිගුන්ටිකයන් සමඟ ගණුදෙණු කිරීමට ඇති අකමැත්ත නිසයි. පවතින වාතාවරණය තුල එවැනි කාලකන්නියන්ට පිස්සු බල්ලන් සේ යමින් පරිසරය වැනසීමටත් අනෙක් සත්වයන්ගේ වාසභූමි වැනසීමට නොහැකි වීමත් නිසා අණාවරණයට සුදුසු කල පැමිණ ඇත. එසේම මේ නිසා කිසිවකුට මුණගැසීමට අවස්ථාවක් නොලැබෙන බව කිව යුතුයි. අති බහුතරය බොරුවෙන් ජීවත්වන සමාජයක, බාහිර සාධක තුලින් මගේ අනන්‍යතාවය සොයා ගැනීමට අවස්ථාවක් දීම අරමුණ වේ.

මාතෘකාව ගත් කල, වත ගොත බහුලව භාවිතා වන වග තුග වූවේ සිංහල බැරි සංක්‍රමණිකයන් තම ඌරුවට සිංහල වචන ශබ්ද කිරීම නිසා බව සිහි කරමි. මෙහිදී මා කල කී දෑ වත (වෘත්තිය) ලෙසත් උපත හා බැඳි තොරතුරු ගොත (ගෝත්‍රය) ලෙසත් හැඳින්විය හැකි වුවත් මෙය උපතේ සිට ගත වූ කාලය තුල මගේ ජීවිතය ගැන කීමකි. සමාජය දරණ මත නොසලකා හැර නමින් නොකියන දෑ ව්‍යංගයෙන් කියන්නේ මම වර්ණනා කරගැනීමට නොව මගේ මතකය ලිඛිත ව ගොනු කිරීමට උත්සාහ කරන නිසයි. මෙසේ කීමට මුල් වූයේ සමහර උද්ධච්ඡ හිඟන්නන්, විශේෂයෙන් ම චෞර තාක්ෂණයෙන් බිහි වූ අන්තර්ජාලය තුල සැඟවී මම තමයි පොර කියා බෙරිහන් දෙන කාලකන්නියන් මම ද උන්ගේ ගොඩට දමා ගැනීමයි. විශේෂ සඳහනක් කෙරේ නම්, සම්පත් ගූරූගේ නමින් සිටින අහිගුන්ටිකයාට අනුව මම මාතර පැත්තේ ඉන්න කට්ටඩියෙක් කීම ඉල කැඩෙන හිනාවට මුල් වේ.

වෙනත් මානයකින්, ඔබ ජීවත්වීමට දරණ උත්සාහය මහ මෙරක් ඔසවනවා යයි ඔබ සිතුවාට, මගේ ජීවිත කාලය තුල මුහුණ දුන් එක හෝ අභියෝගයක් ඔබට ලැබුනොත් සීමා ඉක්මවා යනු ඇත. ඔබ මුහුණ දෙන අභියෝග ඉතා සරල ය. සැබැවින් ම මේ විශ්වය හෝඩියේ පන්තියයි. එනම් පහලම තලයයි. මේ තලයේ දී ඔබ පටන්ගන්නේ බිංදුවෙනි. හැම අතින් ම ජීවිතය එපා කරවන අභියෝග ය. මුලින් ඉතාම සරල වුවත් ඉන් ජයගන්නා විට ඊට වඩා බරපතල අභියෝග එයි. ඉහලටම ගිය විට එන අභියෝග හමුවේ මරණය හෝ සියදිවි නසා ගැනීම යන අන්ත දෙක මැදින් ජයගත යුතු ය. කොතරම් පැන යාමට උත්සාහ කලත් සැඟවෙන්න උත්සාහ කලත්, ඔබ මුහුණ දෙන අභියෝගය ජයගන්න තෙක් ඔබ එක තැනම ය. ඒ අතින් මේ විශ්වය මා සිතන හොඳම පාසලයි. හොඳම මග වන්නේ ජීවිතය හෝ මරණය ගැන නොසිතා ඉදිරියට එන අභියෝගයට මුහුණ දීමයි. බොහෝ වාර ගණනක් ඔබ පරදිනු ඇත. ඒ තුලින් ඔබ ඉගෙන ගෙන අවසානයේ දිනනු ඇත. මේ ගමනේ ඔබ බොරු කලේ නම් ඔබ තවත් පහලට වැටෙනු ඇත. අවංකත්වය ඔබට ඇති කෙටිම මගයි. පරාජයෙන් ඉගෙන ගත යුතු ය. එකම විදියට උත්සාහ කලොත් එතැනමයි. මට මුළු දුර යාමට වසර 34ක් ගත විය. මෙය දැනුම පිළිබඳ අභියෝගයකි. එහි ඉමට යාම අදහස් කලෙමි. ඉන් පිටත හිස් ය. අළුත් දැනුමෙන් හිස් තැන පිරවූ විට ඉම පළල් වේ. අතීතයේ සිටි කඳුබඩයාට ජයගත යුතු ඉම ඔබට වඩා පටු විය. එහෙත් වෙනස්වීමට අළුත් දේ ඉගෙනීමට අදට වඩා ඉමහත් උත්සාහයක් දැරීමට සිදුවිය. ඒ උත්සාහය නොවන්නට අමු තිරිසනෙකු ඔබ වැනි තිරිසනකු නොවනු ඇත. මෙය ටිකෙන් ටික වැඩි වන්නේ පැවැත්ම තහවුරු කල යුතු නිසා ය. එය හරියට විෂය අන්තර්ගතය වැඩි වීම වැනි ය. අද සිටින්නේ ආරම්භක හරියේ ය. ඔබට නොතේරුණ ද ප්‍රශ්ණ එමටයි. ඒවාට විසඳුම් ලැබෙනවා කියන්නෙ අළුත් දැනුම එකතු වීමකි. මා හා සාපේක්ෂව ඔබට ඇත්තේ ඉතා පටු පරාසයකි. එනම් කඳුබඩයකු ලෙස අංඟසම්පූර්ණ වීමයි. ඇත්ත දැන ගැනීමට මෙය ලියමි. සැබැවින් ම යමෙක් මට සම වේ යයි සිතයි නම්, ඒ උද්ධච්ඡකම නිසාය. උද්ධච්ඡකම යනු ඔබේ මෝඩකම/නොදන්නකම සඟවා ගැනීමට ඔබට සහජයෙන් ලැබෙන ආවරණයක්/ආභරණයක් මිස ඔබ උපයාගත් දෙයක් නොවේ. එසේ උපයාගත් එකක් යයි සිතේ නම් එය මුලාවකි.

