Saturday, 28 September 2013

හින්දූන්ට "ආයූර්වේදය" වූ සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම - තෙවන කොටස

 පුලුල් බව අගැයීම


"ආයු වැඩිකරන විදිය" දෙන දැනුමේ භාවිතය හා එහි ඇති පුලුල් බව හැදෑරූ විට,  දැනුම ගොඩ නගා ඇත්තේ ලෙඩ රෝග ගැන පමණක් නොව මිනිසා හැදුනු හා වෙනස්වන ආකාරය මනාව දත් අයෙකු බව තහවුරු වේ. බොහෝ මිනිසුන් තමන්ගේ දැනුම යයි අනුන් කී දේ තමන්ගෙ කරගෙන කරන මුලාව අත්හැර බැලූ විට, අප සතු සියලු දැනුම එකම කෙනෙකුගේ බව තහවුරු වුනේ සිංහලයන් ගැන මගේ හැඟීමක් නොමැතිව සිටි පෙර කල ය. එතුලින් දුටු දේ සිංහලයන් සතු තොරතුරු වලට සමාන වීම නිසා, අද මම ඒ ගැන බොහෝ ලිව්ව ද, මා සතු දැනුම හා සිංහලයන් සතු තොරතුරු අතර කිසිදු බැඳීමක් නැති බව කියන්නේ, සිංහලයන් යෙදූ වචනම යොදා ලියන විට, මම ඒ තොරතුරු පිටපත් කරන්නෙකු ලෙස දැකීම වැලකීමට ය. සියලු දැනුම එකම කෙනෙකුගේ බව තහවුරු වුන මගේ සොයාගැනීමේ දී, ඒ කවුදැයි නමක් නොතිබිනු නිසා, මට කැමති නමක් දැමිය හැක. එහෙත් ඒ වෙනුවට හිරු යයි යොදන්නේ එවැන්නෙකු සිංහලයන්ට දැනුම දුන් බව කී නිසා ය. හිරු යන කලින් කල මිනිසෙකු වී උපදින කෙනෙකු යයි කිව හැක. අද තෙක් රැකුණු දැනුම ගත් කල එය මහසම්මත මනු (සුමන, සමන්, විෂ්ණු, විශ්වමනු ආදී බොහෝ නම් ඇත) දුන් බව අද අප අතර ඇති තොරතුරු තහවුරු කරයි. ලෝක ස්වභාවය ඒකීය නිසාත්, එවන් අය ඇත්තේ එකෙකු නිසාත්, මොහු හිරුගේ උපතක් ලෙස දකිමි. මේ දැනුමට තවත් අය සම්බන්ධ නම් ඔවුන් ද එක්තරා කඩඉමක් පසුකර හිරු හා සම විය යුතු ය. එවැන්නෙකු නැති බව එදා සිට අද දක්වා ඉතිහාසය සනාථ කරයි.

මෙම දැනුමට පදනම වී ඇත්තේ මිනිසා බිහිවීමත්, යන ගමනත් ගැන දත් තොරතුරු බව තහවුරු වේ. වාහනයක් හදන හැටි, දුවන හැටි හා එය භාවිතා කරන කොට වෙන/නොවෙන දේ මනාව දනී නම්, එවැන්නෙකු, නඩත්තු කිරීම ද මනාව දන්නෙකු බව තේරුම් ගැනීම පහසු ය. එසේම බාහිර බලපෑම් හා ආක්‍රමණිකයන් කල විකෘර්ථි කිරීම් නිසා අරුත් සුන් වී ගිලිහුණු අවතාරය ගැන ඇති මනා දැනුම මේ තුලින් දිස් වේ. එනම් ප්‍රතිකාර කිරීම ගතට පමණක් නොව සිතට ද උචිත වූ අංඟසම්පූර්ණ දෙයක් බවයි.

