Friday 1 November 2013

ඉපදීම හා නැවත ඉපදීම - හතරවන කොටස

 

නැවත නැවත ඉපදීම හැදෑරීම තුලින් දුටු මිනිස් ලෝකය - ඉතිරිය


නෑ මිතුරන් ලෙස විවිධ සතුන් සිටී නම්:


මෙය කාටත් දැනෙන තිත්ත ඇත්තකි. මිනිසුන්ටත් මිනිසුන් සමඟ ගැවසෙන සතුන්ටත් බලපාන, ආදීනව ගත් කල, මිනිසාට දැඩි ව බලපාන දෙයකි. මිනිසුන් ද කලකට පෙර තිරිසන් සතුන් විය. එනම්, ජීවත්වීම යනු ජන්ම හැඟීම් තුලින් ඵල දරණ හැම සත්ව වර්ගයකට ම පොදු වූ හැසිරීම හෙවත් තිරිසන්කම මුල් කොට වීම ය. එහෙත්, දැනුම තුලින් මිනිසා අද ඉන්න තත්ත්වයට ළඟා වීමට ආ ගමනේ දී විවිධ සතුන් ද මිනිසුන් ව සිටින බව, විවිධ සතුන් උරුම කරගත් අනන්‍ය වූ ගතිලක්ෂණ ඇති මිනිසුන් ඇති බව තුලින් තහවුරු වේ. මේවා තම වර්ගයට හැර වෙන කිසිම වර්ගයකට අහිමි ගතිලක්ෂණ විශේෂයකි. එතුලින් සතාගේ ඒකීය බව තහවුරු කරයි. උදාහරණ ලෙස බල්ලා අන් කවර සතෙකුට හා සම නොවන්නේ එවැනි විශේෂ ගතිලක්ෂණ නිසා ය. මෙහි දී තිරිසන් සතුන් ලෙස සිටි මනු සතුන් ගණන 2000 - 5000 බව ගණිතමය උපක්‍රම තුලින් පෙන්විය හැක.

සතෙකුට තම වර්ගයෙන් පිට වෙනත් සතෙකු වීම ලෙහෙසි නැත. ඒ ජීවත්වීම යනු ගත දැඩි ලෙස හසුරුවන ක්‍රියාවක් නිසා ය. එසේ ම යම් හුරුවක් ලැබීමට මිත්‍ර බවක් අවශ්‍ය වේ. එය තිරිසනුන්ට අහිමි ය. එහෙත් මිනිසා සමඟ අතීතයේ පටන් ජීවත් වූ සතුන් ඇත. මෙහි දී සිංහලයන් හා බැඳි අලි, හරක්, බලු, කුකුළු වැනි සතුන් දිර්ඝ කාලීන සබඳතා තුලින් දෙපැත්තට මාරු වන බව විශේෂ ගතිලක්ෂණ තුලින් පෙන්වයි. අද සිංහයන් නැති වුව ද පෙර සිටි උන් මිනිසුන් අතර සිටින බව පෙනේ. එවැනි හැසිරීම් අත්දැකීමෙන් ඔබ ද දන්නා නමුත්, නොදැනුම තුල එම තොරතුරු ගිලි හී යයි.

සැබෑ මිනිසුන් (2000 - 5000) වුව, ඔවුන් ද මිනිසුන් වීමට පෙර ඊට කලින් සිටි සතුන් ලෙස තහවුරු වේ. මිනිසුන් යනු ගොරිල්ලා වැනි සතෙකුට සිංහ, අලි හා නාග ගති කලතා අද ඉන්න තත්ත්වයට ගෙනා බව කීමි. ඊට අමතරව නොකී දෙයක් කියමි. එනම් මීයාගෙන් ගත් ජීර්ණ පද්ධතිය ගොරිල්ලා වැනි සතෙකුට හිමි වීමයි. මිනිස් තාරයකට මිනිස්, සිංහ, අලි හා නාග යන අවතාර අරක් ගැනීම තුල තාරය වැඩි දියුණු වී, වැඩී, වර්ග හතරට ගැලපෙන සේ ගොඩ නැගේ. එවැනි තාරයකට, මිනිස් අවතාරයක් එකතු වූ විට, තාරය හරහා අවතාරය ද ගැලපෙන සැකසීමක් කර ගනී. දිගු කලක් තුල වන මෙම දෙයාකාර වර්ධනය තුලින් මිනිස්බව ගොඩ නැගී ඇත.

එසේ බිහි වූ මනුසතා, කැලේ විසු සුවිශේෂම දක්ෂතා ඇති සතා නොවන්නට අදත් තිරිසනෙකි. මනුසතා කොයි වගේ සතෙක් දැයි මිනුම්ගත කිරීමට අවශ්‍ය වේ නම්, ඊට ම ළඟින් යන වෙන සතෙකු ද පාතල ලෝකයේ ඇත. උන් හදාරා, මනුසතා ගැන අවබෝධයක් ගත හැක. පසුව, මනුසතා වෙන සතුන් හා ගැවසීම නිසා, මෙවැනිම සංකලණයක් වී ඇති බව තහවුරු වේ. සිංහලයන් ගත් කල, බල්ලන් හා හරකුන් අතර මෙම සංකලණය වීම තියුණු බව තහවුරු වේ. ඇත්තම කියනවා නම්, බහුතරය සුනඛයන් හා හරකුන් වීම පැහැදිලි ව තහවුරු වේ. මෙය බාල වීමක් ලෙස දකින්නේ, මේ සතුන් කලින් කී සතුන් ලෙස ඉහලම තලයට අයත් නොවීම නිසා ය. අද මිනිසුන් නිකම් ඉඳ කෑමට බලයි නම්, ඒ සුනඛයන් මිනිස් බව ගැනීමත්, කෑම බීම වෙනුවෙන් කියන දෙයක් කරයි නම් හරකෙකු මිනිස් බව ගැනීමත් ලෙස දැකිය හැක. මෙහි දී, වරක් හෝ එසේ සංකලණය වී නම්, සුවිශේෂ හැකියාව ඇති අයෙකුට හැර වෙන කෙනෙකුට, උරුම වන ගති එසේ ම භාර ගැනීමට සිදුවේ. මෙය මිනිස් ජනගහණය වැඩි කිරීමට යෙදුවක් බවත්, කිසිසේත් ම නිග්‍රහ කරන අදහසින් ලිවූ දෙයක් නොවන බවත් කියමි. ඔබ එසේ දකී නම්, එය ඔබේ ආකල්පයේ ඵලයකි. මට සියලු ජීවීන් එක සමාන වැදගත් කමක් ඇති උන් ලෙස පෙනේ. එසේ ම, මට කිසිදු සතෙකුට ඇල්මක් ද නැත. ඔබ සතුන්ට ඇල්මක් පෙන්වීම ආරාධනයකි. ඔබ, අණුකම්පාවට කල ද, තිරිසනෙකුට එය රකින්නකු වීමක් ය. ඔබ උන් තුරුළු කරගත් විට, ඌ සිතන්නේ ඔබ උගේ මව පියා ලෙස ය. මෙම දෙයාකාර සම්බන්ධය නිසා මිනිසුන් ලෙස වෙන සතුන්ගේ උපත සිදුවේ.

