Sunday, 3 April 2016

අපේ සැබෑ පාලකයන් ගැන දෛවය (ජීවිතය/දිවිය), ඉරණම (හිරුකම), තාරය (ගත) හා අවතාරය කියන නාම හරහා හඳුනාගැනීමට උත්සාහ කරමු.

අපේ හැසිරීම ගත්තම, ලංකාවේ පාලකයා ජනපති මෛත්‍රීපාල ලෙස සිතන අය බොහෝ ය. එහෙත් ඒ අතරේ ඔහු ප්‍රතික්ෂේප කරන අය බහුල ය. ජනපතිට කල හැකි දෑ බොහෝ ය. ඒ සඳහා අවශ්‍ය බලය දෙන්නෙ පොලීසිය හා ආරක්ෂක හමුදාවන් ය. මේ ආයතනික සහාය නොමැති නම් ජනපති සෙවීමට පේන බැලුවත් බැරි වනු ඇත. මෙහි දී පොලීසිය හා ආරක්ෂක හමුදා යනු අවි දරාගත් මැර බලය සංකේතවත් කරයි. ඉංග්‍රීසීන් බිහි කල ආයතන ලෙස මෙය නියෝජනය කරන මිනිසුන් යදමින් බැඳි වහලුන් වැනි ය. කල හැකි එකම දෙය ඉහලින් ලැබෙන අණ පිළිපැදීමයි. එය තහවුරු කිරීමට ඇති යදම් ගත් කල, නිදහස් වීම මරණයෙන් පමණක් වේ. හිටපු හමුදාපති ඵොන්සේකාට අනුව ඔවුන් මරණයෙන් අවසන් වන ගිවිසුමක් ඇත. අනෙක සේවය මුදලට ය. එවැනි ආයතනික බලයක් ඇති ජනපති පාලකයෙකුට වඩා පාතාලයකු බව ඉතිහාසය තුලින් පෙනේ. ඒ අතින් ජනපති ඔබේ පාලකයා යයි ඔබ හිතනවා නම්,  ඔබ මනුෂ්‍යයත්වය නොහඳුනන්නෙකි. මිනිසුන්ට අවශ්‍ය සමූහයක් ලෙස ජීවත්වීමට අවශ්‍ය "මග පෙන්වන්නෙක්" මිස මැරයකු හෝ පාතාලයකු නොවෙයි නේ ද?

මෙතෙක් පාලකයන් කල කී දේ ගත් කල ඔවුන් ඔබට නායකත්වය දුන්නා ද නැත්නම් ඔබ මුලා කර ඔබේ ජීවිතය පැහැර ගත්තා ද යන්න සිතා බලන්න. ඔබට දිනෙන් දින අහිමි වන්නේ, ඔබේත් දරුවන්ගේත් ජීවත්වීමේ අයිතිය නේ ද? එසේ වන විට ඔබ දෑස් පියාගෙන බලා සිටිද්දී, ඔබ වටා වෙන දේවල් තුලින්, ඔබේ පීඩනයෙන් ඔබ මුදවාගෙන සහනයක් දෙන ක්‍රියාවලට මුල් වන්නේ කවුද? එසේ වීම් තුල ඔබේ දායකත්වය නැතිව මේ වෙනස් කම් සිදුවන්නෙ කෙසේ ද මොන පදනමකින් ද යන්න වෙනදාටත් වඩා, අන්ත අසරණ වී කිසි දෙයක් කර කියා ගන්න බැරිව හූල්ලන ඔබට සැනසීම දෙන සිදුවීම් පසුපස ඇති යාන්ත්‍රණය මොකක්ද යන කාරණය තේරුම් ගැනීමට බලමු.

අප අයත් වන විශ්වය හෝ විශ්ව තුල, අපේ පාලනයෙන් තොර සියලු දේ අපට වෙනස් කල නොහැකි බව කීම අනවශ්‍යයි. එසේ වෙනස්වීම් වුවද එය අදාළ නොවන්නෙ, එසේ වූ විට, ඒ සමඟ සියල්ලන් ම ශුන්‍ය වීම  නිසයි. දැනට අපට අදාළ වන්නේ අප බිහිවීමට මුල් වන ද්‍රව්‍යමය එකතුව හා  ඒවා ගොණු කරන දැනුම වෙනස් නොවී පවතින තත්වයයි. එතෙක් අපි ජීවමාන වීමේ හැකියාව පවතී. එම නිසා මෙම සීමාව තුල කෙසේ කවුරුන් අප හසුරුවන්නේ ද නැත්නම් අපව පාලනය කරන්නේ ද යන්නත්, ඊට භාවිතා වන විදි ගැනත් සරල හඳුන්වා දීමක් මෙම ලිපියෙන් ඉටුවේ.

