Saturday, 11 January 2014

හිඟාකෑම (හිඟනකම - හිඟා කන ගතිය), පොරකෑම (පොර කන ගතිය) හා උලා කෑම (නිසරු දේ කන ගතිය) - දෙවන කොටස

පොරකෑම (පොර කන ගතිය)


කලින් කොටසේ හිඟමනින් යැපීම ගැන කීවෙමි. දැන් තවත් ආකාරයකින් යැපෙන හැටි කියමි. එය පොරකෑමෙන් යැපීමයි. මෙය ද තිරිසන් ලෝකයෙන්උරුම වූ ගතියකි. මිනිස්කම තුල පවතින මේ උරුමයන් තවමත් අප තිරිසන්කමට හිරකර තබන නිසා, සැබෑ මිනිස්කම රැකීමට මෙම තිරිසන් උරුමයන් හඳුනාගෙන ඊට පිළියම් යෙදීම අවශ්‍ය වේ. මගේ උත්සාහය එහි ප්‍රථම අදියරය ලෙස මෙම තිරිසන් ලෝකයෙන් උරුම වූ ගති මනාව හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු දීමයි. අප දැනුවත් ව හෝ නොදැනුවත් ව, මේ ලිපිවල අන්තර්ගත උරුමයන් ගේ ආකාරයට ජීවත් වීම හඳුනා ගත යුතුය. ඒ එම මගේ ඇති විනාශකාරී බව නිසා ය. ජීවත්වීම සාර්ථක කර ගැනීමට තමන් යන මාර්ගය තෝරා ගැනීම අවශ්‍යයි. හරි මග තේරීමට මම කියන දේ උපකාර වේ යයි සිතමි.

පොරකෑමේ සරලම විදිය අදත් තිරිසනුන් ලෙස ජීවත්වීමේ ප්‍රබල විදියයි. විශේෂයෙන් ම කණ්ඩායම් ලෙස ජීවත් වීමේ දී, සොයා ගන්නා හෝ හමුවෙන කෑම බෙදා ගැනීමට පොර කන සතුන් ඇත. මෙය දරුවන්, පැටවුන් වැනි සමාන අය කෑම උදුරා ගැනීමට කරන අරගලයක් තුලින් අරුත් දිය හැක. මෙහි දී, එසේ නොවන කණ්ඩායම් වල එක්තරා අණුපිළිවෙලක් තිබීම නිසා, පොරකෑම තුලින් එය තහවුරු වූවකි. මෙය යම් ආකාරයක ආයතනගත හෝ ස්ථීර පදනමකට හිරවූ පොරකෑමක් ලෙස හැඳින්විය හැක. මෙහි සමානත්වයක් නැත. අණුපිළිවෙලේ ඉහලම සිටින කෙනාට හිමි පූර්ණ වරප්‍රසාද පහලට යන විට ක්‍රමයෙන් හීන වීම නිසා ජීවත්වීම ගත් කල එය පෙර-තීරණයකට ලක් වූවක් වේ. පරිසරයේ බලපෑම් නිසා ආහාර හිඟයක් ඇති වුවහොත් පහල ම තලයේ සිටින්නා ප්‍රථමයෙන් නැසේ. මෙය ස්වභාවික පරිසරය තුල බලාපොරොත්තු විය යුතු දෙයකි.

