Thursday, 30 January 2014

හිඟාකෑම (හිඟනකම - හිඟා කන ගතිය), පොරකෑම (පොර කන ගතිය) හා උලා කෑම (නිසරු දේ කන ගතිය) - තෙවන කොටස

උලා කෑම (නිසරු දේ කන ගතිය)


මෙම ලිපි කියවන කොට තේරුම් ගන්න බැරි නම්, පරමාර්ථය නොදකී නම් පුදුම නොවන්න. අපි කවුරුත් අංඟ සම්පූර්ණ ලස්සන ගෙයක ජීවත්වීම ප්‍රතික්ෂේප නොකරමු. එහෙත් එවැනි දේ ඕපපාතික නොවන නිසාත්, මැවීමට කිසිවකු නැති නිසාත්, එසේ වේවා යැයි පැතීම නිශ්ඵලය. අංඟ සම්පූර්ණ ලස්සන ගෙයක ජීවත්වීමට නම්, එය ටිකෙන් ටික, ගලෙන් ගල ගෙන තැනිය යුතුම ය. මම කරන්නේ ද එවැන්නකි. අද සිංහලයන් යනු, පිරිහුණු අසරණ ජන කොටසක් බව සැඟවිය නොහැක්කකි. ඔවුන් එතැනට වැටුණු හැටි නොදැන, නැවත නැගීමක් වේ නම් එය සැබෑ නොවන සිහිනයකි. මේ ලිපි තුලින් කරන්නේ එයට දායක වූ මානව සාධක එකිනෙක ගෙන විග්‍රහ කිරීමකි. සිංහලයන් රැකීමට කැමති අය සියල්ල දිරියෙන් කියවා දරාගන්නේ නම්, එම කාර්යයට ඉමහත් දායකත්වයක් දෙන බව කිව යුතුම ය. දැන් ලියන්නේ ද තවත් වැදගත් දෙයක් ගැන බව මතක් කරමි. එසේ ම, මමත්වය තුලින් මට මේ ගති නෑ කියා සිතුව ද, මෙම ගති සියල්ල අද අපේ උරුමය වී ඇති නිසා සැඟවීම නිශ්ඵල බව තේරුම් ගැනීම හොඳ ය.

උලා කෑම (නිසරු දේ කන ගතිය) ගත් කල එය තිරිසනුන්ට සීමා වූවක් යයි සිතීම මුලාවකි. ඒ, එසේ කරන්නා වැටී ඇති මානසිකත්ත්වය නිසා, යථාර්තය නොදකින නිසා ය. අපි ජීවත්වන තලයට සරිලන ලෙස අප හිතන ආකාරය ද සැකසේ. සම්පත් ඇත්තකු එම සම්පත් හීන වී පහලට වැටෙන විට, උදා වූ තත්ත්වය හොඳ යයි සැනසේ. එසේ නොවන සුළු කොටසක් දිවි තොර කරගනී. මෙසේ හිතන ආකාරය වෙනස්වීම තුල ජීවිත රැකීම මුල් වුව ද, දිගු කාලීන තත්ත්වයක් යටතේ අනිටු ඵල විපාක තුලින් සෙමින් වන නැසීමකට ද මුල පුරයි. ඒ ගැන මේ ලිපිය තුලින් ලියමි.

කලින් කොටස් දෙකේ කී දෙආකාරයෙන් යැපීමට සම්පත් හිග වූ විට, දැන් කියන උලා කෑම (නිසරු දේ කන ගතිය) ජීවත්වීමේ උපාය බවට පත් වේ. එනම්, නියඟයෙන් වියළී ගිය පොළව උලා කන ගවයකු වැනි ආකාරයක ජීවත් වීමයි. ජීවත්වීම යනු කුසගින්න නම් නිරන්තර ඉල්ලුම පුරවා ලිය යුතු ක්‍රියාවකි. එහෙත් කෑමට සුදුසු දේ හිග නම්, තියෙන දෙයකින්, තියෙන ප්‍රමාණයක් ගෙන කුස පුරවා ගැනීමට පෙළඹීම සාමාන්‍ය දෙයකි. වතුරෙන් හෝ තේ වැනි බීමෙන් මෙය ඉටුකරන අය ද ඇත. බොහෝ විට කාලගුණික විපර්යාස හෝ ජීවීන් බහුලව බෝවීම නිසා සම්පත් සැපයුම අඩු වූ විට, කුසගින්න වැනි නොකඩවා යන ඉල්ලුමක් සපුරා ලීම බරපතල අභියෝගයකි. එවන් තත්ත්ව යටතේ නිරාහාරවීම නිසා එක කොටසක් මිය යාම ගත් කල, ඊට ආසන්න ම ජීවත් වන කොටස උලාකන්නන් යයි වර්ග කල හැක. මොවුන් යැපීම ලෙස පෙන්වන්නේ පණ නොනැසී පවතින අවම අවශ්‍යතා කියන තලයයි. ශරීරය නැසීම හා නොනැසීම ගත් කල, නොනැසී සිටීමට අවශ්‍ය අවම අවශ්‍යතා මෙතුලින් හෙළි වේ.