මිනිසුන් ලෙස අපි තමයි ලොක්කන් කියලා හිතුවත් අපට ඇති ලොකුකම මුහුණ දෙන ප්‍රශ්ණ හමුවේ දියවී යන්නේ අප කොතරම් අසරණ කරලා ද? එසේ නම් මේසා විශාල ජීවලෝකය මෙතරම් සමබර ව දීර්ඝකාලයක් කෙසේ පාලනය වෙනවා ද? සරලම එහෙම නැත්නම් මෝඩම මතය ලෙස "ඉබේ තමයි ඔක්කොම වෙන්නේ" කියා විහින් රවටා ගත හැකි වුවත් එය කිසිදු හරයක් නැත්තේ එවැනි ඉබේ වීමක් කිසි සේත් ක්‍රියා තුල නැති නිසා ය. ඉබේ වෙන දේවල් ගතහොත් ඒ සියල්ලම නිසරු අක්‍රීය බිඳ වැටීමක් බව දකින්න පුළුවන්. එසේ නම් ජීවය වැනි සක්‍රීය නැවත නැවත දාමයක් ලෙස ඉදිරියට යාම පසු පස ඇති යාන්ත්‍රනය හඳුනා ගත යුතු වේ.

මම පෙර ලිපිවල කී ලෙස ජීවියා යනු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් හැදුනු බවට කිසිදු සැකයක් නැත. ඒ කොටස් තාරය (අතපය හිස කඳ බඩ වැනි අවයවවල එකතුව) හා අවතාරය (තාරය ගොඩ නගා පවත්වාගෙන යාමට අවශ්‍ය පාලනය හා ඊට අණුබද්ධ දැනුම දෙන තාරය වැනිම, ඊට ආවේණික කොටස් එකතු වී සැකසෙන ජීව කොටස) වේ. අවතාරය ගැන බැලූ විට එය ද තාරය මෙන් සමාන්තර හැකියාවන් ඇති වෙනත් ද්‍රව්‍යමය හා ගුණාත්මක පරිසරයක ක්‍රියාත්මක වේ. තාරය අප අවට ඇති පරිසරයේ ද්‍රව්‍යමය හා ගුණාත්මක ස්වභාවය අනුව කාලයෙන් කාලයට නැවත ජනනය වීමක් වුව ද, අවතාරය ගත් කල, ඊට බලපාන පරිසරයේ ද්‍රව්‍යමය හා ගුණාත්මක ස්වභාවය අනුව එය දිගටම පවතින ජීවමය කොටසක් ලෙස ගත හැකි තොරතුරු තාරයේ ක්‍රියාකාරකම් මෙවලම් ලෙස ගෙන තහවුරු කල හැක. අවතාරය ගත් කල, තාර අතර ලෙසම ඒවා අතර ද ගණු දෙණු කිරීම් වැනි විශේෂ සබඳතා ඇත. මෙහිදී තාරයේ පාලනය අවතාරය හරහා වන නිසා, අවතාර අතර ඇති සබඳතා තාරික හැසිරීමට බලපාන බව පැහැදිළි ය. එලෙසම තාරික සබඳතා හරහා ද අවතාරික හැසිරීමට බලපාන බව කිව යුතු ය.