මිනිසුන් ගත් කල පොරකෑම ආයතනගත කිරීම පමණක් නොව, උරුම වීමක් ද වන බව තහවුරු වේ. සතුන්, දැනුම නැති නිසා තමන්ගේ එදිනෙදා ජීවිතය රැකීමට අවශ්‍ය දෑ වෙනුවෙන් පොර කෑව ද, මිනිසුන් ගත් කල මෙය ඊ ළඟ පරපුරටත් එහා යන සූක්ෂම උපක්‍රම හරහා සිදු වේ. සමාජයේ ඉහලම තලයට යන විට, නායකයන් වන විට, මෙම හැකියාව කොතරම් උත්සන්න වේ ද කියනවා නම්, තිරිසනුන් නොකරන අපරාධ වුව කරන බව ඉතිහාසය පෙන්වයි. එසේ කල උන් වඳ වූ බව පෙනි පෙනී, මෙවන් පොරකෑමකට පෙළඹීම මිනිසා ස්වභාවික පරිසරයෙන් මුදවා ගැනීමට කල මානසික වෙනසේ විවෘත බව හරහා නතර නොවන හැඟීමකට හේතු වූවා දැයි විමසිය යුත වේ. එය අසීමිත තණ්හාව යැයි සමහරුන් හඳුන්වාගෙන මැඩීමට වෙර දැරුවත්, එසේ වෙර දරණ අය ද එවැනිම පාලනයක් නැති කොටසක් බව තම ක්‍රියාවෙන් පෙන්වති.

ඉහත කී නායකයන්ගේ පොරකෑම ගත් කල මිනිසාගේ පැවැත්මට අභියෝගයක් වන තරමට එය දුර දිග ගොස් ඇති බව පෙනේ. පහල මට්ටමේ සිටින මිනිසුන්, විශේෂයෙන් ම කාන්තාවන්, තම අඟපසඟ විකුණාගෙන කෑමටත්, දරුවන් සමඟ සියදිවි නසාගැනීමටත් යොමු වීම තුල මෙම පොරකෑම කොතරම් දුර දිග ගොස් ඇති දැයි පෙන්වීම, මේ හැසිරීම ගැඹුරෙන් හැදෑරීමට හේතු වේ. තිරිසන් බවෙන් මිදුනා නම් මෙවන් තිරිසන් ගතිවල ද වැඩීමක් දකින විට, තමන් එසේ විහින් ම මිදුනා යන කීම බොරුවක් වේ.

මෙහිදී පොරකෑම අත් හැරීමට බැරි ගතියක් දැයි විමසමු. මොන තරම් විනය ගරුක, නීති ගරුක වුනත්, බඩගින්න දැනෙන විට, දරුවන් බඩගින්නෙ ඉන්න විට, ඒ සියලු පාලනයන්ගෙන් මිදී පොරකෑමට පෙළඹෙන බව හදිසි ආපදා තත්ත්ව යටතේ දැකිය හැකි සුලබ දෙයකි. විශේෂයෙන් ම සැපයුම මදි විට මෙය ක්‍රියාත්මක වේ. මෙසේ පොරකෑම ගත් කල මරණයට ඇති භය තමන් පාලනය කරන බව පෙනේ. මනා සබඳතා නැති, විවිධ තල වලින් සමන්විත සමාජ තුල පොරකෑම සම්මතය වේ. මෙය බලය ඇති අය බලය යොදා උදුරාගැනීමත්, බලය නැති අය සොරකම් කිරීමත් හරහා තමන්ගේ රැකීමට යොදා ගනිති.

තිරිසන් ලෝකය ගත් විට පොරකෑම වුව ජීවිත රැකීමට ඉවහල් නොවේ. ඒ පරිසරයේ ඇතිවන වෙනස්කම් හරහා සම්පත් හීන වීම තුල ජීවිතය රැක ගැනීමට කිසිවක් නැති ව මරණයට පත්වීමයි. මෙය ගින්න, ඉඩෝරය වැනි කාළගුණික වෙනස්කම් හරහා සිදුවේ. අද ද බොහෝ සතුන් මෙවන් අභියෝග හමුවේ පොරකෑමට දෙයක් නැති ව මිය යන බව නොරහසකි. මෙම තත්ත්වය තවත් ආකාරයකින් ද සිදුවේ. ඒ පරිසරයේ ඇති සම්පත් වල නිශ්චිත බව නිසා සත්වගහණය වැඩි වී, සම්පත් වල සමතුලිත බව බිඳ හෙලා පැවැත්මට අවශ්‍ය සම්පත් නැති වීමයි. මෙහි දී පොරකෑම නිසා දුබලයන් නැසීමෙන් කෙළවර වේ. මෙම තත්ත්වය ශාක මත යැපෙන ජීවීන්ගෙ පොදු උරුමයයි. සරු කල බොහෝ පැටවුන් බිහි වී, නිසරු වූ විට විශාල ලෙස මිය යාම නිතර දකින දෙයක් වේ.