සතුන්ට ලෙන්ගතුකම් දැක්වීමත්, මිනිසුන්ට ලෙන්ගතු කම දැක්වීමත් ගත් විට, කරන්නාට එකම මිනිස් හැඟීමක් තිබුන ද, ලබන්නා ගත් විට, සතා දක්වන ප්‍රතිචාරය ඌට ආවේනික හැඟීම් දනවයි. එය මිනිසුන්ට සම නොවන ඒ සතාට පමණක් ආවේණික දෙයකි. සබඳතා තුලින් ලං වීම ද, කල් යත්ම මිනිස් බව ලැබීමක් ද, සතාගේ හා මිනිසාගෙ සබඳතාවය මත සිදුවේ. මෙහි දී, උදාහරණයක් ලෙස සුනඛයා ගත් විට, ඌ ද මිනිසකු වී ඉපදුනා යයි සිතමු. ඒ පමණින් උගේ අවතාරික ගති වෙනස් නොවේ. මෙම සතා තෝරා ගත්තේ, ඌට ම ආවේණික ගතියක් ඇති නිසා ය. සුනඛයන් පොර කෑම තුලින් ඉහල සිට පහලට යන අණුපිළිවෙලක් තුල තමන්ට හිමි තැන තෝරා ගනී. සියලු සුනඛයන් මෙම අණුපිළිවෙල හැම මොහොතේ ම රකිති. එකට සිටිය ද, පොර කා එය සහතික කරති. ඒ නිසා සුනඛයකු ඔබේ වැඩිමහල් සොහොයුරා වී උපදී නම්,  ඌ කිසි දින ඌට වඩා ඉහලින් යාමට නොදේ. සුනඛ වෙසින් පොර කෑව ද, මිනිස් වෙසින් ගහ මරා ගැනීම, අණවින කොඩිවින කිරීම, නඩු හබ, සතුරුකම් කර හෝ තම ආවේනික හැසිරීම පෙන්වයි (මෙය සැබෑ ලොව සිදුවීමකට බැඳුනකි).


නැවත නැවත ඉපදීම තුල එකිනෙක ජීවිත අතර ඇති සම්බන්ධය  හා ජීවිත කාල එකතු කල විට යම් රටාවක් ඇති ද?


මෙය හැදෑරීමට බොහෝ කලක වූ උපත් ගැන දත යුතු ය. මෙය කියන්නේ කිව යුතු නිසා මිස කියවන්නාට එතරම් ඵලක් නැත යන හැඟීම ඇතුව ය. මම මුල්ම දින සිට මනුසතුන් ලෙස දිගටම උපන් කොටසක් දුටිමි. උන් සතු සුවිශේෂ ගතිලක්ෂණ, පසුව මිනිසුන් වූ උන් ට වඩා වෙනස් ය. මේ සුවිශේෂ ගතිලක්ෂණ ඇති තවත් සත්ව විශේෂයක් අදත් පාතාල ලොවේ සිටිති. දෙයාකාර විදිය නිසා මෙම සතුන් දෙවර්ගය බිහි කර ඇත. ඉන් මනු සතා යොදා දැනුම තුලින් අද තත්ත්වයට ගෙනාව ද, යම් හෙයකින් ඌ වැඩකට නැති නම්, විනාශ කර, අනෙක් සතා ගෙන උත්සාහ කල යුතු බව දිවැස් (මම අරුත් දැක්වූ විදිය බලන්න) තුලින් දැකිය හැකි ය. එම තීරණය ඔබට අදාළ නැත.

මෙහි දී මා කී, මුල් ම දින සිට මනුසතුන් ලෙස දිගටම උපන් කොටස ගත් කල, උන් ළඟ අදත් ඊට පෙර ජීවත් වූ සත්ව ගතිලක්ෂණ ඇති බව තහවුරු විය. වෙනසකට දුටුවේ, උන් ඒ සත්ව විශේෂයන්ගේ උපරිම හැකියාව ඇති උන් වීම ය. එය මනුසතා ලෙස ඉපදීමට හේතු වූ බව පෙනේ. අද ද, උන් මනුසතාගේ ආරක්ෂිත ඉහලම තලයේ සිටිති. උන් පණ මෙන් රකින නොපෙනෙන කොටසක් ඇති බව ද දුටිමි. මෙහි දී මොන හේතුවකට හෝ ජනගහණය අඩු වේ නම්, ඊට මුහුණ දීමට, උන් ඉහල ම තලයේ ද ඉතිරිය අණුපිළිවෙලින් පහලට ද දමා ඇති බව දුටිමි. මෙය ලැබීම තුලින් මැනිය හැක.

මොවුන්ගේ හැසිරීම ගත් විට, තාරික මරණයෙන් පසු තාරික ඉපදීම යනු පරණ භාණ්ඩයක් වීසි කර, අළුත් දෙයක් ගැනීම වැනි ය. අවතාරික හැසිරීම ගත් කල, තාරික මරණයෙන් පසු, තාරික ඉපදීමට අදාළ නැති දිගු රටාවකට අනුව හැසිරීමක් පෙන්වයි. තාරික සිදුවීම තුලින් අවතාරික හැසිරීම එම දිගු රටාවේ ඊළඟ පියවරට යාමක් ලෙස දුටිමි. මරණය හා ඉපදීම අතර කාලයේ බලපෑමක් නැති බව ද දුටිමි. සිංහලයන් උපන් වෙලාව ගෙන කරන ගණනය තුල ද, එම දිගු රටාවේ  ස්වරූපය ලිය වී ඇත. සැබැවින් ම, ජීවිත දැනුම තුල මෙම රටාව තිබුන ද, පැහැදිලි නොකරමි. කෙටියෙන් කියනවා නම් ඊ ළඟ උපත යනු, අද උදේ සිට හවස් වන තුරු කල රාජකාරියේ ඉතිරිය හෙට උදේ පටන් ගැනීම වැනිය. ඊ ළඟ උපත මේ උපතේ කල කාරිය ඉදිරියට යාමක් පමණි. මෙයට හේතුව අවතාරයේ ඇති ස්ථාවර බවයි. ලැබෙන තාරය අනුව ජීවිතයේ කාල පරාසය තීරණය වේ.