කියන දේවල්වල සංකීර්ණතාවය නිසා බොහෝ දේ අතහැරියත්, සිංහල ජන සමාජයට උචිත ලෙස සරලව කියන බව මතක් කරන්නෙ, මනුෂ්‍යයන් ලෙස අපි මුළු ලෝකයටම අයිතිකාරයන් වුනත්, අප අයත් වන්නෙ ඉතාම සුළු වැදගත්කමක් ඇති කොටස් වලින් එකකට බව පැහැදිලිව ම පෙනෙන නිසයි. ජීවී ලෝකයේ ගස් ලෙස ද වැල් ලෙස ද සත්වයන් ලෙස ද ඉන්න සියලුම ජීවීන් ගතහොත්, ඔවුන් සැවොම ජීව ලෝකය ඉදිරියට ගෙන යාමට, එනම් තව තවත් සංකීර්ණ ජීවීන් බිහි කිරීමට විශේෂයෙන් දායක වෙනවා. මනුෂ්‍යයන් ලෙස පැවැත්ම තහවුරු වෙන්නෙ අප බිහි වී නඩත්තු වීමට අවශ්‍ය යටිතල ජීවී පහසුකම් ඇති නිසයි. එම ජීවීන් පවතින්නෙ ඊට පහලින් ඇති යටිතල ජීවී පහසුකම් ඇති නිසයි. මෙසේ බැලූ කල අපි වැනි ජීවීන් පැවතීමට මුළු ජීව ලෝකයම අවශ්‍ය වෙනවා.

ඉහත කී ජීව ලෝකය ගත් කල ඒ ඒ ජීවියාට අයත් තාරය යම් ආකාරයක නියත ස්වරූපයක් ගත්ත ද, ඊට සම්බන්ධ වන අවතාරයන් හැදෑරූ විට, ඒ ඒ ජීවී වර්ගයට අදාළ ජීවින් එකිනෙකා සැසඳූ විට, ඒ අවතාර එම ජීවී වර්ගයට ආධුනික හා පරිනත යන අන්ත දෙක අතර පරාසයක සිටින බව දකින්න පුළුවන්. එසේම විවිධ ජීවී වර්ග සැසඳූ විට එක්තරා ඉහලට යන අණුපිළිවෙලකට අවතාරමය හැකියා අනුව පෙලගැස්විය හැකියි. එනම් එකම අවතාරය එක ජීවියකු වී සිට පසුව තවත් ජීවියකු වන බව සියුම් ව හැසිරීම හරහා දකින්න පුළුවන්. මෙය ඉතාම වැදගත් තොරතුරක්.

කලින් දුන් තොරතුර ගත් කල, මුළු ජීවී ලෝකය ම, අවතාරයක් එක එක පියවර හරහා යම් ආකාරයක පුහුණු පුරුදු කිරීමක්, ඉගැන්වීමක් හෝ දියුණු කිරීමක් කිරීම සඳහා ගොඩ නගපු ආකාරයක් පෙන්වනවා. මෙහි ඇති විශේෂත්වය වන්නෙ අවතාරය යනු නොකඩවා පවතින නිර්මාණයක් ලෙස හැසිරීමයි. මෙය සරලව පාසලක් හරහා ළමයින්ට දැනුම දී උගතුන් කිරීමක් වගෙයි. මෙහිදී, ජීවත්වීම, ඒ ඒ ජීවී තාරයට ඇති හැකියාවන් උපයෝගී කරගෙන ඊට අවශ්‍ය නඩත්තු කිරීම් කිරීමෙන් ලබන අත්දැකීම අවතාරික වර්ධනයක් ලෙස ඉස්මතු වීමයි. මෙහිදී ජීවත්වීමට දැරිය යුතු අභියෝග වලට අමතරව, බාහිර පරිසරය ද ඊටම ආවේණික රටාවකට වෙනස් වීම හරහා එකම ජීවී තාරයක් වුව මේ වෙනස්වීම් වලට උචිත ලෙස තම හැසිරීම වෙනස් කිරීම ද අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් මේ ජීවත්වීමට ඇති සියලු අභියෝග ජීවිතය හා මරණය සම සමව තබාගැනීම තුල ලැබිය හැකි උපරිම අත්දැකීම දීම නම් අමතක කල නොහැකි තරම් ප්‍රබල ය.

