Sunday 18 May 2014

සිංහලකම ගොඩ නැගීමට මුල පිරීම

අද ලෝකයේ මිනිසුන් මුහුණ දෙන බරපතල අභියෝගය වන්නේ උදාවෙන හෙට දින කෙසේ ඇරඹේ දැයි නොදැනීමය. ජීවත් වීමට අවශ්‍ය සියල්ල ම ඇපයට තබා මුදල් උපයන සමාජයක, මුදල් ගෙවා සියල්ල ගත හැකි නිසා මුදල් වල අවශ්‍යතාවය දැනුනත්, ජීවත් වීමට අවශ්‍ය සියල්ල මුදල් තුලින් බිහි නොවන නිසා, ඒවා නැති තැන මුදල් යොදා ඒ අඩුව පිරිමැසිය නොහැක. මුදල මත යැපෙන ඝාතකයන්ගේ අවියෙන් හා පවතින ක්‍රමය රැකීමට බල කරන නීති රීති තුලින්, මුදලින් එහා යන යමක් අහිමි බහුතරය, ජීවත් වීමට අවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ජාලය මත තම දිවි පරදුවට තබා ඇත. එනම් ඒ ජාලය සුරක්ෂිත බව විශ්වාස කර, හෙටත් එසේ ම වේ යයි සිතා සැනසීමෙන් සිටීමයි. එහෙත් වෙනස්වීම් නිසා කැළඹී ඇති මෙම ජාලය, නොයෙකුත් හේතූන් නිසා බිඳ වැටෙමින් පවතින්නේ, ජීවත් වීමට අවශ්‍ය සියල්ල බිහිවීමට අවශ්‍ය පරිසරය දැඩි ලෙස විනාශ වීම හා, ගිලිහෙන තම තත්ත්වය හමුවේ, බලවතුන් බලය යොදා තම පැවැත්ම රැකීමට දැඩි උත්සාහයක යෙදෙන නිසා ය. දැන් ඇත්තේ කවදා එය ගැටුමකට හැරේ ද යන්න මිස එවැන්නක් විය හැකි ද නොහැකි ද යන්න නොවේ.

පවතින සැපයුම් ජාලය මුදල් ඉපැයීම හා ලාභය මත පදනම් වූවක් නිසා, සැපයුම් අහිමිවීම එයට කිසිදු බලපෑමක් නොවේ. එමෙන් ම එවැනි අවස්ථා මුදල් ඉපැයීම හා ලාභය සඳහා තවත් මගක් විවෘත කර, තව තවත් බිඳ වැටීමට මග පාදනු ඇත. මෙහි දී සැපයුම අහිමි වූවන් මුහුණ දෙන බරපතල අභියෝගය වන්නේ, ඔවුන්ට නිද්‍රාගත වී එම කාලය ගත කල නොහැකි වීම ය. බොහෝ දේ දැන සිටිය ද, අපේ ජීවිත රැක ගැනීමට අත්‍යාවශ්‍ය සැපයුම් නොකඩවා අවශ්‍ය බව තේරුම් නොගෙන, මෙවන් අභියෝග ජය ගත නොහැක. එනම් නොකා නොබී ජීවත්වීම සැබෑවක් නොවන බව ය. එවන් බිඳ වැටීමක කාලීණ බලපෑම වන්නේ ජීවිතය අහිමි වීමයි. මලවුන්ට පණ දිය නොහැකි නිසා, සියලු දේට ප්‍රථම, පණ රැකෙන ආකාරයට සැපයුම් ජාලයක් ගොඩ නැගිය යුතු වේ. එය මුදල් ඉපැයීම හා ලාභය මත පදනම් නොවී, ජීවිත රැකීම මුල් කර ගත් විට, ජීවිත රැකීමට වන දායකත්වය හරහා පණ රැකෙනු ඇත. මෙය අද සමාජය ගිලගෙන ඇති ඉංග්‍රීසිකමෙන් මිදීම හෙවත් මුදල් ඉපැයීම හා ලාභය මත පදනම් නොවී ජීවිත රැකීම මුල්කරගත් සිංහලකම තහවුරු කිරීමකි. ඉංග්‍රීසිකම අනිවාර්යයෙන් කඩා වැටෙන්නකි. එහෙත් සිංහලකම  එසේ කඩා නොවැටෙන්නේ අප ජීවත්වන තාක් එය ද රැකෙන නිසා ය.