සිංහලයන්ගේ නැවත නැවත ඉපදීම ගත් කල, සිංහලයන් අතර උපදින බහුතරය එකම කොටසකට සීමා වී ඇත. එය, තම හිතවතුන් වෙනුවෙන් දිවි පුදන තරම් නොකඩවා පැවතෙන බැඳීමක් බව දුටිමි. මා වටා ඇති උන් ගත් කල, මට දක්වන බැඳීම, කැපවීම තුල මා වෙනුවෙන් දිවි වුව පුදන බව ක්‍රියාවෙන් දුටිමි. එය සතුටක් මෙන් ම දුකක් වන්නෙ, අද උන් මුහුණ දෙන බාහිර කරදර දුටු විට ය. මනුසතුන් ලෙස ගෙවූ අපූරු ජීවිතය, බාහිර බලපෑමෙන් වෙනස් කර ගිය ගමන ඉතා වැදගත් නිසා, දුටු දෑ තාවකාලික පසුබෑම් ලෙස සිතමි. යමෙක් වසර තිස් දහසකට පසු ආව ද, පෙර තිබුනු බැඳීම් එලෙසම නොවෙනස්වීම වැනි දෑ තුල, අවතාරයේ නියම ස්වරූපය කියයි. අවතාරික ගති ලක්ෂණ සියල්ල හඳුනා ගත් විට, තම මුළු ඉතිහාසයම දැකිය හැක. සරල ව කියනවා නම්, අපේ හැඟීම් හා ඊට දායක වන පාරිසරික සාධක හරහා මෙය කල හැක. ඔබ නොදත්/නොදුටු අයෙකු දුටු පමණින් ඔබට ඇතිවන හැඟීම ග්‍රහණය කර, එහි ස්වරූපය හා අදාල කාල නිර්ණය හරහා හඳුනා ගැනීම වේ. මෙහි දී කිසිදා "නැවත නැවත" නොවන පාරිසරික අජීවී වෙනස්වීම මධ්‍ය කොට කාලය නිර්ණය කල හැක. මෙය ඉතා සංකීර්ණ මෙන්ම සීමිත මානව හැකියාවට එහා ගිය ව්‍යායාමයක් වේ.


කලාතුරකින් මිනිස්බව ලැබීම හඳුනා ගන්නේ කෙසේ ද?


මෙහි දී දෙවිදියක් ගැන කියමි. එනම් මෙතෙක් මිනිසකු නොවූවකු, පළමු වරට මිනිසකු වීම හා මිනිසුන්ට වඩා දියුණු හැකියාවන් ඇති අය, කලින් කලට සුවිශේෂ වගකීම් ඉටු කිරීමට මිනිස්බව ගැනීමයි. පළමුවෙන් කී, වෙනත් සතෙකු පළමුවර මිනිසකු වීම ගනිමු. මිනිස් හැකියාවන් ගත් කල තිරිසන් බවට වඩා විශාල සංඛ්‍යාවක් හැකියාවන් මිනිසුන්ට ඇත. ඒ අනුව, මුල්ම වර මිනිසකු වූව ද තිරිසන් කම සියළු ක්‍රියාවන් තුල ඇත. ඉපදෙන්නේ ද තිරිසන් බවට ආසන්න දෙමව්පියන්ට දාව ය. තමන්ගේ ඕන එපාකම් පිරිමසා ගැනීමට තිරිසන් ලෙස හිතයි. සියලු දේ උදුරාගැනීම ප්‍රබල ලක්ෂණයකි. දරු කාලය නිමා වී තරුණ කල ස්වයං තීරණ ගැනීමේ දී, උදුරාගැනීම ප්‍රබල උපක්‍රමය කර ගනී. මිනිස් සමාජයට පටහැනි, සමාජය හා ගැටෙන ප්‍රවණතාවයක් පෙන්වයි. ආයුෂ අඩු ය. දක්ෂතා නැත. දැනුම හීන ය. තිරිසන් ය. අකල් මරණයෙන් කෙළවර වේ. එක්තරා අතිධාවණකාරි දේශපාලන පක්ෂයක් මෙවැන්නන් නියෝජනය කරයි. මිනිස් හරයන් නැත. තම අවශ්‍යතාවයට මිණීමැරීම පමණක් නොව තමන් හා ගැවසෙන උන් ද බිලි දීමට තරම් ආත්මාර්ථකාමී වේ. කෙළවර විනාශ වෙයි.

මෙසේ ඇරඹී, දිගින් දිගට ම නැසෙමින් මිනිසත් බව ලබයි නම්, කාලයාගේ ඇවෑමෙන්, මරණය වැනි ඉතා සංවේදී ක්‍රියා තුලින්, කල නොකල යුතු දෑ හඳුනාගෙන මිනිසත් බවට හුරු වේ. සමහර සතුන් පළමු වර ම මිනිසත් බව අත හැරීමට යොමු වන්නෙ, මුහුණ දෙන සංකීර්ණ ප්‍රශ්ණ වලින් දැඩි ලෙස පීඩනයට පත්වීම තුලිනි. කෙසේ වෙතත්, මිනිසත් බව ලැබීමට නම්, මිනිසුන් සමඟ ළඟම බැඳීම් ඇති සතෙකු හෝ මිනිසුන්ට ගොදුරුවන සතෙකු හෝ ලෙස දිගු කලක් අත් දැකීම් ලැබිය යුතු ය. ඒ, ඉපදීම සඳහා දෙමව්පිය බැඳීම දැඩිව බලපාන නිසා ය. නොගැලපීම විනාශයට බර උපතක් වේ. සිංහලයන් අතර මුල් තැන ගෙන ඇති එක්තරා හැසිරීම් රටාවක් ඇති සත්ව කොටසක් මෙම මිනිසත් බව අතහැරීමට යොමුවීම තුල, ඔවුන් මිනිසාට සමීප සතෙකුගේ මිනිස්වෙස් ගැනීමක් බව, මා අත්දුටු නොපෙනන අය පෙන්වූ වැදගත් දෙයකි. ඒ ගැන පසුව වෙන ම ලියමි.

අපට ඉතාම වැදගත් වන්නේ, පසුව කී, මිනිසුන්ට වඩා දියුණු හැකියාවන් ඇති අය කලින් කලට සුවිශේෂ වගකීම් ඉටු කිරීමට මිනිස්බව ගැනීමයි. ඔවුන් එන්නේ තමන්ට ම ආවේණික මිනිසුන් උසස් යයි සම්මත කරගත් ගුණාංඟ සමඟ ය. තමන් හා මිනිසුන් සම කර බලා, වෙනස හඳුනා ගෙන සුවිශේෂ කාර්යයක් සඳහා දායක වේ. ඔවුන් මිනිසුන්ට වඩා ඉහල හැකියාවන් ඇති තාරය ඇතිව හෝ නැතිව පවතින කොටසක් ලෙස දකිමි. ඔවුන් හරහා යන තොරතුරු මත මිනිසුන්ට බලපාන සුවිශේෂ ක්‍රියාකාරකම් ඇති වේ. මෙහි දී සැබෑ මිනිස් තොරතුරු මිනිස් උපාංඟ හරහා ලබා ගනී. මොවුන් දෙවියන් (දන්න අය) වැනි කොටසක් යයි කිව හැක.