උලා කෑම (නිසරු දේ කන ගතිය) ගත් කල, එකම දෙයක් හෝ කීපයක් කෑමට සීමා වීම මෙන්ම අවශ්‍ය අවම ප්‍රමාණයට අඩුවෙන් කෑම අදහස් කරමි. මැරිච්ච, කුණු වෙච්ච, වේලිච්ච දේවල් කෑම, කිසිදු පෝෂ්‍ය ගුණයක් නැති දේ කෑම මෙන් ම නිරහාර වීම ජීවිතේ අංඟයක් වීම තුල, ජීවිතය රැක ගැනීමට අත්‍යාවශ්‍ය දේ නොලැබෙන නිසා, ශරීරය නිසි පරිදි අළුත්වැඩියා කර නොගෙන පැවතීම තුල, එය ක්‍රමයෙන් අක්‍රීය වීම, හානි වීම මෙන් ම මඳ ක්‍රියාකාරිත්වය හරහා ක්‍රමයෙන් නැසෙන මගට යොමු වේ. කැඩුණු බිඳුණු තැන් නිසා අක්‍රීය වීමක් ද ඒ තුලින් යැපීමට අවශ්‍ය හයිය නැතිවීම ද නිසා, මෙම තත්ත්වය මරණයට යන මගක් වේ. එසේ (මරණය) වේ නම් වන හානිය, එසේ නොවන විට වන හානිය හා සැසඳූ විට ගණන් ගත යුතු තරම් නොවේ.

නැවත සම්පත් සුලබ වූ විට, නිසි පරිදි අවශ්‍ය දෑ ලැබුන ද, එවැනි අත්දැකීමක් හරහා වන හානිය දැඩි නම්, නැවත පිළිසකර කර ගැනීමට බැරි වේ.  ජීවියකු යනු ඉතා සංකීර්ණ වූත්, නිපැයුම තුල කාර්යක්ෂම ව නිශ්චිත අංගෝපාංඟ තුලින් බිහි වූත් නිසා, තමන්ගේ පැවැත්මට සරිලන වෙනස්කම් දැඩිව බලපාන බව තහවුරු වේ. එනම් එවැනි ජීවීන් වර්ගයාගේ පැවැත්මට අභියෝගයක් වන තරම් යයි  කිව යුතු ය. මිනිසා ගත් කල, මෙම සංකීර්ණ ජීවන ව්‍යුහය තුල මෙම කොටස පහල තලයේ රැඳීමක් පෙන්වයි. අන්තිමට එය මිනිසාගේ පැවැත්මට අභියෝගයක් වේ.

පැවැත්ම රැකීමට නම්, අප මිනිසුන් ලෙස අංඟ සම්පූර්ණ විය යුතු සේම, ඊ ළඟට බිහිවන පරපුර ද අංඟ සම්පූර්ණ ව බිහි කල යුතුය. එහෙත් දීර්ඝකාලීන උලෑකම පැවැත්මට දැඩි තර්ජනයක් කරන්නේ, එවැනි දුෂ්කර පරිසරයකට සරිලන ලෙස මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය පාලනය වීමෙනි. මෙහි දී වැදගත් දෙයක් තේරුම් ගත යුතු ය. එනම් මෙතරම් සංකීර්ණ මිනිස් සිරුර තුල කිසිදු පැවැත්මට අනවශ්‍ය අංඟයක් නැතිකමයි. මෙසේ වීමට දැඩි ලෙස අංඟ හා අවශ්‍යතා පාලනය වන විදියක් අප සතු විය යුතු ය. එසේ නම් උලා කෑම තුලින් වන හානිය අවම කිරීමට ඊට සාපේක්ෂ ව ප්‍රතිචාර දැක්වීමක් සිදු වීම අපේක්ෂා කල යුතු ය. ප්‍රථිඵලය වන්නේ, ලැබෙන ආහාර වලට අනුරූප ව ශරීරයේ බිහි වීම වෙනස් වීමයි.