සිංහලකම ගොඩ නැගීමට සිංහලයන්ගෙන් පැවතෙන, ජීවත්වීම මුල් කර ගත් අය රැකිය යුතු ය. ඒ සඳහා ජීවත්වීම මුල් කර ගත් පදනම මත ගොඩ නැගූ සැපයුම් ජාලයක් බිහි කිරීම සඳහා මා සතු දැනුම යොදා ගනිමි. ආරම්භයක් ලෙස ඒ තුලින් පණ රැක ගැනීමට අවශ්‍ය අවම සැපයුම් ගලා යන ජාලයක්, ජීවත්වීම මුල් කර ගත් අය සම්බන්ධ කර ගොඩ නැගීම දැන් අරඹා ඇත. මෙහි අභ්‍යයන්තර ක්‍රියාකාරිත්වය ආරක්ෂිත දැනුම වුවත්, එහි ක්‍රියාකාරී ඵලය වන්නේ ජීවිත නැසීමෙන් වැලකීම ය. මුදලට ගිජු ව ජීවිතය ලාභ වූ ඉංග්‍රීසි විදියට වඩා, ජීවිතය රැකීමට ගොඩ නැගූ සිංහල විදිය හරහා, ජීවත් වන තාක් කල්, අවශ්‍ය සැපයුම් නොකඩවා සිදුවිය යුතු ය. එනම් පණ රැකෙන්නේය. ඒ හරහා පැවැත්මට අවශ්‍ය මූළික අවශ්‍යතාවය වන මිනිස් දිවි රැකෙන්නේ ය.

ජීවිතය රැකීම මත පදනම් වන සිංහලකම හරහා සමානත්වය හා සාධාරණය ගොඩ නැගෙන්නේ ඔවුන් සියල්ලන් ම තමන්ගේ හැකි පමණින් දක්වන ප්‍රතිචාර මත ය. සැබවින් ම, මම කියන විදි සියල්ල සිංහලයන් ස්වභායෙන් කල බව සඳහන් කල යුතු ය. එනම් අවශ්‍ය සියල්ල තමන් වටා රැස් කර ගෙන, ලෝකයට බලපෑමකින් අඩු පරිසරයක් ගොඩ නැගීමයි. මෙය නිකම් දීමක් හෝ ගැනීමක් නැති, එම හැසිරීම දැඩි ලෙස පිළිකුල් කරන සමාජයක පැවැත්ම මෙතෙක් රැකීමට මුල් වීම තුල ම එහි ඇති "පවතින බව" තහවුරු වී ඇත. මෙය අපට අවශ්‍ය යයි හැඟෙන සියල්ල ම හා මෙතෙක් මිනිස් පැවැත්මට අවශ්‍ය බව පොදුවේ හඳුනාගත් කොටසට ද අදාළ වුවත්, අද ලෝකය වෙලාගෙන පවතින ම්ලේච්ඡ වාදයන් හමුවේ, අත්‍යාවශ්‍ය සැපයුම් වලට සීමා විය යුතු වන්නේ, එවැනි ක්‍රමයක් තුල, නැසීමට කල් ඉකුත් වූ පවතින ම්ලේච්ඡ වාදයන් ද දිගට පවතින තත්ත්වයට පත්වීම වැලැක් වීමට ය. මෙහිදී යොදන විදි, එක් ආයු කාලයක සීමිත වසර ගණනකට සීමා කල විට, ජීවත් වීමට අවශ්‍ය වන ඉන්ධන සැපැයුම තහවුරු කිරීම ලෙස ගත හැක. මෙහිදී ඉන්ධන යයි කීවේ, ශරීරය ස්ථීර හානියකට ලක් නොවන ආකාරයට රැකීමට අවශ්‍ය දෑ නිසි කලට වේලාවට සැපයුම් ජාලය හරහා තමන්ට ලැබෙන බව තහවුරු කිරීමයි.