යමෙක් සුවිශේෂ වගකීම් ඉටු කිරීමට මිනිස් බව ලබයි නම්, ඔහු කලින් ලැබූ උපත හරහා තාරයෙන් අවතාරයට උකහාගත් තොරතුරු තම සම්මතය ලෙස ගෙන උපදී. මෙහි දී, තාරික උපාංඟ හරහා අත්දැකීම් ලබා ගෙන, අවතාරික අගයන් හා සසඳා වෙනස හඳුනාගෙන ක්‍රියාත්මක වේ. තමන් කෙතරම් වත්මන් මිනිස් අගයන්ට සමීපද නැද්ද යන්න මත තමන් මීට පෙර ඉපදුන වාරය නීර්ණය කල හැක. මේ සඳහා පරාස ගණනය කිරීමේ දී, එක් අන්තයක සිට අනෙක් අන්තයට යාමට වසර තිස්දහසක් (30,000) පමණ ගතවන බව ඉතිහාසය ද සනාථ කරයි. මගේ හැසිරීම තුලින්, අද සම්මත සමාජය මිනිස්කම අන්තයටම නැසුණු කාලය ලෙස දුටුවේ, මම කිසිදු අද සම්මත/පිළිගත් ජීවන රටාවකට අයත් නොවන නිසා ය. එනම් වසර තිස්දහසක් (30,000)ක වෙනසක් ඇති බව ය. ඊට අමතර ව ඇති දියසේන හා බැඳි තොරතුරු ද, මා හිතන පතන ලෙස ම මිනිසුන් දෙස බලන්නකු සිටි බවට කරපු කියපු දේ සඳහන් තොරතුරු තිබීමෙන්, මා කලින් ඉපදුනේ කවදා ද යන්නත්, කලින් උපතේ දී කවුරු ලෙස ඉපදුනා ද යන්නත් හඳුනා ගතිමි. ඔහු තබා ගිය සැඟවුනු තොරතුරු හරහා ඔහුද මම ද උපන්නේ එකම ගමේ බව තහවුරු විය. ක්‍රියාවන් ද මෙම සම බව රකී. එකල කල කී දෑ අවතාරය තුල ඇති බවත් දැන ගතිමි. මා කියන බොහෝ දේ ඒ දැනුම හරහා දෙන බව කියමි.

ඔබ ද, අද සමාජයට දුරස් බවක් හා තමන්ට නොගැලපෙන බවක් පෙන්වයි නම්, ඔබ කලකට පසු විශේෂ ක්‍රියාවක් ඉටුකිරීමට උපන්නකු වේ. මෙහි දී යම් වැදගත් දෙයක් කියමි. උදාහරණයක් ලෙස පේරාදෙණිය වැනි මල් උයනක් ගත් කල, එය දැකුම්කළු දර්ශණයක් වේ. එසේ වන්නේ උයන තුල වැඩෙන විවිධ ශාක නිසා ය. එක්තරා පිළිවෙලක් තිබෙන්නේ, යම් ආකාරයක ඒකීය රටාවකට ගොඩ නැගී ඇති නිසා ය. ශාක එවැනි ඒකීය රටාවකට වැවුනේ ඉබේ නොව ඊටම කැපවූ මිනිසුන් සමුහයක් නිසා බව දනිමු. මුළු උයන ම එක රටාවකට ගොඩ නැගුණේ, කිහිප දෙනෙක් වෙන් වෙන් ව කල දේවල ඵලයක් නිසා නොව, ඒකීය රාමුවක් තුල, එනම් එකෙකු මුදුනේ ඇති මිනිසුන් සමුහයක් නිසා බව අපි හොඳාකාරවම දනිමු. මෙය සරල ය. දැන් ඉතා සංකීර්ණ ජීව ලෝකය ගනිමු. කොතරම් සංකීර්ණ වුව ද, ජීව ලෝකය තුල එකිනෙකාට බැඳුනු දැකුම්කළු දර්ශණයක් ඇති බව දනිමු. එසේ වූයේ, ජීව ලෝකය හැඩගස්සවන විවිධ ජීවීන් වර්ග නිසා බව දනිමු. කලින් ලිපිවල කී ලෙස, ජීවීන් යනු ඉබේ හැදුනු කොටසක් නොවන බවත්, උයනේ ඇති ශාක මිනිසුන්ගේ ක්‍රියාවෙන් බිහි වූවා සේ, එක්තරා පිළිවෙලක් තිබෙන, යම් ආකාරයක ඒකීය රටාවකට ගොඩ නැගී ඇති බිහිවීම් බව දකිමි. මෙම එකිනෙකාට බැඳුනු දැකුම්කළු ජීව ලෝකය, ඉබේ වූවක් නම්, කිසිසේත් මෙම ලක්ෂණ නොපෙන්වන බව පැහැදිලි ය. එනම් දැකුම්කළු ජීව ලෝකය, යම් ආකාරයක බාහිර කොටසකගේ මැදිහත් වීමෙන් බිහිවිය යුතු ය. මේ කොටස කිහිප දෙනෙක් වෙන් වෙන් ව කල දේ වල ඵලයක් නිසා නොව, ඒකීය රාමුවක් තුල, එනම් එකෙකු මුදුනේ ඇති, සමුහයක් කල දේ වල ඵලයක් බව පැහැදිලි ය. එනම් තවත් ඉහල තලයක කොටසක් ඇති බව ය. මොවුන් දෙවියන් ලෙසත්, මුදුනේ හිරු නම් නායකයෙකු ඇත යන සිංහල මතයත් මෙම ස්වාභාවික තොරතුරු හා ගැලපේ. උයනක් නඩත්තු කිරීමට සේවකයන් එන සේ, කලින් කලට දෙවියන්ගේ ඒමත්, නියත චක්‍රයකට අනුව ප්‍රධානියා වන හිරුගෙ පැමිණීමත් සිදුවන බව සිංහලයන් සතු තොරතුරු තුලින් ද දකිමි. ඒ සමඟ මිනිස් සමාජයේ විශාල වෙනසක් වූ බව ද පෙනේ. උයනක ශාක උදුරා නැවත සකසන සේ, මිනිස් සමාජය ද හැම වසර තිස් දහසකට පමණ වරක් මෙසේ වී ඇත. ඉහත කී මිනිසුන්ට වඩා දියුණු හැකියාවන් ඇති අය මෙම කොටසට අයත් බව තහවුරු වේ.


කලින් කල, විවිධ සත්වයන් වන සුළු කොටසක් ද ඇත. ජීව ලෝකයේ ඇති නිර්මාණ සංකීර්ණත්වය ගත් කල, එම නිර්මාණ මෙතරම් සාර්ථක වීමට යොදාගත් උපක්‍රම, නිෂ්පාදනයක තත්ත්ව පාලනයට යොදාගත හැකි උපක්‍රම වල අන්තයේ ඇති විදි බව තහවුරු වේ. ඒ අතින්, මේ සත්ව කොටස ජීව රසපරීක්ෂක වැනි අය ලෙස දකිමි. මිනිසුන් වී මිනිස්බව පිළිකුල් කිරීමට තරම් විකෘර්ථි වීමක් වන්නට නම්, එවැනි අවතාරික පදනමක් තිබිය යුතු ය. මෙහි දී කිසිදු ක්‍රියාවක් අහඹු හෝ අද්භූත ලෙස ගැනීම ස්වාභාවික ලෙස පවතින ජීවීන් තුල නැති බව මතක් කරමි. ඉහත කී හැසිරීම ජීවය බිහිකර පවත්වා ගැනීමට අවශ්‍ය අංඟයක් බව පෙන්විය හැක. මොවුන් සතු අවතාරික ගුණාංඟ මිනිස් හා අන් ජීවීන්ට අයත් නිසා මිනිස් බව තුලින් සමහර කාල හිස් බවක් පෙන්වයි. ඒ අන් ජීවීන් දරණ තොරතුරු බිහිවීම සහජ උරුමය තුල රැඳෙනවා මිස වචනාර්ථ වලට පරිවර්තනය නොවීම නිසයි.