මිනිසා ගත් කල, අනෙක් හැම ජීවියෙක්ම අයත් වන සම්මතය වන තිරිසන්කම මෙන්ම ඊට හාත්පසින් වෙනස් තමන්ටම ආවේණික "මිනිස්කම" ද පෙන්වීම තුල යම් විශේෂත්වයක් ඇත. මිනිස් වර්ගයා ගත් කල, එකිනෙකා ගත් කල, තමන්ටම ආවේණික "මිනිස්කම" තිරිසන්කම යන අන්තයට මෙන්ම ඊට ඉඳුරා පටහැනි අන්තයකට ද යන පරාසයක ඇත. අවතාරමය සැකසුම තුලින් බැලූ විට තිරිසන් තත්වයේ සිට අනෙක් අන්තයට පියවරෙන් පියවර යන ගමණක් පෙන්වයි. එසේම අවතාර එකිනෙක ගත් විට, කලින් ගත කල ජීවී කාලයන් හරහා ලැබූ හැසිරීම්වලට බැඳුණු හැසිරීම් රටාවක් ද පෙන්වයි. මෙය සමහරුන්ට මනුෂ්‍ය තාරය හරහා වෙනත් ජීවියකු ලෙස දරණ අවතාරමය හැසිරීමක් පෙන්වයි. මනුෂ්‍ය වර්ගයා ගත් විට, වර්තමාන පරිසරය තුල බොහෝ ජීවීන් සතු  ගුණාංඟ පෙන්වන අවතාරමය හැසිරීමක් පෙන්වයි. එනම් මිනිසා යනු යම් ආකාරයක විවිධාකාර ජීවී අවතාරයන් එක තාරමය රාමුවක් තුලින් බිහි කිරීමක් ලෙස දිස් වීමයි. ජීවී ලෝකයේ ඇති වර්තමාන ස්වරූපය ගත් විට මෙවැනි පොදු සත්ව තාරයක් හරහා එකතුවීම තුලින් එකිනෙකාගෙ අවතාරික අවශ්‍යතා තාරිකව එකම වේදිකාවක දී ඉදිරිපත්වීම එකිනෙකා ගැන අගැයීමක් ලෙස වැදගත් කාර්යයක් ඉටු කරයි.

මිනිස් වර්ගයා ගත් විට එක අන්තයක තිරිසනුන් සිටීමත්, අනෙක් අන්තයේ තිරිසනුන්ට හාත්පසින් වෙනස් අවතාරික නියෝජනයත් ගත් කල, එම අවතාරික හැසිරීම තුල දැනුම ඉතා ඉහල තලයක තිබීම නිසා, එම කොටස දෙවියන් තාරිකව නියෝජනය කිරීම ලෙස මම හඳුන්වමි. ජීවී ලෝකය නියෝජනය කරන තාරික හා අවතාරික කොටස් ගත් විට, ජීවීන් කිසිවකු ජීවී ලෝකය තුල අනෙක් ජීවීන්ගේ පැවැත්මට දායක නොවූවත්, මනුෂ්‍යයන් එසේ කිරීම සුවිශේෂ ය. ජීවී ලෝකයේ ලබන පන්නරය තුලින් අවතාරික පරිනතභාවයට ළඟා වූ විට එම අවතාරයන් තාරයකින් තොරව පැවතීම තුල දෙවියන් යනු කවුදැයි කී තොරතුරු ආදේශ කල විට, දෙවියන් යනු අවතාරික කොටස පරිනත වූ ජීවය අවතාරයට පමණක් සීමාවූවන් ලෙස ගත හැක. එනම් ජීව ලෝකයේ ඉහලම තලය අවතාරය නියෝජනය කරන දේවත්වයත් ඉතිරිය එම දේවත්වයට අවශ්‍ය පරිනතබව ලබා දෙන තාරික තලයන් ලෙසත් අරුත් දිය හැක.