එක ජීවිත කාලයක් තුල වසර 34කින් පවතින දැනුමේ ඉමට ළඟාවීම සඳහා මට හිමි වූ වෙනස් කල නොහැකි වූ ගමන්මග ගැන නැවත බැලීමට සිදු වූ වර්තමානයේ මගේ 60 වන වසර ගත් කල, මා කරන්නේ පුනරාවර්තනයකි. එනම් නැවත අද සිටින තැන සිට කරන ආවර්ජනයකි (ආවර්තනයකි). මගේ සැබෑ අනන්‍යතාවය මගෙන් වසං කරගෙන ආ මගේ, ඉවතට යාමට කල උත්සාහ සියල්ල අසාර්ථක විය. ඒ තුලින් කල තේරීම් එතරම් අමාරු බව දත් නිසා ය. හැමවිටම හිත ගියේ කල නොහැකි දේ කිරීමට ය. ඔබ සිතන පතන දේ මම ද පැතුව ද තේරීම ගත් කල මට ඔබට මෙන් දෙයාකාර තේරීමක් නොවී ය. මෙහි අවසාන ඵලය වන්නේ සමස්ත ජීව ලෝකයේ සියළු ජීවීන් මුහුණ දෙන ප්‍රශ්ණයක සියලු ස්වරූපයන් ගැබ් වූ තනි ප්‍රශ්ණයක් ලෙස අදාළ හැම ප්‍රශ්ණයක්ම වැලක් සේ මගේ ජීවන මග වීමයි. එතුලින් උපතේ සිට විපත තෙක් ජීවියකු ලෙස ඉතාම දුෂ්කර වත්මන් පරිසරය තුල ජීවත්වීමේ දී, පැන නැගෙන සියලුම ප්‍රශ්ණ වලට විසඳුම් මා තුලින් සොයා ගැනීම අරමුණ ය. සරලව, ලොව සිටින දක්ෂම ගනිතඥයා වීමට නම් චක්කරේ කට පාඩම් කිරීම නොව අන් අයට විසඳිය නොහැකි ප්‍රශ්ණ විසඳීම බව ඔබට තේරේ යයි සිතමි. මෙහිදී සියලු විස්තර නොව තෝරාගත් අන්තර්ගය අඩංඟු බව සිහි තබාගැනීම වැදගත් වේ.

උපත හා බැඳි තොරතුරු

මම උපන්නේ ඉංග්‍රීසි ලිතට අනුව 1960 අප්‍රේල් මස 05 දින උදේ 06.06 ට ය. මගේ නම පියසේන ලෙස තැබුවේ මගේ කේන්දරය/හඳහන හැදූ නැකැත්කරු ය. මේ නම මම උපන් ප්‍රදේශයේ භාවිතා කල පොදු නමකි. මෙදින මම උපන්නේ මාතර දිස්ත්‍රික්කයේ කඳුබඩ පත්තුවේ පරපාමුල්ල ගමේ ය. මෙහි පත්තුව යන්න දෙමළකරණය වූ පැත්ත යන්නයි. ගමේ නමද දෙමළකරණය වූවකි. සැබැවින් ම ගමේ නම පරමමුල බව මා දැනගත්තේ ගමේ පන්සලේ මහ ගනයා වන මගේ ඥාතියකු පැවසූ බව ඇසුවට පසුවයි. 1974 ජනවාරි මැද භාගය තෙක් මගේ නිවහන වූයේ මේ ගමයි. මවට අනුව මගේ උපත ඇයට කිසිදු කරදරයකින් තොරව වූවකි. මගේ උපතට පෙර උපන් අයියාගේ උපතේදී මෙන්ම පසුවත් ඇය බොහෝ ප්‍රශ්ණවලට මුහුණ දී ඇත. කොතරම් අසනීප වී දැයි කියනවා නම් කඹුරුපිටියේ සිට නිවසට රැඟෙන ආ බටහිර දොස්තර ඇය මියගිය බව කියමින් සුදු රෙද්දෙන් මුහුණ වසා දමා ඇත. එහෙත් ඊට පසු ඥාතියකු සිංහල වෙදකම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තුලින් ඇයව සුව කර ඇත. මේ පසුපස ඇති දේ කීමට නොහැකි වුවත්, කෙනෙකුගේ ශරීරය තුලින් අමනුෂ්‍ය බලවේගවලට කලහැකි බලපෑම් කෙනෙකුගේ මරණයත් සමඟ බිඳවැටීමක් වේ.