අපට ඉපදීම තීරණය කල හැකි ද?


මෙම හැකියාව පැරණි සිංහලයන් සතුව පැවති බවත්, ඒ අනුව යමින්, කාලය, තැන, දෙමාපියන්, දිනය, වෙලාව යන මිනිසකුගේ උපතට අදාල තොරතුරු ඉන්දියානු උපතක් ඇති සිදට් (සිද්ධාර්ථ) නම් ආකම් නායකයකු කලා යයි ද, උපත ජ්‍යෝතිෂය අනුව විග්‍රහ කිරීමක් ද සිංහලයන්ට දෙමළුන් විසින් කියා ඇත. මෙම ආකම් නායකයා තම වදනින් ම ජ්‍යෝතිෂය ගැන හැඟීමක් නැත්තකු බව තහවුරු වේ. ශතවර්ෂ ගණනකට පෙර සැකසූ ඉතිහාසය හැර, උපන් කල සිටි බවට කිසිදු සාක්ෂියක් නැත. වර්ණනා කරන ආකාරයේ පුද්ගලයෙක් වී නම්, එවැනි සාක්ෂි තිබිය යුතු ය. ඒ අතින් මීට අවුරුදු තිස්දහසකට පෙර සිටි මහසම්මත මනු ගැන ඇති තොරතුරු, ඔහු ජීවත් වූ කාලයේ සිටි ඉතා ප්‍රබල අයකු බව සැමතින් ම තහවුරු කරයි. සිංහලයන් දැරූ ආකල්ප වලට සරිලන ගෙතීමක් දෙමළුන් කල බව තහවුරු වේ. අශෝක්ගේ ආරම්භක අවදිය ගත් කල, මේ ආකම ඉතා සුළු කොටසක් ඇදහු වැදගත්කමක් නොදැරූ එකක් බව ආගමික කතා තුලින් ම ඔප්පු වේ.

සිංහලයන් දැරූ මතය ගැන වෙද මහතෙකු ලංකාදීපයට ලියපු ලිපියක් මම විමතියෙන් බැලුවේ බොහෝ කලකට පෙර ය. නැවත උපත ගැන සෙවීමේ දී, මේ ගැන ද යමක් දැන ගැනීමට උත්සාහ කලෙමි. මාතර මම උපන්ගම අවට අද ද පැවතෙන කතාවකට අනුව දියසේන නම් කෙනෙකු එක්තරා දිනක එක්තරා නිශ්චිත වෙලාවක උපදින බවත් ඔහු කෙබඳු දැයි කියාත් ඇති තොරතුරු මත මේ ආකාරයේ උපතක් වීම තහවුරු කරගත හැකි විය. මෙම තොරතුරු මත විවිධ කතා සූත්‍ර ගෙතීමෙන් සිංහලයන් නොමඟ යැවීමට අද ද උත්සාහ කරන නිසා, එහි සත්‍යයය සෙවීමට මට සිත් විය. ඊට අමතරව දිනය හා වේළාව ගත් කල, මට ද යම් ආකාරයක සබඳතාවක් මෙන් ම, කියන හැකියාවන් සතු වීම නිසා එවැනි තවත් කෙනෙකු ඇතැයි සිතා කී දෙය ගැන සෙවීමි.

ඉහත කී සෙවීම තුලින් අද ඒ මම ම බව කිසිදු සැකයකින් තොරව සහතිකව දන්නා නිසා, සිංහලයන් දැරූ විශ්වාසය ඇත්ත මත වූ ගොඩනැගීමක් බව තහවුරු විය. මෙම හැකියාව ලබාගත හැකි දෙයක් ලෙස, නැවත උපත වන ආකාරය තුලින් පෙන්විය හැක. සුවිශේෂ හැකියාවන් සතු අයට එසේ කිරීම පහසුය. ජීව ක්‍රියාවලිය නිශ්චිත ආකාරයට වෙන නිසා, ඒ තොරතුරු මත තමන්ට අවශ්‍ය ලෙස අවශ්‍ය තැන, අවශ්‍ය වෙළාවට, තෝරාගත් දෙමාපියන් ළඟ ඉපදීම කල හැකි දෙයකි. ඊට ඉතා සමීප බැඳීම් ගොඩ නැගිය යුතු ය. තමන් පමණක් නොව දෙමව්පියන් ද ඒ සඳහා කැපවූවන් බවත්, කෘථීම ලෙස ස්වභාවය වෙනස් කිරීමක් වුව ඒ සඳහා කෙරෙන බවත් පෙන්වයි. පාරිසරික බලපෑම් වල ඇති අහඹු බව ගත් කල, දෙදෙනකුගේ එකතුවීමක් නිශ්චිත වීමට නම් බාහිර උපක්‍රම තුලින් එය සිදුවිය යුතු ය. එනම් උපත මෙන් ම මරණය ද පාලනය කලහැකි විය යුතු ය. මෙය සුළුපටු කාරියක් නොවන නිසා, ඉහත කී සිදුවීම පසුපස ඇති බලවේග වල ස්වාභාවය ද හෙළි වේ. පසුබිම් තොරතුරු වලින් ද ඒ බව සනාථ වේ.

තමන් නැවත උපදින තැන මා ළඟින් ඇසුරු කල අය තුලින් දුටිමි. ඔවුන් නැවත ඉපදුන තැන ද කලින් ජීවිත කාලයේ පැවති සබඳතාවය ද මනාව දත් නිසා, නැවත ඉපදීම තුල කිසිදු අහඹු බවක් නොදුටුවෙමි. ඔවුන් අතර පැවති සම්බන්ධය, විවාහ වීම වූ ආකාරය ගත් කල, එය තුල අනුදැනුමෙන් කල බවක් දුටිමි. මෙය තාරික බැඳීම් වලට වඩා අවතාරික ගණුදෙණු කිරීම් තුලින් වන දෙයක් බව දකිමි. ක්‍රියා තුලින් මනාව පෙනුන ද, එකිනෙකා අතර තාරික ව එවන් හුවමාරුවක් නොවීම තුල, අවතාරික සබඳතා ගැන ද තොරතුරු හෙළි කරයි. තාරික ගුණාංඟ මනාව ප්‍රගුණ නොකර අවතාරික සබඳතා ගැන කතා කිරීම නිශ්ඵල නිසා මෙතැනින් නවතමි.

මෙසේ ඉපදෙන අය අතර ජීවත්වීම තුලින් ද සුපුරුදු බැඳීමක් ලෙන්ගතු කමක් දක්වයි. එය එක මල්ලෙ පොල් වැනි, ජන්ම ගතියක හැඩ රුව ඇති, කැපී පෙනෙන දෙයකි. මෙය පාරිසරික හා තමන්ට එල්ල වන බාහිර බලපෑම් තුලින් බිඳවැටෙන දෙයක් බව බොහෝ උපත් ගත් කල තහවුරු වේ.