සමාජය තුල ඇති දත්ත හරහා බැලූවිට උලා කෑමේ ප්‍රථිඵල ලෙස කෙට්ටු, හැකිළුණු ස්වාභාවයක් ගැනීම, දුබල වූ අංගෝපාංඟ ලැබීම, ක්‍රියාකාරීත්වය හීන වීම, ලෙඩ දුක් බහුල වීම, රෝගාබාධ වලින් මිය යාම, පරම+ආයුෂ අඩු වීම, අංඟවිකල බව, එවැනි ම දරුඵල ලැබීම සමාජයේ විනාශයට හේතු වේ. එසේ නම් උලා කෑමෙන් දිවි බේරාගැනීමෙන් සමාජයට වන සුගතියක් නැත. දීර්ඝකාලීන උලා කෑම ගත් විට එයට හැඩ ගැසීම නිසා, එම තත්ත්වයෙන් මිදීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු ය. බාහිර ව එල්ල වන බලපෑම් හරහා වෙනස්වීම විකෘර්ථිමය ස්වරූපයක් ගන්නා නිසා, තම උත්සාහයෙන් ම මිදිය යුතු වේ. එහෙත් උලා කෑම උරුමය වූවෙකුට ඉන් මිදීම ලෙහෙසි නැත. දැඩි ලෙස කැප නොවේ නම් එය කල නොහැක. එහෙත් උලා කෑමෙන් යැපුණු අය සිටින සමාජයක එය ද කොටසක් නිසා එවැනි දැඩි අවශ්‍යතාවයක් නිර්මාණය නොවේ.

උලා කෑම ජීවත්වීමේ මාර්ගයක් වන සමාජය දිනෙන් දින පරිහාණියට යන එකකි. පළමුව එකෙක් සිටිය ද, එම ගතියේ ඇති තිරිසන් උරුමය තුල එය පැතිරී යන්නේ රෝගයක් ලෙස ය. අන්තිමට මුළු රටක්, ජාතියක් වැනසීයාමට තරම් ප්‍රබල දායකත්වයක් දෙන නිසා උලා කෑම ඉතා භයානක පුරුද්දකි. අද සමාජය තුලින් බැලූ විට උලා කෑම ද අළුත් ස්වරූපයක් ගෙන ඇත. එනම් සංකීර්ණ නිපැයුමක් වන ගතට අවශ්‍ය සියලු දේ ගැනීමට වඩා, කුසගින්න නිවීමට පමණක් ලැබෙන දෙයක් කෑමයි. බහුලව දකින උදාහරණය නම්, පාන් හෝ බත්වලට මුල් තැන දෙන ආහාර වේලක් ගැනීමයි. කුසගින්න නිවුන ද, අත්‍යාවශ්‍ය දේවල් නොලැබීම නිසා වන හානිය ලෙඩදුක් ඇති කර පණ නැසෙන තැනට මග පාදයි.

අද උලා කෑම ඉතාමත් සුලබ දර්ශණයක් වී ඇත්තේ, ඊට රාජ්‍ය ප්‍රතිපත්තීන් ද දායක වීම තුලින් ය. හිඟනුන් පස්සා දොරෙන් රිංඟාගෙන, සුද්දන්ගෙ පාලනයේ පහල මට්ටමේ රාජකාරි කර, සුද්දා බැරි තැන රට හැර ගිය විට උරුම වූ රාජ්‍ය යන්ත්‍රණය හරහා, තම බලය රැකගැනීමට දරණ උත්සාහය හමුවේ, ප්‍රධාන ආහාරය ලෙස හඳුන්වන කෑම වල මිල පාලනය කර පහල මට්ටමක රඳවා ඒවා පමණක් දිළිඳුන්ගේ කෑම ලෙස පැවතීම නිසා, අද උලා කෑම රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇතැයි කීම නිවැරදි ය. වරක් හිඟන පුරුකක් ඇති පරපුරක හිඟනකම මුල්තැන ගන්නා සේ, එවන් පසුබිමක ඉන්නෙකුට මෙම තත්ත්වය ජයග්‍රහණයක් ලෙස පෙනීම පුදුමයක් නොවේ. ඒ ජයග්‍රහණය මනින්නේ තමන්ට සාපේක්ෂ ව නිසා ය. පවතින්නා වූ ස්වයංනාශක ඉංග්‍රීසි ආර්ථික ක්‍රමය තුල, මුලු සමාජය ම උලා කෑමට ගොදුරු වේ. මේ ක්‍රමය තුලින් දියුණු වූ රටවල් හෙවත් පළමු ලෝකයේ රටවල්වල ආර්ථික අර්බුද හමුවේ, කන බොන දෑ අතහැරීම තුලින් වියදම් කපා හැරීම තුල උලා කෑම ආර්ථික උපක්‍රමයක් වී ඇත. මොන හේතුව නිසා උලා කෑවත්, ප්‍රථිඵල වෙනස් නොවන බව සමාජය තුලින් හෙළි වේ. මිනිස් ජීවය තුල සුළු කාලයකට සීමාවන ලෙස උලා කෑමෙන් හානි නොවන උපාංඟ තිබුන ද, දීර්ඝකාලීන පරම්පරාගත උලා කෑම සමාජයේ විනාශයට හේතු වේ.