උපතෙන් දින හතකට පසු මගේ තොටිල්ල වටා නාගයකු එතී සිටිනු මව දැක ඇත. බිය වී කෑ ගසන විට ඌ බැසගොස් ඇත. මගේ මතකයේ ඇති පැරණිම සිදුවීම වාහන රැසක් පාර දිගේ යන එකයි. එනම් සිරිමාගේ දේශපාලන රැස්වීමකට ගිය ගමනයි. සිදුවීම 1965 වසරේ යයි සිතමි. මීට අමතරව පියා සමඟ කුඹුරට යාම මතකයේ ඇතත් පාසල් යාමට පෙර වූවත් හරියට දින වකවානු මතක නැත. පියා උදේ සිට රෑ වන තුරු වැඩ කරන විට මම ද ඔහු අනුව යමින් වැඩ කලෙමි. පියා සමඟ එකට ගොස් එලෙස වැඩ කලේ පවුලේ අයගෙන් මම පමණි. ගෙදර හිටි කාලය තුල ඔහුගෙන් ගොවිතැන් වැඩ ඉගෙනීම අද අගය කරමි. ඉතාම විදිමත් ලෙස නියර සැකසීම ඇල වේලි සුද්ද කිරීම සඳහා වැඩිකාලයක් ගත කරනු දුටිමි. ඒ තුල පරිනත බවක් පැවතීම අපූරු ය. එක කුඹුරක හැලක් ඇත. එහි එරෙමින් එහා මෙහා යාම තරමක විනෝදයක් මෙන් ම භයක් දැනුනු බව මතකයේ ඇත. ඒ අත්දැකීම තුලින් මෙතෙක් නොතිබූ ආකාරයේ වර්තමානයට උචිත ගොවිතැන් කරන ක්‍රමයක් සොයාගැනීමට පහසු වූ බව කියමි.

වසර පහ සම්පූර්ණ වූ පසු ගමේ පාසල වූ කැටියපේ පාසලට ගියෙමි. ඒ කාලෙ හෝඩියේදී අකුරු ලිව්වේ ගල්ලෑල්ලෙයි. අටවන වසර සම්පූර්ණ වනතෙක් ගියේ මෙම පාසලටයි. පංතියේ සිටි බහුතරය ඉහලට යන විට අඩු විය. මේ කාලෙ කොල්ලන් ඔක්කොම මගේ අණට යටත් විය. පාසලේ ගුහාවක ගෙනෙන/කඩන පළතුරු හා හොරට කඩපු කුරුම්බා මා වෙනුවෙන් ආරක්ෂිත ව තැබුවා. හතරවන පස්වන වසර වන විට මම කුජ කමත් බුධ කමත් ප්‍රායෝගිකව යොදා ගතිමි. පහරදීම් එමටයි. ඒ වගේ ම ඉගෙනීමට ද දක්ෂ වීමි. හය වසරේ මට තිබුනු ලාච්චුව සමඟ ඩෙස්ක් එක පාසලෙන් යන තුරුම මගේ විය. නින්දා අපහාස කල හැමෝටම ලිංඟ භේදයෙන් තොරව පහරදීමත්, විදුහල්පති ළඟට ගිය විට කලේ මම යයි කියා වේවැලෙන් ගැසීමට අත දිගු කිරීමත් හැම විටම කලෙමි. දඬුවම් ලැබුනේ මට නොව අනෙක් පාර්ශවයටයි. වරක් දසනායක ගුරා මට වේවැල් පහර පහක් ගැහුවේ ගුරු නිවසේ සිටි වව්ලන්ට මම කෝටුවකින් ඇන එලවූ නිසයි. ගුරා මගේ නෑයෙකු බව දන්නේ පසුවයි. දැනුදු කෝපයක් දැනේ. මම කලේ පියා කරපු දෙයකිි. වව්ලන් වහන එක හොඳ නෑ කියලයි දැන සිටියේ. මොහු මගේ පංතිය භාර ගුරුගේ බාප්පා ය. එහෙත් පංතිය භාර ගුරු මට ඉතාමත් ආදරේ ය. වරක් මොවුන් දෙදෙනාට වව්නියාවට දේශපාලන මාරුවක් ලැබින. මම පියාට කියා ඒක අවළංඟු කලෙමි. දැන් හිතන්නෙ පංති භාර ගුරුගේ මාරුව පමණක් අවළංඟු කලා නම් හොඳ බවයි. අටවන පංතිය තෙක් ගමේ විසූ කාලයේ ගත කල ජීවිතය කොතරම් අදට වඩා වෙනස් ද? ලෝකය ගැන කිසිදු හැඟීමක් නැතුව උපන් ගමට ම සීමා වූ කාලයේ මම කලේ සොයා ගත හැකි සියලූ පොතපත කියවීම ය. වරක් ගුරෙක් මගේ බඩට ඇගිල්ලෙන් ඇන්නම මම නැවතුනේ ගෙදර ය. බැලුවම ඒකා නෑකමෙන් මගේ මස්සිනා ය. පාසලේ වසරකට දෙන පොත එක රැයකින් කියවා අවසන් කලෙමි. මුල් කාලයේ පියා මට උදව් කලේ ය. සමහර දිනවල උදේ කුකුළා හඬලන ශබ්දය ඇසුනු බව මතකයේ ඇත. කිසිදු අණ කිරීමක් බල කිරීමක් උනන්දු කිරීමක් නොවී ය. එම පරිසරයේ සිටි කිසිවකු උගතකු නොවීම ගැන පුදුම නොවීමි. ඉඩකඩම් හිමි දෙමව්පියන් ද ඒ කටයුතු වල යෙදුනත් උගත්කම එදිනෙදා ජීවිතයට සීමා විය. ඔවුන් ගිය මග මා ගියා නම් මේ කතාව ලියවෙන්නේ නැත. හැකි හැම විටම මම ඔවුන් කල දෑ ද ප්‍රගුණ කලෙමි. එසේ නොකලා නම් නැවත ඒ සඳහා කාලයක් නොලැබෙන බව දැන් දනිමි.