ඉහත කී අවශ්‍යතා හඳුනා ගැනීමට අතීතයේ මානවයන් ලෙස විසූ කාලයේ අවශ්‍ය වූ දෑ සැපයුම ගත හැක. එනම් මානවයා බිහි වූ පරිසරය තුල ස්වභාවික ව පැවති දේවල් වලට සීමා කිරීමයි. බොහෝ මිනිසුන් අද එම දේවල් නොලැබ කොතරම් දුබල වෙනවා දැයි බැලූ විට, ඔවුන් තමන්ගේ මලගමට හෙමින් හෙමින් යනවා යයි කිව හැක. ඔබ, මුතුන් මිත්තන් කෑ දේ අත හැර ආනයනය කල දේවල් තුලින් යැපේ නම්, ඔබ ඒ ගමනේ ඉදිරි පෙලේ යන්නෙකි. මා මෙන් විදේශ ගතව, එහෙත් ඒ ඒ රටවලට ආවේනික හෝ මුල්‍ය හැකියාවට සරිලන ඕන දෙයක් කන්නේ නම්, ඔබ වතුර ගසා දුවන මෝටර් රථයක් මෙන් අබලං ය. ජීවය බිහිවීමට දායක වූ අමු ද්‍රව්‍ය, එය නඩත්තු කිරීමටත්, වෙන විදියකට කියනවා නම් පවත්වා ගැනීමටත්, නැවත අබල දුබලකමින් තොරව බිහි කිරීමටත් අවශ්‍ය වේ. සරල උදාහරණයකින් කියනවා නම්, නිවසක සියලු අංඟ හැදුවත්, කවුළු පියන් පතක් වැනි එක වැදගත් කොටසක් නැති නම්, එම නිවස අසම්පූර්ණ ය. එසේ නම්, ජීවිතය වැනි සංකීර්ණ නිපැයුමක් බිහි කිරීමේ දී, එවැනි අඩුවක් කොතරම් දැඩි බලපෑමක් කරනවා ද යන්න ඉතා පැහැදිලි ය. එවැනි අඩු පාඩු හමුවේ, ජීවය ස්වයංඝාතක මගකට යොමුවන බව ඒ අයගේ හැසිරීම තුලින් දැකිය හැක. ඔවුන් ජීවත්වීමේ ආසාවෙන් තොර ය. කුසගින්නට යමක් ගිලීමට අමතර ව කිසිදු හැඟීමක් නැත. කන බොන දෑ ගැන තැකුමක් නැත. ඔවුන්ගේ හිත ද මරණයට කැප වූවකුගේ හැසිරීම පෙන්වයි. මෙහි දී, ජීවත් වීම යනු දැඩි අභියෝගයක් බවත්, පරාජය යනු මරණය බවත් නැවත සිහි කරමි. එම මගින් මිදීමට නම් ජීවිතය අගය කිරීමත් ජීවත්වීම තම එකම පරමාර්ථය කර ගැනීමත් අවශ්‍ය වේ.

මෙම ලිපිය මෙතෙක් කී සියල්ලටම වඩා වෙනස් වන්නේ දැනුම දීමට වඩා ක්‍රියාවෙන් ඵල ලැබීම ගැන මුල පුරන නිසයි. සැබැවින් ම (ස්වභාවයෙන් ම) කීම පහසුය. කරන එක අපහසුය. එසේ ම, කරන විට අඩු තැන් හිස් තැන්, ඕපපාතික ව හෝ මැවීමෙන් හෝ වෙනත් අද්භූත විදියකින් සම්පූර්ණ නොවීම හේතුවයි. එවැනි මිථ්‍යාවන් සැබෑව වන පරිසරයක අළුත් දෑ කිරීම පහසු වුවත්, අප මුහුණ දෙන පරිසරයේ වෙන්නේ, අඩු තැන් හිස් තැන් ඇති තාක්, කිසිදු ප්‍රථිඵල ගලා යාමක් නොවීමයි. සරල උදාහරණයක් ලෙස මෝටර් රථයක් ගත හොත්, එය ක්‍රියාන්විත දෙයක් වීමට අවශ්‍ය සියලු අත්‍යාවශ්‍ය අංඟ එකතු කරන තුරු, එය වැඩ නොකරන යකඩ ගොඩක් වීම දැක්විය හැක. මෙහි දී, සැපයුම් ජාලය බිහි කිරීමේ දී, නිපදවන තැන සිට භාවිතා වන තැන දක්වා ඇති නොයෙකුත් ක්‍රියා කල යුතු ය. එසේම බලය ඇත්තන් දමා ඇති මුර කපොළු තුලින් යාමට ඔවුන් දමා ඇති අවශ්‍යතා ද සපුරාලිය යුතු වේ. එහෙත් කලයුතු දෑ පැහැදිලිව ක්‍රියාවන් හරහා පැහැදිලි වන නිසා, එතරම් අපහසු බාධක ද නැත.