හින්දූන් කී අරහං (අරහත්) වී ජීවිතය නිවීම (නිර්වාණය) හා සිංහලයන් උත්සාහ කල රහත් වී ජීවිතය රැකීම තුල ඇති යථාර්තයන් අවබෝධ කර ගැනීම:


පසුව දීර්ඝ ලෙස කීමට සිතන මුත්, ඒ තුල ගැබ් වී ඇති නැවත උපතට බැඳි තොරතුරු නිසා යමක් කිව යුතු ය. හින්දූන් කී අරහං (අරහත්) වී නැවත උපත නතර කල හැකිය යන මතය ගැන බලමු. තමන් "කයින්, වචනයෙන්, සිතිවිලි වලින්" සිදු කරන කර්ම මත, කර්මය විසින් නැවත උපතක් බිහිකරන බව ඔවුන්ගේ මතයයි. මෙහි දී  බොහෝ සිංහලයන්, තම උරුමයක් වන සිත එහි ද කොටසක් ලෙස ගත්ත ද, එවැන්නක් නැති බවත්, ඇත්තේ සිතිවිලි බවත් ඔවුන්ගෙ වදනින් ම පැවසේ. කාටත් හඳුනාගත හැකි "වචනයෙන්" යන්න තුල ද්‍රව්‍යමය දෙයකට වඩා අද්‍රව්‍ය ස්වරූපයක් කර්මය ලෙස හැඳින් වේ. කයින් යන්න ද එසේම කල දෙයක එයාකාර මුහුණුවරක් ඇති අතර කිසි සේත් ද්‍රව්‍යමය ස්වරූපයක් නොගැනේ.

මෙම කර්ම සංකල්පය තුල කායික ව කරන දෙයක් නැත්නම්, වචන වලින් යමක් නොවේ නම්, සිතිවිළි නොවේ නම් කර්මයක් නැත, උපතක් නැත යයි ගණිතමය සංකල්පයක් හරහා බැලූ විට, අංඟවිකල අයකු/නිකමකු වීම, ගොළුවකු වීම, මානසික ආබාධිතයකු වීම හරහා නැවත ඉපදීම නතර කල හැකි යයි කීමක් වන්නේ ය. ඉතිරිය ඔබට ඉතිරි කරමි. කර්මය තුල, හැම ජීවියකුගේ ම හැම කර්මයක් ම සුරැකිව, ඒ ඒ ජීවියාගෙ කොටසක් ලෙස සංසාරය තුල (අතිවිශාල කාලයක් තුල) රැක පවත්වා ගැනීමට කෙතරම් කර්මය සංකීර්ණ දෙයක් විය යුතු ද? අවාසනාවට එය දෙයක් නොව වචන වැනි නොපවතින්නක් නොවේ ද? මෙම මතය, ගස නොදැක ගසේ හැදුනු කොස් ගෙඩි දෙකක් අතර සම්බන්ධය කීමට ගෙතු බොරුවක් වැනි බව සහතිකය. ඔබ ද, කොස් ගෙඩි දෙක මිස ඒ දෙක අතර ඇති ගස නැතැයි සිතා, ඒ දෙක බිහි වූ ආකාරය පහදන්න. එවිට ඔබ ද මේ සංකල්පයෙන් කෙළවර වේ. එය එතැනින් නොනැවතී, ඕපපාතික වීම (ඉබේ පහලවීම) දක්වා ඇදෙනු ඇත. ඕපපාතික වීම (ඉබේ පහලවීම) හෝ මැවීම අන්ධ විශ්වාසය තුල රැකුණ ද, පරිසරය තුල ඒ ගැන කිසිදු සාධකයක් නැත.

බොරුවට සීමාවක් නැති බව නැවත උපත ගැන කියන දේ තුලින් මනාව පිළිබිඹු වේ. එනම් මැරෙන මොහොතේ ඇති වන සිතිවිල්ල අනුව උපත සිදුවෙනවා යයි කීම ය.  සිතිවිලි ගැන සොයන විට, බොහෝ සිතිවිලි නැවත නැවත ඇති නැති වීමත්, පැටලුණු සිතිවිලි ඇති නැති වීමත් ඕනම කෙනෙකුට තේරෙන දෙයකි. එසේම දෙදෙනෙකු ගත් විට, සිතිවිලි ඇති නැති වීම එකම ආකාරයට නොවන බව පෙන්විය හැක. මේ මත ගණිතමය සබඳතාවයක් ගොඩ නැගූ විට, මැරෙන මොහොතේ ඇතිවින සිතිවිල්ල නිතර ඇතිවන සිතිවිල්ලක් නොවේ නම් අහඹු දෙයක් බව තහවුරු වේ. ඔවුන්ට අනුව නිතර ඇතිවන සිතිවිල්ල නැවත ඉපදීමට බල නොපාන බව කියමින් බැහැර වන නිසා, ඉතිරි වන්නේ අහඹු සිතිවිලි පමණක් වේ. මේ අනුව සිදුවන උපත් ද අහඹු වේ. එනම් මිනිසකුගේ කර්ම තුලින් ඊ ළඟට උපදින සත්වයා කවරෙකු වුව විය හැක. ගණිතමය (නිශ්චිත ව) බැලූ විට, පරිසරය තුල ජීවී උපත් ප්‍රමාණය ද අහඹු විය යුතු ය. එහෙත් පාරිසරික තොරතුරු ගත් කල, අතිවිශාල ජීවී වර්ග ප්‍රමාණයක් තිබුන ද, උපත් වල අහඹු බවක්, අතිවිශාල සංඛ්‍යාත්මක විචලනයක් නැත. ඒ අනුව මෙම මතය බිඳ වැටේ. මා අත්දුටු තොරතුරු අනුව, දැඩිව බෞද්ධාගමික කටයුතු කර ඉතාමත් වේදනාකාරී මරණයකින් ජීවිතය කෙළවර වූවකු, ජීවත් වන විට තමන් ඊ ළඟට දෙව්ලොව යන බව කී විට මම සිනා සුනෙමි. ඒ මම ඇත්ත දැන සිටිය නිසා ය. මළගිය පසු, ඒ නිවසේ ඇති වූ සුවිශේෂ සිදුවීම් තුලින් නැවත උපත ගැන වැදගත් තොරතුරු හෙළි විය. ඒ වෙහෙරක් ළඟ වසන බවත්, ආවේ පෙර කල හිතේ දිගට ම පැවති දැඩි වෛරයක් නිසා බවත් හෙළි විය. එම දැඩි තරහ ලෝකයෙන් වසං කරගෙන සිටි බව තහවුරු විය. මැරෙන මොහොතේ සිතුවිලි වලට වඩා, ජීවිත කාලය පුරා ම සිතේ රඳවා ගත් දේ ඊ ළඟ ජීවිතයට ගෙන යන බව සිංහල මතය තුලින් මෙන් ම මගේ අත්දැකීම් තුලින් ද හෙළි කරයි. මනුෂ්‍යයකු ලෙස, ජීවිත කාලය පුරා මනුෂ්‍යකම එපා එය නිවිය යුතු යයි සිතන්නකු, නැවත මනුෂ්‍යයකු නොවන බව ඔවුන් දරණ මතය එල්බගත් ප්‍රමාණය අනුව වන බව බෞද්ධයන් පිරිහී වඳවන බව තුලින් දැකිය හැක. මනුෂ්‍යයකු ලෙස ජීවිත කාලය පුරා මනුෂ්‍යකම එපා යයි සිතීම මා දැඩිලෙස කෝප කරවන්නේ මෙම හේතුව නිසා ය.