මගේ පවුලේ අය ගැමි ජීවිතය ගත කල ද පිටින් ඇවිත් ළඟම ඥාතීන් වූ පවුලක ගුරුවරුන් තම දරුවන්ට ඉගෙනීමට අතිරේක පොතපත මෙන් ම පුවත්පත් ද මිල දී ඉගෙනීමට දරුවන්ට බල කෙරිනි. පාසලේ තිබුනු පොත් සියල්ල හතර වසර වන විට කියවා අවසන් විය. ඊට පසු ඒ අඩු තැන මේ ඥාති පවුලේ අයගෙන් ඉල්ලා ගත් පොත පතින් පත්තරයෙන් පිරවින. එසේ වූයේ කෙසේ ද යන්න අදටත් තේරුම් ගත නොහැකි දෙයකි. සම්පූර්ණයෙන් ම අන් අයට විරුද්ධ අතට මා ගියේ කිසිදු බාහිර බලපෑමකින් නොව ඉබේම ය. සමහර ගුරුවරු විශේෂයෙන් 6, 7, 8 පංති භාරව සිටි ඥාති දයානන්ද දසනායක ගුරු මට ඉතාම ලැදි විය. එම කාලයේ පාසලට ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස ආ ගුනවර්ධන මයා කලින් සිටියේ හමුදාවේ මේජර් කෙනෙකු ලෙස ය. මම සරඹ කණ්ඩායමේ නායකයා වීමි. ඔහු හමුදා විනය දැරුවෙකි. වරක් මට කෝටුවෙන් ගැසූ විට මම නැවතුනේ ගෙදර ය. මැදට ආ මගේ පංති ගුරු මා ගැන කී තොරතුරු අසා මට බොහෝ ලැදි විය. තම බිරිඳ සමඟ රැඳී සිටි නිවසට කැඳවා මට ඉංග්‍රීසි ඉගැන්විය. ඉංග්‍රීසි අකුරක් නොදත් පවුලක ඉපැදී ඉංග්‍රීසියෙන් ඉගෙන ඉංජිනේරු උපාධිය ගත්තේ ඔහු දැමූ ඉංග්‍රීසි භාෂා අඩිතාලමෙනි. එසේම ඔහු නිසා මම හමුදා විනයට ද හුරු වුනෙමි. හැසිරීම වෙනස් කිරීමට පසු කලක දැඩි උත්සාහයක් අවශ්‍ය විය.

ජීවිතය වෙනස් කරන ලොකුම සිදුවීම හත වසරයේ ශිෂ්‍යත්වයයි. මේ සඳහා මගේ ඥාති පවුලේ අයගෙන් ඉල්ලා ගත් පොත පත බෙහෙවින් උපකාරී විය. අද මෙන් කිසිදු තල්ලු කිරීමක් නොවී ය. පියා ඒ ගැන දැන නොසිටියා යයි සිතමි. මවට ඒ ගැන තේරුමක් නොවී ය. ඇය මගේ ප්‍රිය කරන කෑම බීම අඩුවක් පාඩුවක් නොකර සැපයුවේ කෙසේදැයි මට පුදුම ය. මම කැමති දේ හරියටම දැන සිටියේ කෙසේ ද? ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසටත් පසුව පැවති දෙවන කොටසටත් සහභාගී වූ එකම සිසුවා මම විය. ශිෂ්‍යත්වය සමත් වී පාසලක් තෝරා ගැනීමේ දී මගේ ඥාති පවුලේ වැඩිමහල් ගුරුවරයා තම පුතු ගිය රිච්මන්ඩ් පාසල එක ලෙස දාන්න කියා දුන්නේ ය. මට එම තේරීම ලැබී නවය වසරට යාමට උපදෙස් ලැබින.

6, 7, 8 වසර ගත් කල සුවිශේෂ යමක් කිව යුතු ය. එකල මගේ පංතියේ සිටි පිරිමි මගේ ගෝලයන් විය. ඔවුන් හා එකතු වී උතුරේ පිහිටි එක්තරා දූපතක් අල්ලාගෙන පාලකයා වීමට පිඹුරුපත් සැකසුවෙමි. එසේම එයට ළඟා වීමට ගමේ සිට උමං පද්ධතියක් ගොඩ නැගීමට සිතුවෙමි. පසු කලෙක වැඩිහිටියන් ලෙස මුණගැසුනු විට එකෙක් ඒ ගැන කියා සිනාසුනා. ඒත් එහි වැදගත්කම තේරුනේ බොහෝ කලකට පසු ය. ලමා කාලය, මීට පෙර උපත නැවත මතකයට නැංවීමක් බව ඒ තුලින් තහවුරු වූයේ ද මෑතකදී ය. සැබැවින් ම මුල් වසර දහහතර තුල මා ගත කර තිබුනේ මීට වසර 30,000කට පෙර මේ ගමේ පැවති ජීවිතය බවත් එය මගේ පදනම ලෙසත් පසුකාලීන වෙනස්වීම සසඳන සම්මතය බවත් අද දනිමි. එසේ නොවී නම් අඛණ්ඩව ඉතිහාසය දැකීමට නොහැකිවනු ඇත. ආපසු හැරී බලන විට මුල් වසර දාහතරේ ලබාගත් අත්දැකීම වෙන කිසිවකු ලබන දෙයක් නොවන බව ස්ථීර ය. මගේ පවුල ආපස්සටම ගියා මිස වෙන දෙයක් නැත.