සත්ත්වයන් දඩයම් කර යැපෙන සත්ත්වයන් ගත් කල, පොර කෑම එක්තරා රටාවකට සිදු වේ. එය ආරම්භ වන්නේ තමන්ගේ ගොදුරු බිම මායිම් ඇඳීමෙනි. එතුලින් තමන්ගේ බලය හුවා දැක්වීමක් ද කෙරේ. බොහෝ විට තම මායිම් තුල ජීවත්වීම නිසා, පොරකෑම පවුලේ අයට සීමා වූ ජීවිත හානියෙන් කෙළවර නොවන අරගලයකට සීමා වේ. එහෙත් පරිසරය හෝ පෞද්ගලිකත්වය මත සතුන් මායිම් නොසලකා ගොදුරු බිම් වලට ඇතුලු වීම, පරාජිතයා පොරයෙන් පැරදී මිය යාම හෝ පැන යාම මත තීරණය වේ. මෙහි දී, ආක්‍රමණිකයා ඝාතනය වීමෙන් හෝ හිමියා අවතැන් වීමෙන් කෙළවර විය හැක. මෙසේ අවතැන් වූවන් කෙළවර වන්නේ තවත් කෙනෙකු මායිම් කල ගොදුරු බිමක ය. එනම් නොකඩවා පොරකෑමෙන් ජීවත් වීමට ය. දුබලුන් හෝ තරුණ ජීවීන් මෙසේ ජීවත්වීමේ දී හොරෙන් සැඟවීමෙන් පණ රැක ගැනීමට පෙළඹේ. මෙම තත්ත්වය තුල සංක්‍රමණික ස්වරූපයක් ගනී. මෙම සංක්‍රමණික ජීවීන් එකමුතු වී කණ්ඩායමක් ලෙස එකතු වී අනුන්ගේ ගොදුරු බිම් ඩැහැ ගැනීම අනෙක් ජීවීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරයි. එවැනි තත්ත්වයක දී, සංක්‍රමණික ජීවීන් එකමුතු වී හැදෙන කණ්ඩායම් ඉතා ප්‍රබල වී විශාල ගොදුරු බිම් ගොඩ නගති. මෙය තිරිසනුන්ට සීමිත වාසියක් දුන්න ද, මිනිස් සමාජය ගත් කල අති විශාල අධිරාජ්‍යයන් බිහි කිරීමට තරම් ප්‍රබල වී ඇත.

අප පොරකෑම ගැන කතා කරන කොට එය සතුන්ට සීමා කල ද, ශාක වර්ග ගත් කල, එම වර්ගයේ ජීවීන් අතර ද එක්තරා ආකාරයක පොරකෑමක් ඇති බව පෙනේ. මෙහි දී භූමියට මෙන් ම සූර්යාලෝකයත් ජලයත් ලබා ගැනීමට මෙම පොරකෑම යොමු වේ. මුල් හා කොල අතු වැඩෙන ආකාරය තුලින් මෙම පොරකෑම දැකිය හැක. ශාක වල අවශ්‍ය පෝෂක බෙදා හරින උපක්‍රමයක් නැති නිසා, එහි කොටසක් මිය යාමෙන් පරාජය කෙළවර වේ. මෙම ක්‍රියාවළියේ එක පියවරක් වන්නෙ, වැඩුන ගස් වල හැලෙන කොල නිසා ඒ ප්‍රදේශය තුල වෙනත් ශාක වල පැල හට නොගැනීමයි. හැම ගසක් ම කුඩා පැල ලෙස බිහිවීමත්, වැඩුනු දෙමව්පිය රැකවරණය ලබන ජීවීන් සේ, දෙමව්පිය ශාක වලින් පිහිටක් නොලැබීමත් නිසා, හොඳ නරක සමව බෙදීමක් පොරකෑම තුල ඇත. එහෙත් කුඩා ශාක ගත් විට, මෙම ගැටුම උග්‍ර වීමත්, ජයග්‍රාහී ශාකය අනෙක් ඒවා පරාජය කර භූමිය අල්ලා ගැනීමත් සිදුවීම පොදු දෙයකි. මෙහි දී පරිසරයට ගැලපෙන වැඩීමට සුදුසු ශාකය මුල් තැන ගනී. සමහර කුඩා ශාක සෘතුව අනුව වැඩීමෙන් පැවැත්ම රැක ගනී.