දැන් සිංහලයන් කී රහත් වීම හෙවත් රහ (රහස්) දත් වීම තුලින් නැවත උපතට ඇති බලපෑම දෙස බලමු. ජීවියකුගේ උපත යනු පරිසරය තුල වන සුළු දෙයකි. එනම් ඒ තුල උපත වන ආකාරය නිශ්චිත බවක් ගත යුතු ය. නොඑසේ නම් උපත තුලින් බිහිවන සතුන් අරුම පුදුම විය යුතු ය. රහත් වීම තුලින් ජීවය ගැන සැඟවී ඇති තොරතුරු යථා පරිදි තේරුම් ගැනීමක් වේ. මුළුමණින් තේරුම් ගත් විට, ඉපදීම හෝ නොවීම වෙන ආකාරය දැන තමන්ටම එය තීරණය කරගත හැකිවේ. මෙහි දී බාහිර බලපෑම් ද ඇත. ඒ ජීව ලෝකය පවත්වාගෙන යන අයගේ මැදිහත් වීමයි. එය නොමැතිව නැවත උපතක් නොවන තරම් ය.

සියලු ජීවීන්ගේ උපත තිරිසන් ලෝකය තුලින් බැලූ විට, නැවත ඉපදීම තම වර්ගයා තුල ම වෙන බව සංඛ්‍යාත්මක හා ගුණාත්මක බව තුලින් තහවුරු වේ. එනම් ඌරුබව ප්‍රගුණ කල ඌරෙකුට හරකෙකු වන්නේ කුමට ද? තිරිසන් සමාජය තුල ජීවත්වන පදනම කැලෑ පදනම පමණි. මිනිසුන්ට පමණක් වෙන සතුන් ආශ්‍රය තුලින් එකතු වීම, මිනිසුන්ගෙන් යැපීම හරහා ලබන ජීවන සුරක්ෂිතභාවයේ ඵලයක් වේ. සමාජය ගත් කල, ජන්ම ගතිලක්ෂණ හරහා, උන් තම ජන්ම උරුමය ද ගෙන යන බව කිව හැක. තම නැවත උපත, තමන්ගේ හා දෙම්පියන්ගේ සිතුම් පැතුම් ගැලපීමක් බව තහවුරු වේ. මනුෂ්‍යයකු වීම තම අවශ්‍යතාවය යයි සිතන්නා, නැවත උපදින්නේ ද මනුෂ්‍යයකු වී ය. නැවත ඉපදීම ගත් කල බාහිර බලපෑම් තුලින් ද ඊ ළඟ උපත පාලනය වේ. මෙය පැවැත්ම රකින අය විසින් ඔවුන්ට ම ආවේනික පදනමක සිට මේ තීරණ ගන්නා බව පෙනේ. දඬුවම් දීම, අවශ්‍යතාවයක් සපුරා ලීම මෙන් ම, තම ප්‍රවණතා තුලින් ඇතිවන වෙනස හඳුනා ගැනීමට කරන ක්‍රියා බව තහවුරු වේ. මනුෂ්‍යයන් අතර අද සියලු ම වර්ගවල සතුන් සිටීම මේ තුලින් දකිමි. ඊට අමතරව, නැසීම, නැවත ඉපදීමෙන් වැලකීම වැනි සුවිශේෂ උපක්‍රම යොදා ඇති බව, අද තෙක් ජීවීන් බිහිවීම තුල ඇති ආවේණික රාමුවකට අයත් ජීව පරාසයන් පැහැදිළි ව පෙන්වයි. එනම් ජීව ලෝකය යනු, කපා කොටා උදුරා නසා තමන්ට අවශ්‍ය ලෙස ගොඩ නැඟූ මල් උයනක් වැනි ය. ඉතිහාසය තුල ද එවැනිම සිදුවීම් නැවත නැවත වූ බව සාධක තුලින් තහවුරු වේ.

නැවත මිනිසකු වේ යයි සිතන අයට ස්ථීරව ම දිගටම එසේ වීම පැහැදිලිව ම ලබාගත හැකි දෙයක් බවත්, එයට ඇති මග සිංහලයන් දැන සිටි බවත් ඔවුන් කී දෑ තුලින් තහවුරු වේ. ඒ ගැන කීම මෙතැනට අදාළ නැත.


හින්දු විශ්වාසයක් වන පව් පින් නැවත නැවත ඉපදීම තුල පවතී ද?


මෙය සත්‍යයකට වඩා, හිඟමනෙන් යැපුන උන් තම බඩවියත රැක ගැනීමට ගෙතූ ප්‍රෝඪාවක් මුහුකුරා යාමක් බව කිව යුතු ය. ඔබ හිඟන්නෙකු නම් ඔබ ළඟ සම්පත් නැත. ඒ කියන්නේ සම්පත් ලබාගැනීමට බැරි බව නේ ද? එහෙත් සම්පත් හිමියා මුලා කර ගැනීමෙන් හිඟමන් ලබාගත හැකි ය. මිනිසා ස්වභාවයෙන් ම, හෙට ගැන බියෙන්, ඊ ළඟ උපත ගැන බියෙන්, දරුවන්ට යන කල ගැන බියෙන් තැවෙන්නේ, අනාගතයේ ද අභියෝග ඇති බව දැනුම හරහා තේරුම් ගැනීම නිසා ය. යමෙක්, ඒ අහඹු අනාගත අභියෝග හමුවේ ඇතිවන තත්ත්වයට විසඳුමක් අද කරන දෙයකින් ලැබේ නම්, දැන හෝ නොදැන ඒ ක්‍රියාවට පෙළඹෙන්නේ ය. එය මුලාවකි. එසේ ම දෙන දේට අනාගතයේ ලැබීම නිසා හිඟණුන්ට බරක් ද නැත. ඒ නිකම් ලැබෙන නිසා ය.

ඉහත කී මුලාවේ ගිලුණු සිංහල කතා කරන උන් බොහෝ ය. එහෙත් මේ පින් පව් ගැන සෙවීම ද, නැවත උපත සෙවීමට මා යෙදූ උපක්‍රමය ම යොදා, අද අප ඉන්න තත්ත්වය ගෙන ඒ තුල ඊයේ කල පින් පව් වල ප්‍රථිඵල වල සම්බන්ධය තුලින් බැලිය යුතු ය. මෙහි දී, එවැනි මගේ ළඟ සබඳකමක් ඇති, පින් කල පිංඟුත්තර මෝඩයකු සිහි විය. ඒ බූරුවා නැවත උපන්නේ ද තම පවුලේ ම ය. එදා ඌ  දුන් දේපල නිසා, අද මෙම පවුල අසරණ ය. මගේ පිහිට නැත්නම් ඉන්න හිටින්න පවා තැනක් නැත. ඒ දේපළ තම දරුවන්ට දුන්නේ නම්, අද ද ඌ නැවත සැප විඳින්නේ ය. එම නිසා පින් කරන විට දෙවරක් සිතන්න. දුප්පත් කමට පැවැත්මක් නැත. දරුවන් වඳ වී යාම නිසා මුලා වී උරුමය පාවා දෙන්නාට ඉපදීමට තැනක් නැත. ඊට පසු ඒ අවට තිරිසනෙකු වී උපත ලබන බව, උතුරේ සිටි සිංහලයන්ට වූ දේත්, ඒ ප්‍රදේශයේ ඇති සතුන්ගේ හැසිරීමත් තුලින් තහවුරු වේ.