මා උපන් ගමේ වාසය කල වසර දාහතර ගත් කල, ලැබූ අත්දැකීම් බොහෝ ය. නිතර ඇසූ ජනකතාවක් වූයේ දියසේන කුමාරයාගේ කතාවයි. මම ඒ කාලේ දැන සිටි ආකාරයට දියසේන කුමාරයා (කුමාර් යන වචනය ද්‍රවිඩයන් හරහා සිංහල වී කුමාරය වී ඇත. කුමා(ර්) ලෙස හින්දියට හැරුනේ කෙනා යන වචනයයි) මම ඉපදුන දින උපන් වේලාවට සාපේක්ෂව හරියට ම වසරකට පෙර එනම් ඉංග්‍රීසි ක්‍රමයට අනුව, 1959 අප්‍රේල් 5 දින උදේ 06යි 06ට ඉපදීමට නියමිත වී ඇත. එය මට අදාළ නොවූ නිසා ගණන් නොගත්තත්, මගේ පියා තමන් දත් සියල්ලත් මේ කතාවත් නිතර මට පවසා ඇත. ඒ කාලයේ තොවිල් ගෙවල් වලට මා ගෙන ගියේත්, මැටි දේව රූප වලට නොයෙකුත් පුද පූජා කලේත් මවගේ දැඩි රැකවල් සමඟ ය.

1969 දෙසැම්බර් මස 31 දින ජීවත් වූ පැරණි නිවස ජල ගැල්මෙන් බිඳවැටුන නිසා, වැඩ නිම නොකල නව නිවසට ගියෙමු. 1971 අප්‍රේල් 5 වන මගේ උපන් දින ඇරඹි ජෙපි කැරැල්ල සමඟ අප්‍රේල් 16 දින ජෙප්පන් අපේ ගේ කඩා බිඳ ගිනි තැබුවා. ඒ තාත්තාගේ නමින් ඔත්තු දුන් ඔහුගේ බාල සහෝදරයා නිසා ඝාතනය වූ අට දෙනෙකුගේ පළිය ගැනීමටයි. ඔත්තු දුන් ජඩයා ද ජෙප්පෙකි. තවමත් ජීවත්වන ජීවිතය පුරා අපේ පවුල වැනසීමට වෙර දරන පාහරයෙකි. ඌට ම හරියන උගේ වැඩවලට එකතු වන තවත් පාහරයෙක් මගේ බාල සහෝදරයා ලෙස ඉපදී ඇත. එදා ජෙප්පන් පොඩි දරුවකු හෝ නැද්දැයි අපව සෙව්වේ පුච්චා අළු දියකරගෙන බොන්න යයි බැන වැදුනු ආකාරය මට මතකය. පසුව දෙවරක් පිච්චී අළු වූ ජෙප්පන් මගේ ජීවිත කාලෙදී දුටුවෙමි.

සිරිමාගේ පාලනය තුල උදා වූ තත්වය තුල රොටී කෑ හැටිත් කොස් දෙල් ප්‍රධාන ආහාරය වූ හැටිත් මතක ය. දෙන දේ කිසිදු විරෝධයක් නැතුව කෑවේ මම පමණක් බව මව නිතර කීවා ය. මේ කාලය තුල ගමේ ඇලේ දොලේ ගිලී යාළුවන් සමඟ නෑවේ පංතියේ බටපැළලි එතීමට බට කපාගන්න ගිය විට ය. ඒ මතකය ඉතා ලස්සන මල් පිපි දිය පාරවල් හා බැඳි පරිසරයකි. එය මතකයේ ස්ථීරව තැන්පත් වී ඇත. පසුව හැරී බැලූවිට එවන් පසුබිමක තනිව තමන්ගෙ ගමන ගොස් සම්පූර්ණ කිරීමට තරම් උරුමයක් වෙන කිසිවකුට නැත. සම කාලීනයන් පාසල හැර යාමත් සාමාන්‍ය පෙල දක්වා ගොස් නැවතීමත් පසුව දැනගතිමි. මේ කාලයේ දිනපතා පංසිල් ගත් පොහොය දින අටසිල් ගත් පවුලේ එකම සාමාජිකයා මම වීමි.