පරිනත අවතාර ඇති දෙවියන්ට තාරිකව නැවත තාරික ජීව ලෝකය සමඟ මුසුවීම මිනිසා නම් ජීවියා හරහා කරන බව, මනුෂ්‍යයන්ගේ හැසිරීම් රටාවේ එක අන්තයක් දක්වන හැසිරීම පෙන්වයි. මෙම දැක්ම මිනිසා ගැන සිංහලයන් දක්වා ඇති ආකල්පය ද වේ. තවද ජීවී ලෝකයේ තාරික නඩත්තුව සඳහා දරණ උත්සාහයට ඒ  ඒ ජීවියාගේ දෛනික කාලය වැය වුනත්, ඒ ඒ ජීවියාට පැවැත්ම සඳහා අවශ්‍ය දේ කෙරෙන්නෙ බාහිරව බවත්, ඊට උර දෙන්නේ දෙවියන් බවත් ජීව ලෝකයේ හැසිරීම් වලට අදාල පදනම හැදෑරූ විට තහවුරු වේ. මෙම සහභාගිත්වයේ උච්චතම අවස්ථාව තාරිකව සම්බන්ධ වී කරන කාර්යභාරය තුලින් වන බවත්, තාරයක් නොමැතිව ඇතිවෙන බාධක නිසා එම ක්‍රියාවළිය ඉතාමත් වැදගත් බවත් පැහැදිළි ය.

බොහෝ අයට තේරුම් ගැනීමට නොහැකි වුවත්, මෙවන් ජීව ලෝකයක් ගොඩ නගා පවත්වාගෙන යාමට ඊට සරලින හැකියාවන් ඇති පාලක යාන්ත්‍රණයක් තිබිය යුතු ය. නොඑසේ නම් මුළු ජීව ලෝකයම බිඳ වැටි අවුල් ජාලයක් විය යුතු ය. එසේ වෙන බවට කිසිදු සළකුණක් නැත්තේ ඇයි දැයි විමසීම වැදගත් වේ. මෙහිදී ජීව ලෝකයේ ඇති පියවි උපාංඟ වලට දැනෙන ජීව රටාව මනාව සමතුලිතව පවතින බව ගත් විට, ඊට ඉහලින් ඇති අදිසි ජීව රටාව ද එලෙසම සංවිධානය වූ රටාවක් වීම අවශ්‍ය වන්නේ සංකීර්ණ පද්ධතියක පැවැත්ම සුළු හෝ අසම්බන්ධතාවයකින් විශාල බිඳවැටීමකට ලක් වෙන නිසා ය.

අපේ සැබෑ පාලකයන්ගේ පහලම තලය කලින් කියා ඇති ඉටු දෙවියන් හෙවත් අපේ ළඟම ඥාතිත්වයක් ඇති අවතාරික ජීවීන් ගෙන් සමන්විතය. මෙම රටාව තුල මූළිකත්වය දැනුම වන අතර, ඉහල තලයන් ඒ අනුව සැකසෙන බව සිතීම සැබෑ විය යුතුය. මේ සැකසුමේ මුල් තැන පරම ජීවියා සතු බව පැහැදිළි ව ජීව ලෝකය තුලින් දකින්න පුළුවන්.

එසේ නම් අපේ පාලකයන් වන්නෙ ඉහත කී සංකීර්ණ එකතුව විය යුතු ය. ජීව ලෝකය දක්වන අවශ්‍යතා අගැයූ විට, ඒ පාලනය කොතරම් පුළුල් දැයි දැකිය හැක. අප වටා ඇති සියල්ල ගත් කල, අවංකත්වය එහි මූළය බවත් අවසන් තීරණය ඒ මත බවත් සියළු ක්‍රියාකාරකම් අධ්‍යයනය කල විට තහවුරු වේ. මෙහිදී කොතරම් සාධාරණ ද යන්න අප ජීවත් වන ආකාරය (දෛවය) මත අපේ අගැයීම සිදුවීමෙන් තහවුරු වේ. ඊට එහා යන ක්‍රියාකාරකම් වලදී, ජීවීන් බිහිකිරීම හා බැඳි පාලන උපාංඟ සීමාවන් පැනවීමක් හා ඉක්ම වූ විට ස්වයං ප්‍රතිචාරයකින් පාලනය වීමක් වේ (හිරුකම හෙවත් ඉරණම). මීට අමතරව තාරික හා අවතාරික ජීවයන්ටම ආවේණික වූ අංඟෝපාංඟ තුලින් ද පාලනය වීමක් වේ.