මෙම දැනුම සිංහල සමාජයට සීමා වූ, බාහිර බලපෑම් නොමැති කලක විසූ සිංහලයන්ට උචිත ලෙස සැකසූ දෙයක් බවත්, ආරම්භය එදා පැවැති ජීවිත නැසෙන හේතු මත බිහිකල බවත් තහවුරු වේ. නැති ලෙඩට බෙහෙත් දීම අනවශ්‍ය බව සරල දැනුමෙන් වුව තේරුම් ගත හැක. ඒ අනුව ගත් කල, අද මෙන්  ශාරීරික හානි නොවූ බව පෙනේ. ම්ලේච්ඡ සමාජයක භයානක තුවාල වීම් හා ඊට සරිලන ප්‍රතිකාර අවශ්‍ය වේ. එහෙත් මනුෂ්‍යයන් ලෙස ජීවිත්වීම තම පරමාර්ථය කරගත් සිංහලයන්ට ඒ මත ගෙතුනු  ජීවිත රටාවක් ද ඇති විට, ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නිරෝගී බවට හානි වූ විට බව මෙම දැනුම තුල ගැබ් වූ තොරතුරු වලින් දිස් වේ. මෙහිදී සියලු ජීවීන්ට පොදු වූ "දෙයාකාර හැසිරීම" මගින් නිරූපණය වන ලෝක (විශ්ව) ස්වභාවය ගැන මතක් කරන්නේ, මිනිසුන් ලෙස අප 100%ක් ම නිරෝගී බව රැකීමට කලයුතු දෑ කල ද, එහි ඵලය 50%කට සීමා වීමය. එනම් ඉතිරි 50% වන අපට පාලනය අහිමි බාහිර සාධක නිසා රෝගී විය හැකි බව ය. මෙම බලපෑම අපේ තිරිසන් ආයුෂ කාලය (අවුරුදු 30ක් පමණ) තුල එතරම් සැලකිය යුතු නොවන තරමට අප සවිමත් ය. ඊට එහා යෑමට, එනම් ආයුෂ වැඩි කිරීමට මෙම දැනුම වැදගත් වේ.

තිරිසන් පරිසරය තුල ජීවත්වීම හා නැසීම සම සමව බෙදෙන නිසා, නැවත නැවත බිහිවීමේ රටාව තුල ඉතිරි වන්නේ නැසීම පරදන උන් ය. අඩුපාඩු සහිත බිහිවීම්, ගොදුරු වී නැසීම තුලින් වර්ගයාගෙ රැකීමක් සිදුවේ. මිනිසුන්ට ජීවත්වීමට අවශ්‍ය දෑ වැඩි උත්සාහයකින් තොරව ලැබෙන නිසා, මෙවැනි ශුද්ධ වීමක් නොවේ. එනම් නොමැරී ජීවත්වීමට අවශ්‍ය අවම දෑ ඇති උපත් දක්වා ජීව පරාසය දිගු වේ. මෙම පරාසය දිගු වීම තව බොහෝ අභියෝග බිහිකරයි. මේ පදනම ගත් කල සිංහල දැනුම, තාරය (ගත) හා අවතාරය (සිත) හා බැඳි රෝග නිවැරදි ව හඳුනාගෙන ප්‍රතිකාර කිරීමක් පෙන්වයි. මෙහිදී තොරතුරු සීමාකිරීමට සිදු වුව ද, දන්න අයගේ මතකයට නැගීමට නා නා ප්‍රකාර ජීව කොටස් ගෙන සකසන තාරික ප්‍රතිකාර ද, බලි තොවිල්, දහ අට සන්නිය, රටරැකුම වැනි අවතාරික ප්‍රතිකාර ද සිහි කරමි. මේවා, රෝගී වීම වැලැක්වීමට ගොඩ නැඟුනු ජීවිත රටාවට අමතර ව යෙදේ. ඒ තුලින් කරන දෑ දකී නම් පුදුමය දනවනු ඇත. එහෙත් ප්‍රතිකාර කරන්නන්, තමන් කරන දේ ගැන එතරම් ගැඹුරු දැනුමක් නොලද බව හැසිරීමෙන් පෙන්වනවා.

"ආයු වැඩිකරන විදිය" දෙන දැනුම ප්‍රතිකාර කිරීම තුලින් හැම අසනීපයකටම, හැම කෙනාටම, හැම වයසකට ම පොදු අමෘතය වැනි මායාවෙන් තොරවීම, අපේ ජීවිත වලට එහා යන දැනුම ඇතියකු බිහිකර ඇති බව තහවුරු වේ. ඒ ගැන තව කීම නොකර, ලෙඩරෝග සුව කිරීමට යොදගන්නා උපක්‍රම ගැන සඳහන් කරමි. අපට ස්වාභාවිකව හිමි වූ ලෙඩරෝග සුවකරන ක්‍රියාවලියක් අප සතු බව මම කලින් කීවෙමි. ප්‍රතිකාර තුලින් කරන්නේ එම ස්වාභාවික ක්‍රියාවලියේ විවිධ අංඟ තම අභිමතය අනුව බලගැන්වීමයි. ඊට අමතරව අවශ්‍ය අමු ද්‍රව්‍ය සැපයීම,  තත්ත්ව පාලනය හා ශාරීරික ද්‍රව්‍යමය සංයුතිය තාවකාලිකව වෙනස් කිරීම වැනි උපක්‍රම යොදා ගනී. එහෙත් තාරික හා අවතාරික බෙලහීනතා හමුවේ, දක්වන ප්‍රතිචාරයන් වෙනස් වේ. ඉහත කී ක්‍රියාවලි තුලින් ලෙඩරෝග වලට ප්‍රතිකාර කරන නිසා,  සනීප වූ විට අනිෂ්ඨ ඵලවිපාක නැත.