අනුන් ලවා කිරීමට වඩා ප්‍රථමයෙන් මම ම අත්හදා බැලීම මගේ ගතියයි. මෙම ජාලය මට හිතවත් අය යොදා දැනටම අත්හදා බලන්නකි. එහි සංකීර්ණ බව වැඩි කිරීමටත්, ජීවත්වීමට අත්‍යාවශ්‍ය දේවල් ජාලය හරහා හුවමාරු කිරීමට අවශ්‍ය ඔළු ගණන ද විශාල විය යුතු නිසා, ජීවත්වීම තම ඇදහීම කර ගත් අය, විශේෂයෙන් මෙයට එකතු වීම කාලීණ අවශ්‍යතාවයකි. ඔබ ඔස්ට්‍රේලියාවේ හෝ ලංකාවේ සිටී නම් ඉතා පහසුවෙන් සම්බන්ධ වී තමන්ගේත්, වර්ගයාගේත් පැවැත්ම වෙනුවෙන් දායක වී අත්හදා බැලීම සාර්ථක ව ගොඩ නැගීමට සහාය වෙන්න.

සිංහලකම තුල ඔබේ සැබෑ වටිනාකම, එනම් මුදලට ගත නොහැකි මිනිස්කම තුල ඔබ සතු උරුමයන්, ජීවත් වීමට යෙදවේ. මුදල් ඇති නැති බවට වඩා උරුම හැකියාවන් ගණුදෙණු කිරීමේ පදනම වෙනු ඇත. සියලූ කාලීණ අභියෝග හමුවේ සිංහලයන් රැකුණා සේ, උදාවෙන දැඩි අභියෝග වලට මුහුණ දිය හැකි එකම කම සිංහලකමයි. මොන වෙස් දුන්නත්, ඔබ කොටු වී ඇති ඉංග්‍රීසිකම තුල, මරණය ස්ථීර බවත්, අනෙක් සියලුම ජාතීන් ගේ උරුම කමවල් පැරදී ඇති බවත් යථාර්තයයි.

මිනිසුන් ලෙස ජීවත්වීමේ දී, තමන්ගේ පැවැත්මට අවශ්‍ය දෑ සියල්ලම තමන් උපයා ගත යුතු ය. නොඑසේ නම්, වෙන එකෙක් තමන්ට අවශ්‍ය දෑ සියල්ලම දිය යුතු වේ. එය ප්‍රායෝගික නොවන බව අපි එකිනෙකා ලෙස ගත් විට අපේ හැකියාවන් සනාථ කරයි. අතිරේක ව, අපේ බර අඩු කල හැකි එකම මග දැනුම යොදා ගැනීමයි. මේ අත්හදා බැලීම තුල මෙතෙක් භාවිතා නොවූ දැනුම යොදා, මනුෂ්‍යයන් ලෙස ඉපදී, මනුෂ්‍යයන් ලෙස ජීවත් වී, මනුෂ්‍යයන් ලෙස මරණය තෙක් ජීවත් වීම මුල් වීම තහවුරු කෙරේ. කිසි සේත් අනුන් මත ම යැපීමක් නොවන අතර, මහ සම්මත මනු ගොඩ නැගූ සමාජ ව්‍යුහයේ ඊ ළඟ අදියරය ලෙස මෙය හැඳින්විය හැක. ඒ පසු පස ඇත්තේ, හැම ජීවියෙකුට ම උරුම ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමයි. අද අප මුහුණ දෙන මරණයට මග කපන අභියෝග සියල්ලට ම මුහුණ දිය හැකි එකම මග එය බව, මම පෞද්ගලික ව අත්හදා බලා ප්‍රත්‍යක්ෂ කර ගත්තකි. එය සිංහලයන්ට හිමි කර ඔවුන් රැකීම මගේ පරමාර්ථයයි. මරණය සොයන උන්ට ඒ මග යාමට ඉඩ දී ජීවත්වීමට වෙර දරණ උන් ජීවත් කරවීමේ අපේ වගකීම වේ.

පසුව ලිවීම:

මෙම ලිපි පෙළ සිංහලයන්ට පමණක් ලියන එකකි. අතරින් පතර තෝරා බේරා කියවීම හිඟන ගතියකි. එවැන්නන්ට විනෝදය සැපයීමට වෙන බ්ලොග් ඕන තරම් ඇත. මගේ උත්සාහය එලෙස හෑල්ලුවීම ගැන මම කණගාටු වෙමි. හිඟන කම කියන්නේ සිංහලකම යයි කියල හිතන හිඟනුන් මට දැඩි පිළිකුලක් ඇති කරයි. මම ලියපු ලිපි සිංහලකම පණගැන්වීමට අවශ්‍ය නිසා ලියුවෙමි. ජනප්‍රිය කම, මිනිසුන් තුටු කිරීම මට අදාළ නැත. සිංහලකම නැති අය, එනම් මුල සිට පිළිවෙලට මෙම ලිපි පෙල නොකියවපු අය දැන්වත් ඉවත් වේ නම් අගේ ය. ක්‍රියාවට ආ විට බොරු කල නොහැක.