අද පවතින හිඟනුන් දේවත්වයෙන් පුදන, හිඟනකම උතුම් ලෙස සලකන, මතු ජීවිතයේ සැප වෙනුවෙන් මුලා වී තම සම්පත් වලින් හිඟනුන් පෝෂණය කරන සිංහල සමාජය, අද උලා කෑමට පත් වී ඇත්තේ සම්පත් නැතිකම නිසා නොව බුද්ධිය නැතිකම නිසා බව පෙනේ. තමන් කෙතරම් සැප සම්පතින් අණූන වුව ද, දරුවන් බිහි කිරීමේ දී උලා කෑමේ පලවිපාක අත් දැකීමට අවශ්‍ය වන්නේ උලා කෑම උරුම වූ එක පාර්ශවයක් පමණක් බව සමාජය තුලින් පෙනේ. මෙය කොතරම් පැතිරී ඇද්ද යන්න බැලූ විට, එයින් මිදීමට සිංහලයන් දැඩි උත්සාහයක් දැරීම අත්‍යාවශ්‍ය වේ. මෙය පුද්ගල මට්ටමට වඩා සමාජමය අවශ්‍යතාවයක් වන්නේ තමන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල කරන නිසා ය.

යමෙක් මිනිසුන් ලෙස ජීවත්වීමේ දී මෙලෙස විනාශ වීමෙන් ප්‍රශ්ණ වලින් මිදෙනවා යයි සිතීම මුලාවකි. නැති කමට නොකෑ පමණින් යටපත් නොවී, ඇඟට අවශ්‍ය දෑ ඉල්ලා අප තුල ගොඩ නැඟෙන හැඟීම්, නොලැබීමෙන්, එන්න එන්න ම ප්‍රබල වේ. මෙසේ නොලැබීමෙන් මිය ගිය ද, හැඟීම් වල ප්‍රබලතාවය අනුව ඒවායේ බලපෑම ඇති වී නැති වී ඇති වෙන ගතට (තාරයට) මෙන් ම, නොවෙනස් ව පවතින අවතාරයේ ස්ථීර ලෙස දැරීමෙන්, නැවත උපදින විට දැඩි හැඟීම් උරුමයෙන් ලැබේ. ඒවා පාලනය කල නොහැකි තත්ත්වය යටතේ කරන කියන දෑ නිසා අපරාධකාරයන් වී ජීවිතය නැසේ. අග හිග කම්, අබල දුබලකම් ඇති අයට ලැබෙන දරු ඵල ද ඊට සරිලන සේ සැකසේ. එනම් වැටී ඇති තැනින් නැගිටීමක් ඇත්තේ ඉතා සුළු කොටසකට ය. බහුතරය වඳ වී යන නිසා, මළවුන්ගේ අවතාර මේ හැඟීම් වලින් උත්සන්න වී පවතී. උන් මළ පෙරේතයන්, පිශාචයන්,  කුම්භාණ්ඩයන් වැනි විවිධ නම් වලින් හඳුන්වන කොටස් වන්නේ අවතාරයන්ගේ හැකියාවන් පාලනය කල නොහැකි තත්ත්ව යටතේ මිය යන නිසා ය. මෙවැන්නන් ජීවත් වන ඥාතීන්ට නිතර බලපෑම් කරන්නේ කැකෑරෙන හැඟීම්වලට නතුවීම නිසා ය. එවැනි බලපෑම් යටතේ විනාශය මිස යහපතක් නොවේ. එසේ ඥාතීන්ට අරක් ගත් මෙම අමනුෂ්‍යයන් ඉල්ලන කෑම බීම හා ඔවුන් හැසිරෙන ආකාරය ගත්විට, අප හිතන පතන මහාර්ඝ සම්පත් නොව අප ඉවත දමන දේ ඉල්ලීමෙන් කියන්නේ, ඔවුන් ඒ තත්ත්වයට වැටුනේ හිඟා කෑම උලා කෑම වැනි තත්ත්ව යටතේ බවය. ඒ නිසා පෙන්වන්නේ, මෙය එක් අයෙකුට හෝ එක කාලසීමාවකට පමණක් සීමා වූ ප්‍රශ්ණයක් නොව සමාජයට ම නොකඩවා බලපාන අර්බුදයක් බවයි. එය ඉබේ පහ වී යන්නක් නොවන නිසා උත්සාහයෙන් ජය ගත යුතු ය. හෙට දවසේ ඔබ එයට බිලි වේ නම් එය පුදුමයක් නොවේ.