1974 -1978 ද්වීතීක අධ්‍යාපනය හැදෑරීම

අටවන ශ්‍රේණිය කැටියපේ විදුහලේ ගතකල මම නවවන වසර ඇරඹුවේ ආසියාවේ මුල්ම මිෂනරි පාසල ලෙස ඇරඹි ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ය. ආරම්භය ඉතා වේදනාකාරී විය. නිවසින් පිට නොගිය මම එකවර ගමෙන් පිටවී නාගරික පරිසරයකට ඒම සමඟ දැඩි පීඩාවක් දුකක් දැනින. පළමු සති අන්තයේම තනිවම රෑ අට හමාරට පමණ ගෙදර ගිය මම ආපසු යන්න බෑ කීවිට අස්කරගෙන දෙයියන්දර ද්වීතීයික විදුහලට දැමීමට තීරණය විය. එහෙත් කැටියපේ විදුහල්පති පියෙකු මෙන් ආපසු යන ලෙස කල ඉල්ලීම පිළිගෙන මම නැවත ගාල්ලට ගියෙමි. සතියකට වරක් ගෙදර ගියෙමි. මේ ආරම්භය සමඟ මගේ වියදම් සඳහා යයි කියමින් දෙවන අයියා පියාගේ සියලු ඉඩකඩම් බදාගත්තේ ය. ඔහු මට රෙදි කිහිපයක් අරං දුන්නා පමණි. එදා මෙදා තුර තව සතයකුදු මට නොලැබින. මගේ ප්‍රධාන ආදායම වූයේ ශිෂ්‍යත්ව මුදලයි. අතිරේක වියදම් මවගෙන් ලැබින. මෙය වෙන කෙනෙකුට වී නම් එතැනින් ඉගෙනුම අවසන් ය. මම සතුටු වන්නේ කාටවත් ණය නොවී ඉගෙනීම ගැන ය. ඉතාම සරල දිවි පෙවෙතකට හුරුවීමි. මගෙන් පැහැරගත් මට හිමි ඉඩම් මේ ලියන මොහොතේත් භුක්ති විඳින්නේ බදාගත් එකා ය. දෙමව්පිය උරුමයෙන් ලද දේ අත හැර ඔබට මා ගිය දුර යා හැකි ද? කිසි සේත් බැරි ය.

ගාල්ල මගේ නූතන ජීවිතයේ ආරම්භයයි. ඉන්දියානු සම්භවයක් ඇති නාගරික හිඟනුන් අතරේ මම අතරමං විය. මම ගමේ හෝ ගොඩේ එකකු ලෙස නොදැකීම අපූරු ය. නම වුව ප්‍රශ්ණයක් නොවී ය. මා ආපු කාලයේ විදුහල්පති ද පියසේන කෙනෙක් වූ නිසා බටහිර සංස්කෘතියෙන් යැපුණු පාසලේ මම කොන් නොවීම අපූරු ය. මගේ මුල්ම බෝඩිම වූයේ බෙලි මාමාගේ නිවසට ඉදිරිපස පාරේ අනෙක් පැත්තේ පිහිටි පෙරේරාගේ ගෙදරයි. මා සමඟ හිටි හතරදෙනාගෙන් සෝමෙ මාමා දෙයියන්දරින් ආ ඥාතියෙකි. ඇල්පිටියෙන් ආ ඈපා හා මා සමඟ පාසලට ආ විතානාච්චි හතර දෙනාට අයත් ය. මසකට ගාස්තුවලට අමතරව හාල් සේරු දෙකක් දිය යුතු විය. හබරාදුව හාල් පොල්ල ළඟ බසය නවතා පරික්ෂා කෙරින. එහෙත් ඒ හාල් වලින් පිසූ බත් නොලැබින. පරණ හාල්, පාන් ලැබින. ඉඳහිට ගුල්ලන් හා පණුවන් තිබුනා. වසර මැද විභාගෙන් සියලු නවය වසරවල පළමු වැනියා වුනෙමි. පසුව මගේ මිත්‍ර ධම්මිකටත් මට දෙවැනි තැනත් හිමි විය. ගෙදරින් ඈත්වී නුහුරු නුපුරුදු ජීවන රටාවක කොටු වී බිඳී ගිය මගේ ජීවන රටාව අදත් මට අහිමි ය. නාගරික ජීවිතයේ හිරවී ඒ තුලින් කාලය ගෙවී ගියේ ය.

ගෙදරක කාමරයටත් වැසිකිළියටත් සීමා වූ බෝඩිං කාරයාගේ ජීවිතය කොතරම් අප සමාජයෙන් ඈත්කරවනවා ද යන්න මනාව හඳුනමි. ගෙදරට යන එන අය අදාළ නැත. ඔවුන් සමඟ කතා කිරීමට ද අවශ්‍ය නැත. එහෙත් මගේ ජීවිතයේ තරුණ විය ඇරඹුනේ ගාල්ලෙනි. අනෙක් බෝඩිං කාරයන් වූ පංතියේ ළමයි සමඟ අයාලේ ගියේ දෙමව්පිය බලපෑම් රහිතව ය. විරුද්ධ පාර්ශවය ගැන හැඟීම් ඇරඹුනේ ද මේ සමයේ ය. එදා මුණගැසුනු යාළුවන් අද ද මගේ මිතුරන් ය. එදා පවුලෙන් ඈත්වීම මේ ලියන කාලයේ ශුන්‍යය කරා ළඟා වූයේ දුකින් එදා පිටවී යාම අද සතුටට හේතුවන නිසා ය. උන් අදත් එතැනමය. මම ලෝකෙ වටේ ගොස් ආවම උන්ගේ හැසිරීම පිළිකුල ඇති කරයි.