විශේෂත්වය වන්නේ මෙම සම්මත පාලනයන්ට එහා යන පාලනයක් පැවතීමයි. පැවැත්මට අභියෝග වන විට හෝ අභියෝගාත්මක හැසිරීම තුලින් ජීවන රටාව බිඳ වැටීමට හෝ එහි දිසාවට අයුතු ලෙස බලපාන විට සෘජුව බලපෑම් කරන බව තහවුරු වේ. මෙම ක්‍රියාවළිය ගත් විට, පුද්ගලයා අනුව ද ක්‍රියාව අනුව ද අසමාන ලෙස වන පාලනයක් පෙන්වයි. මේ පාලනය තුල සම්මත රටාවක් ද ඉන් එහා යන ඒකීය හැසිරීමක් ද පෙන්වයි. මෙහි උපරිමය පරම ජීවියාගේ බලපෑම බව පාලන ක්‍රියාවල  ප්‍රමාණාත්මක හා ගුණාත්මක අගයන් තුලින් දැකිය හැක.

සාරාංශය ගත් කල, ජීව ලෝකයට ඉහලින් ඇති පාලනය සියලු ක්‍රියාවළි අධීක්ෂණය කරනවා පමණක් නොව ඇවැසි තැන දැඩි පාලක ක්‍රියාවන්ට වුව යොමු වීම ගත් විට, ජීවීන් යනු පරිපූර්ණ පාලන තන්ත්‍රයකට යටත් වූ කොටසක් බවයි. මෙහිදී එම බලපෑම් කොතරම් සම්පූර්ණ ද කියනවා නම්, වෙනසක් නොදැනෙන තරම් ය. මේ නිසාම වෙනසට සංවේදී නිර්මාණයක් වන ජීවීන්ට එවැනි පාලනයක් ඇති බව නොදැනීම හේතුවෙන්, කිසිදු බිය සැකයකින් තොරවීම නිසා ඔවුන්ගේ හැසිරීම අධීක්ෂණය කිරීම බලපෑමකින් තොරව පවත්වාගෙන යාමට සමත් ය.

වර්තමානය ගත් විට නියමිත වෙනස්වීම් වලට අවශ්‍ය පසුබිම සැකසීමට මෙම පාලනය ඉතා සක්‍රීය ව ක්‍රියාත්මක වන බව අප අවට වෙන දේ තුලින් දකින්න පුළුවන්. සමහර දෑ අද්භූත ස්වරූපයක් ගැනීම හා සමාජීය දැනුමේ බිඳ වැටීම නිසා, බහුතරයට එවැනි සිදුවීම් වල ඇති වැදගත්කම පවා නොදැනේ. පාලන රටාව තුල දෙවරකට වඩා ඉඩ දීමක් නැති බව තහවුරු වේ. මෙය ම දේවවාදී ඇදිහිළි තුලින් ද කියවේ. එසේම පාලන ක්‍රියාවන් ගත් විට ඒ තුලින් දිස් වන තියුණු හා ඵලදායක බව සම්පූර්ණත්වය මනාව පිළිබිඹු කරයි. එයම අදාළ ජීවීන් තැතිගන්වන සුළු ය. මිනිසුන් ගත් විට, එවැනි අත්දැකීම් ලැබුවන් දෙවියන්ට දැඩි බියක් දැක්වීමත්, ළඟ සිටින්නන් පවා එවැන්නක් සිදු නොවූ ගානට නොසැලකිළිමත් වීමත් ක්‍රියාවේ ඉලක්කගත බව පෙන්වයි. ජීව ලෝකයට ඉහලින් ඇති පාලනයට අභියෝග කිරීම කල නොහැක්කකි. කොතරම් බලපෑමක් ඇති දැයි කියනවා නම් ගැලවීමක් නැත. සැබැවින් ම එවැනි පාලනයක් නොමැතිව අප අවට ඇති ජීව ලෝකය පවත්වාගත නොහැක. ඒ අතින් මානව පාලකයන් කොතරම් දුබල ද කියනවා නම්, එය පාලනයක් නොව බලෙන් බර ඇදීමට දීමක් යයි කිව හැක.

අද ලෝකය ගත් විට එම පාලන රටාවම තාරික ලෝකයට දිගු කිරීමක් බලාපොරොත්තු විය හැක. එහි ඇරඹුම මානවයාගෙන් පටන් ගනු ඇත. එවිට අප අත්විඳින බිඳ වැටීම වෙනුවට නොකඩවා බිහිවීමක් වැඩීමක් අපෙක්ෂා කල හැක.

No comments:

Post a Comment