මෙම දැනුම තුල සියලු අබල දුබලකම් පැහැදිලිව හඳුනා ගත් නිසා, අසනීපයට සරිලන ප්‍රතිකාරයක් ඇත. එය මිස වෙන දෙයක් කර ඵලක් නැත. එනම් සර්වරෝග නිවාරණ තෛල වැනි දෑ නැත. මේවා සැබෑ වේ නම්, අප සරල නිපැයුමක් විය යුතුමය. එසේ ම, තමන් ජීවත්වන විදිය මත හෝ කන නොකන දෑ මත ගොඩ නැඟෙන දුබලතා නැති කිරීමට ප්‍රතිකාර නැත. උපතින් හිමිවන රෝගාබාධ සුවකිරීම නිෂ්ඵල ලෙස සැලකූ බවත්, එතුලින් ජීවය බිහිවීම ගැන මනා දැනුමක් ඇති කෙනෙකු දැනුම දුන් බවත් පෙනේ.

ලෙඩ රෝග වර්ග කිරීම තුල සමහර රෝගලක්ෂණ පෙන්වන, එහෙත් රෝගයකට වඩා වෙන යම් අවශ්‍යතා සඳහා කෙරෙන දෑ හඳුනා ගැනීම තුල, මේ දැනුමේ පුලුල් බව පැහැදිලි වේ. මිනිසා යනු තවම වැඩිදියුණු කිරීම්වලට ලක්වන ජීවයකි. එහි සුදුසු නුසුදුසු බව නැවත නැවත පරික්ෂා කිරීම තුලින් නුසුදුස්සන් නැසීම ද වේ. මෙය කොතරම් දුර ගොස් ඇති දැයි කියනවා නම්, මීට වසර දහස් ගණනකට පෙර සිටි අයෙකු එම තත්ත්වයෙන් ම පණ ගැන්වී නම් ක්ෂණයෙන් මියැදෙනු ඇත. අපේ ලෝකය, ස්ථාවර ජීව ලෝකයට වඩා ක්‍රමාණුකූලව ඉදිරියට යන්නක් බව මෙනයින් තහවුරු වේ. එවන් තත්ත්ව යටතේ බිහිවන රෝග සඳහා ද පිළියම් යොදා ඇත.

ප්‍රතිකාර කිරීම තුල, නිතර කන බොන දෑ නොව, ඒ ඒ ලෙඩ රෝග වලට අනුව සැකසු ජීව ද්‍රව්‍යයයන් යෙදීම ගත් කල, ඒ ඒ ජීවීන් බිහිවීම ගැන ද මනා අවබෝධයක් ඇති කෙනෙක් දැනුම දුන් බව පෙන්වයි. මෙම දැනුම අද අපට අහිමි වීම තුල, ඒ දැනුම දැරුවන්ගෙ ඉපදීමක් නැති බව පෙන්වයි. ඒ දැනුම මත ගෙතුනු විවිධ ප්‍රතිකාර ක්‍රම තිබුන ද, බහුතරය එම දැනුම මත නොව, මවාපාන්නන්ගේ ගෙතුම් බව තහවුරු වේ.

සිංහල සමාජය බිඳ වැටී, ඒ මත යැපෙන ඉංග්‍රීසි ජීවන රටාව තුල මෙම දැනුම නොමැතිවීම අරුමයක් නොවේ. ඒ තැන හින්දූන්ගේ ආයුර්වේදය හා ඉංග්‍රීසීන් ගේ දොස්තරකම පැහැර ගෙන ඇත. මේ දෙවිදිය හා සැසඳීම ඉතිරි කොටස් දෙකෙන් දෙමි. එතනින් නිමාව දැක තවත් වැදගත් දෙයක් ගැන ලියමි.

No comments:

Post a Comment