මිනිසුන් වී උපදින අවතාර ඇත්තන්ට බලපාන විශේෂත්වයක් ඇත. විශේෂයෙන් ම සිංහලයන් අතර උපන්නෙකුට, ඊට පසු වෙනස් සතෙකු ලෙස ඉපදුනත්, එම හැසිරීම නුහුරු නුපුරුදු දෙයක් වන්නේ, සමාජය තුලින් ලබන දැනුම තම අවතාරමය දැනුමේ කොටසක් වීමයි. එහෙත් නැවත මිනිස්බව ලැබීමට නොලැබේ නම් මිනිසුන් අතර ම අමනුෂ්‍යයන් ලෙස විසීම නොයෙකුත් බලපෑම් වලට හේතු වේ. සත්ව ලෝකය ගත් කල ජීවිතය මරණය සම සම ව උරුම නිසා, උලා කෑම මරණයෙන් කෙළවර වන දුබලකමක් වේ. එසේ වූවන් ගොදුරු වීම නිසා තාරික සංයුතියට කරන දීර්ඝකාලීන බලපෑම නොසැලකිය හැකි තරම් ය. එහෙත් මිනිසා ගත් කල, දුබල වූවන් මරණයට ගොදුරු වන තිරිසන් පරිසරයක් නොමැති නිසා, උලා කන්නන් ද පැවතීම නිසා තාරික සංයුතියට කරන දීර්ඝකාලීන බලපෑම ඉතා වැදගත් වේ. එසේ නම් විසඳුම ඇත්තේ ද, දැනුම යොදා එවැනි බලපෑම් වලින් සමාජය මුදා ගැනීමට දායක වීම තුලයි. එය කෙසේ ඉටු කල හැකි දැයි පසුව කියමි. අපි නොවැදගත් හෝ අදාළ නොවන දේ ලෙස දකින මෙවැනි සමාජමය උරුමයන්, කෙතරම් අපේ අනාගතය තීරණය කරනවා දැයි ඔබ තේරුම් ගත්තේ නම් මගේ උත්සාහය අපතේ නොගියා යයි සිතමි.

මම මෙම කොටස් තුනේ කීවේ, ස්වාභාවික පරිසරයෙන් මිනිසා ඇතුළු සියලු සතුන්ට උරුම වන දේ ගැන ය. එසේ ම එහි ඇති මිනිසුන්ට සීමා වූ උරුමයන් ගැන ද කීවෙමි. ඊ ළඟ කොටසේ, මිනිසුන්ට විශේෂයෙන් ම බලපාන, දැනුම නිසා ලැබූ ප්‍රගතිය ආපසු හරවා මිනිසා කැලයට තල්ලු කරන, පිළිකුල් සහගත ජීවන රටාවක් ගැන කියමි. මෙය අද සිංහල සමාජය මුහුණ දෙන බරපතල අර්බුදයක් වන, තම නිජ භූමිය අහිමි වීමත්, ජාතියක් ලෙස වඳ වීමත්, ඉතිරිය සිංහලකමට නින්දා කරන සමාජයකට අනුගත වීමත් සනිටුහන් කරන ප්‍රබල බලපෑමකි. එහෙත් ඒ සියලු අභියෝග අප සතු දැනුම යොදා පැරදවිය හැකි බවත්, නොඑසේ නම් සිංහල යනු අතීතයට පමණක් සීමා වූවක් බවත් කියමි.

No comments:

Post a Comment