මුල් මාස හය ඉතා අමාරුවෙන් ගත කලෙමි. මට යහමින් මුදල් නැති වූයේ අපට සල්ලි නැති නිසා යයි සිතුන ද එසේ වූයේ මට සලකන මුවාවෙන් සියලු දේපල මගේ මද්දුම සොහොයුරා පැහැරගත් නිසා බව මම තේරුම් ගත්තේ මෑතකදීය. එක අතකින් එසේවීම කොතරම් හොඳ ද? කාටවත් ණය නැතිව ජීවිතය ගොඩනගා ගැනීම කල හැක්කේ මට පමණක් ය. වෙනෙකුට එසේවී නම් ජීවිතය අනාථ වනු ඇත. බෝඩීමේ කෑම ඉතාම කටුක විය. ඒ නිසා අක්මීමන බදුන්ගොඩ පාරේ ගොස් කන්ද මුදුනේ තිබූ ඥාති නිවසක බෝඩිංකාර ජීවිතය ඇරඹුවෙමි. ඒ ගෙදර බේකරියක් තිබුනි. ආච්චි හා සීයා මට හොඳට කෑම දුන්නා. මාමා KLH එකේ මැනේජර් ය. ටවුමට ගියාම අයිස්ක්‍රීම් කෑම සාමාන්‍ය දෙයක් විය. එහෙත් දියණියන් දෙදෙනාගේ පුතුන් වූ හෝමාගමයා හා සරත් ඉගෙනීමට බොහෝ බාධා කලහ. සෙල්ලමට බර විය. දෙසැම්බර් විභාගයෙන් මම පහලට වැටිණි. ඒ අතරේ උන් සමඟ ඔයේ නාන්න ගොස් හෝමාගමයා ගිලෙනු දැක ඌ බේරාගන්න ගොස් මටද ගිලෙන බව දැනුනු ආකාරය අමුතු ය. නාමින් සිටි වැඩිහිටියකු අපව ඔසවාගෙන විත් ගොඩින් තිබ්බා. එදා මෙදා තුර මම ජලයට බිය වෙමි. අන්තිමට මගේ කාමරයේ දොර වසාගෙන පාඩම් කලෙමි. හෝමාගමයා පාසල් ගියේ නැත. සරත් මගේ පාසලට ගිය ද රස්තියාදු කාරයෙකි. පසුව පාතාලයකු වී පොලීසිය අතින් ඝාතනය වූ සරත් නම් දාමරිකයා ඔහු යයි මම සිතමි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය ඇතුලු විෂයයන් තුනකට විශිෂ්ට සම්මානත් ඉතිරි විෂයයන් පහට සම්මානත් ලබාගත්තේ නොයෙකුත් බාධක මැද මගේ තනි උත්සාහයෙනි. ඒ කාලෙ ජලනල යෝජනාක්‍රමය නිසා පාරවල් මැද කාණු ය. බෙලිගහ හන්දියේ සිට බටගන්විල හරහා ජූල්ගහ හන්දියට ආවේ ගියේ පයින් ය. මට එකල මේ සියල්ල ගැන කිසිම හැඟීමක් නොවී ය. නෑ බෑ කියා නොසිතුනේ ය. හැම සති අන්තයකම ගෙදර ගියෙමි. බසයේ යාම යනු වමනය දැමීම විය. සමහර විට ගියේ නොකා ය. වතුර බීවේ ගෙදර ගිහින් ය. වරක් පාසල් බසයේ ගිය රිපන් කෙල්ලෙකුට මා පෙන්නා අනෙක් උන් උසුළු විසුළු කල ද මට ඒ තරම් කැසිල්ලක් නොවීය.

නවය සී පංතියෙ සිටින කල සිංහල ඉගැන්වූයේ නන්දසේන මයා ය. ඔහු පේරාදෙණියේ පළමු පංතියේ සිංහල උපාධි කාරයෙකි. දිනක් ඔහුගේ සිංහල මට නිවැරදි කිරීමට සිදුවිය. එහි අන්තිම ඵලය වූයේ දහයේ විද්‍යා අංශයේ ඉගෙනීමට බයලොජි වෙනුවට සිංහල සාහිත්‍යය විෂය යෙදූ පංතියක් බිහි වීමය. එහෙත් මම තෝරාගත්තේ බයලොජි එක විෂයයක් වූ දහය ඒ පංතියයි. අඟනා සාරි දිනපතා එක ගානේ ඇන්ද බයලොජි ටීචර් රෙදි මුදලාලි කෙනෙකුගේ බිරියයි කියා අසා ඇත. මට ඈ මතකයේ ඇත්තේ මගේ කණ මිරිකු ලෙසයි. එය එතරම් රිදුනේ ද නැත. වුනේ ප්‍රජනනය ගැන කියා දුන් දවසේ ය. මේ කාලේ මා මුහුණ දුන් අමාරුම අභියෝගය වූයේ ගමේ පාසලේ අප පෙන්වූ අවංකත්වයත්, මෙහිදී නරක වැඩ කල උන්ගේ වංකබවත් ය. කල එකා සැඟවූ විට මුළු පංතියම අව්වේ ය. දහය වසරේදී පාසලට ආ මුල් සතියේ දවස් පහම ගත කලේ අව්වේ ය. එක ජරා බල්ලෙක් හූ කීම නිසා දහයෙ පංති පහම අව්වේ සිටියා. ඌ කල බලු වැඩේ ගැන කී විට පසුව වලියට ආවිට මගේ පැත්ත ගත්තේ දඩැල්ලේ මගේ මිත්‍රයා නිසා කිසිවක් නොවී ය. පංතියට ආසන්නයේ කාර්යාලයේ සිටි නියෝජ්‍ය විදුහල්පති ටියුඩර් සිල්වා අපේ පංතියේ මොනිටර් වූ මේ මොහොතේ මිචිගන්හි ඈන් ආබර්වල පදිංචි මගේ මිතුරු ධම්මිකට බඹරයක් සේ කැරකෙන්න දුන් කනේ පහර අමතක නොවන දෙයකි. ඒ කාලය සිතේ සැහැල්ලුවෙන් සිටියා මෙන්ම සුමිත් මානවඩු, ඕෂධ, සොයිසා, සිල්වා සමඟ ඔවුන්ගේ නිවෙස්වලට ගිය ගමන් ද සිහි වේ. සුමිත් පසුව හමුදාවේ ඉහල තනතුරක් ලැබුවා.