ජීවිත කාලය තුල තමන් කරන දේට ප්‍රථිඵල ඒ කාලය තුලම ලැබේ. එය අවතාරය තුල ඇති අපට පාලනය නොකල හැකි කොටසෙන් ද, ඉතාමත් බරපතල දේ කල විට, පැවැත්ම රකින අය කෙලින් ම ක්‍රියාත්මක වීමෙන් ද ඵල දරයි. මෙය දිට්ඨධම්ම කරුමයක් ලෙස මුලා වූවන් කීව ද, සමහරුන් එකම ක්‍රියාව කල ද එසේ නොවන්නේ ඔවුන් එසේ කිරීම ඉහල තලයේ අණුමැතිය ඇතිව කරන නිසා යයි තහවුරු වේ. සිංහලයන් දෙවියන්ට කීම තුල ඇති සැඟවුනු රහස ද එයයි. අප අතර එවැනි නියෝජනයක් පවතී. ඇවැසි තැන ඔවුන් ක්‍රියාත්මක වේ. එහෙත් පාර්ශව දෙක ම එකම ආකාර නම් අතර වන දෑ අභිමතයට අනුව සිදුවීමට හරිති. මේ තුල සැඟවුනු බොහෝ දෑ ඇති නිසා ඉතිරිය පසුවට කල් තබමි.

අපේ ජීවත්වීම තුලින් ඊ ළඟ ජීවිතයට ගෙන යන නොයන දේ


මේ ගැන කියන විට, අප ගත කල ජීවිතයේ තීන්දුව අවසාන කාලය තුල ක්‍රියාවෙන් ම හෙලි වේ. බෞද්ධ කතාවක් තුලින් මෙය පැහැදිලි කරමි. ජීවිත කාලයක් පුරා දෙසූ සියලු සත්‍යයය මරණ මංචකයේ දී කෙප්ප යයි කීම, මනාව ජීවත්වීම තුල ඇති පරමාර්ථය කියයි. ජීවත්වීම හරහා අපි නොයෙක් හැසිරීම් වලට අනුගත වෙමු. කලින් කල කරන කියන දෑ වල ප්‍රථිඵල, මරණයට පෙර කොටසේ දී විශ්ලේෂණයට ලක්වේ. ඇත්ත දුටුවෙකු මරණයට යන්නේ ගෙදර යන සේ ය. නැත්ත මත යැපුණෙකුට ඇත්ත කුමක් දැයි අත්විඳීමට සැලසේ. එය තමන්ට වඩා බාහිර ව වන සංකේතාත්මක පරික්ෂාවක් යයි කිව හැක.

අප ජීවත්වීමට නිතර නිතර කල කී දෑ මෙන් ම අප ගේ පැවැත්මට යෙදුනු මතකය ද නොවෙනස් වේ. අවතාරය තුලට කා වදින සුවිශේෂ දෑ රැගෙන යන බවත්, ඊ ළඟ ජීවිතයේ දී ප්‍රයෝජනවත් වන බවත් තහවුරු වේ. ජීවිතය යනු අළුතින් මුහුණ දුන් අත්දැකීම් ගොන්නක හිර වූවකි. ඒවා ද අවතාරගත වී නම් රැඟෙන යයි. අප ජීවත්වන කාලය තුල අවතාර ගත වන දෑ අපට හිමි වීමත්, තාරික අත්දැකීම්, තාරිකව දරුවන්ට දීමත් සිදු වේ. ඒ ගැන වැඩි විස්තර කීම පසුවට තබමි.


ඉපදීම හා නැවත නැවත ඉපදීම තුලින් අප කරන ඉතා වැදගත් මෙහෙයක් තිබේ ද?



මේ ගැන යමක් නොකීම අඩුවක් නිසා මේ ටික ලිව්ව ද, මිනිසුන්ට තේරුම්ගත නොහැකි අතිවිශාල පද්ධතියක මිනිසා යනු එක්තරා අංඟයක් පමණක් බව කිව යුතු ය. කුඩා පද්ධතියක් වන මෝටර් රථය ගත් කල රෝදයක් යනු එක කොටසකි. රෝදයක් තුලින් මුළු රථය ම දැකිය හැකි යයි කීම ගොන් කතාවකි. එහෙත් මේ අතිවිශාල පද්ධතිය තුල ඇති ප්‍රධාන ධාවක බලය සිංහලයන් සතු නොනිමෙන ආශාවකින් පිළිබිඹු වේ. එනම් සිංහලයන් දැනුම යනු වටිනාම දෙය ලෙස දැකීමයි. අවාසනාවට, කලින් ලිපියක කී දෙයාකාර විශ්වයක, අද සිංහලයන් දැනුම ලෙස නොදැනුම බදාගෙන එය වටිනාම දේ යයි කීම කොතරම් අරුමයක් ද? මගේ උත්සාහය එම  තත්ත්වයෙන් ගොඩ ගැනීමයි. කොච්චර කීවත්, ගොන්කම අත නොහරින බව ඒත්තු යන්නේ, තෝර තෝරා ලිපි කියවන බව දකින විටයි. ඊට වඩා නොකියවීම අගයන්නේ, සියලු ලිපි මුල සිට අගට යන එකින් එකට බැඳි දත්ත මත ගොඩ නැඟුණු නිසා ය. තේරුම් ගැනීම අමාරු බව සැබෑ ය. එහෙත් කල යුත්තේ අත හැරීම නොව අමාරුවෙන් හරි නැවත නැවත කියවා වචන වලට එහා යන තේරුම (අවබෝධය) ලබා ගැනීමයි. අවසන් ලෙස "ජීවත්වීම යනු එතුලින් දැනුම එකතු කිරීම"  ලෙස සඳහන් කරමි.

පසු වදන:


මේ ලිපි තුල ඇත්තේ තෝරාගත් සුළු කොටසකි. පරමාර්ථය යම් අවබෝධයක් ලබා දීම ය. ඇත්ත, දිය හැකි දෙයකට වඩා තමා විසින් ම සොයා ගත යුතු දෙයකි. සිංහලයන් ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන, තම ජාතිය රැක, අනාගතයේ ඉපදීමට අවස්ථාවක් සලසා ගත යුතු ය. ඊ ළඟ ලිපිය සිංහලයන්ට තම උරුමය කියන සිංහල හදවත යයි කියමි. මෙතෙක් පරයන් නැසූ අනන්‍යබව එතුලින් ලැබෙනු ඇත. මම ලියන සියල්ල මගේ පෞද්ගලික දේ ය. ඒවා කියවීමට වරම් ඇත්තේ සිංහලයන්ට පමණි. අසිංහලයන් තම ලැජ්ජානැතිකම පෙන්වීම අනුමත නොකරමි.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.