එකොලහ වසරට ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය භෞතික හා රසායන විද්‍යා තෝරාගෙන එකොලහ ඒ පංතියට ගියෙමි. දුර සිට ඒම අපහසු නිසා වැකුණගොඩ අලි මුදලාලිගෙ නිවසට ඉදිරියෙන් වූ නානායක්කාර නිවසේ බෝඩිංකාරයකු වීමි. පංතියේ සිසු ගාමිණී අමරසිංහ මා සමඟ විය. මම නිහඬ චරිතයක් වූ නිසා ඔහුට කතා නොකිරීම ප්‍රශ්ණයක් විය. උස ගසින් වැසී හිරු එළිය අහිමි නිවසට කොටු වූ නිසා මගේ දත් කිහිපයක් දිරා ගියා. පිරවූයේ ධම්මිකගේ මව ය. මනමාලකම දැනුනු කාලයකි. හිත නිදහස් නොවූව ද ප්‍රශ්ණ හමුවේ වුව පාඩම් කලෙමි. කෑම බීම අඩු නැතිව ලද සුව පහසු බෝඩිමකි. ඇන්ටි හා අංකල් ගුරුන් වූ අතර චූටි දරුවන් දෙදෙනා මා සොයා තරමක් ඈතින් වෙනම පිහිටි කුටියට ඒම අපූරු ය. මම ඔවුන් බලාගනිමින් මිදුලේ තණනිල්ල මත හිටපු දවස් බොහෝ ය. සමහර වෙලාවට කණමැදිරියන් අල්ලා දුනිමි. මා නොදන්නා අතදරුවන් පවා මා දෙසට හැරී බලා සිනාසුනු වාර බොහෝ ය. මෙය ජීවිතය පුරාම අත් දුටිමි.

විෂය භාර ගුරුන් වූ නන්දසිරි (ව්‍යවහාරික) ලැජ්ජාකාරයෙක් වුවත් විෂයය මනාව ඉගැන්නුවා. උසස් පෙල විභාගයෙන් විශිෂ්ට සාමාර්තයක් ලැබුවා. ශුද්ධ ගණිතයට ආ ගුරු වික්‍රමසිංහට ගණන් බැරිය. පසුව බැංකුවක රැකියාවට ගියා. තනිවම ඉගෙන ධම්මික නිසා ඔහු ගිය ටියුෂන් පංතියට ගියේ ගුරෙක් නැති නිසා ය. එයට බී සාමාර්තයක් ලැබුවා. භෞතික විජ්ජාව ඉගැන්වූ අබේගුණවර්ධන ගුරු පිටසක්වලයකු වැනි ය. පිරිත් කීවා යි සිතමි. එයට ලැබුනේ සී ය. රසායන විද්‍යාව ගිරවකු සේ ඉගැන්වූ ජස්ටින් ගලප්පත්ති පසුව ටියුෂන් කාරයකු හා දේශපාළුවකු විය. ලැබුවේ එස් ය. පසුව තේරුනේ ඔහු දැන සිටියේ කාබනික රසායනය පමණක් බවය. සමත්වීම වාසනාවකි. ප්‍රථිඵලය ගුරාගේ දායකත්වයට සමාණුපාතික විය. මමත් ධම්මිකත් ඉංජිනේරු අංශයට යන බව කවුරුත් කීහ. එය එසේම විය. අපි පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට ගියේ 1979 ය.

අයිස්ක්‍රීම් මුදලාලිගේ පුත් අසේල මුදලිගේ දඩබ්බරයෙකි. වරක් වලියකට සෙට් වී හොඳට ගුටි කෑවේ ය. ඒ කාලේ මැර කල්ලි මෙහෙය වූ සිසුන් විය. උසස් පෙල විභාගයට ලිව්වේ දංගෙදර පාසලකය. අසේල ලිඳේ දම්වැල උස්සා තව පොඩ්ඩෙන් හොඳ කෑමක් කන්න තිබුනා. චේන් කඩු පොළු ගත් මැරයන්ගෙන් බේරුනේ ජයවීරගේ සහජ හැකියාවෙන් සාමදාන කල නිසා ය. මෙයාකාර සිදුවීමක් සමස්ත ලංකා එල්ලේ තරඟයට ගොස් ජා ඇලදී අත් දුටිමි. අපේ උන් රෑ වත්තකට පැන තැබිළි කඩා ගම්මුන්ගෙන් ගුටි නොකා බේරුනේ අනූ නමයෙනි. බිග් මැච් ද කෙල්ලන්ට උසුළු විසුළු කිරීම ද මතක ය. මිද්දෙනියේ ලියනගේ මතක් වේ. මතකයේ ඇති සමහර දේ නොලියමි.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.