පොරකෑම ගත් කල එය ද ආවේණික තිරිසන් උරුමයක් යයි හැඳින්විය හැක. දීර්ඝ කාලීන ව එලෙස හැසිරීම තුලින් හැඟීමකින් තොරව පොරකෑමට පෙළඹීම අපට නොදැනෙන තරම් ය. කොතරම් ආවේණික ගතියක් දැයි කියනවා නම්, පොර නොකෑම හෝ අන් අයට මුල් තැන දීම දැඩි ආයාසයකින් වඩා ගත යුතු හැකියාවකි. පොරකෑම සමාජයේ එකමුතු බව බිඳ හෙලන, කෝන්තර ඇති වීමට මුල් වන, හැසිරීම තම පාලනයෙන් තොර බව පෙන්වන තිරිසන් උරුමයකි. ඒ නිසා ඉන් මිදීම ලෙහෙසි නැත. මෙහි දී, තමන් ඉන් මිදුන ද, අන් අයගේ උරුමය හමුවේ නිතැතින් ම පරාජය ගෙන දෙයි. අද මිනිස් සමාජය ගත් කල, පොරකෑම මූළික අංඟයක් වී ඇත. එය කොතරම් ආයතන ගත වී ඇති දැයි කියනවා නම්, එහෙම වෙනසක් නොදකින තරම් ය. බසයකට නගින විට වුව, කවුරුත් හැසිරෙන්නේ එය පොදු හැසිරීම ලෙසයි. එහෙත් වෙනත් සමාජයක එවන් පොරකෑමක් අවශ්‍ය නොවන පරිසරයකට ගිය විට, මෙම හැසිරීම තමන්ට ලැජ්ජාව දනවන ක්‍රියාවකි. මෙහි බරපතල යමක් ඇත. අප හැසිරෙන ආකාරය ගත් කල, තමන් කරන දේ හරි යයි නොසිතා, ඒ ගැන වෙනත් ඇසකින් බැලිය යුතු බවයි. තිරිසනුන් හා සසඳා උන් මෙන් අප හැසිරේ නම්, එම හැසිරීම මිනිස්කමට නොගැලපෙන්නක් බව තේරුම් ගැනීම වැදගත් ය. එසේ ම හැසිරීම අත් හල විට, තම පැවැත්මට අභියෝගයක් නොවන පරිසරයක් බිහි කිරීම වැදගත් වේ. මෙහි දී, අපට උරුම වූ හැසිරීම යනු මෙතෙක් පැවතීම නිරූපණය කරන උරුමයක් බව දැන, එයින් මිදීමට උත්සාහ කරන විට ඇති විය හැකි අනවශ්‍ය ඵල ගැන ද සිතීම වැදගත් වේ.

පොරකෑම හිඟාකෑම වැනි ආවේණික හැසිරීම් මිනිස් සමාජය තුලින් තුරං කල හැකි දැයි විමසමු. සැබැවින් ම මෙම මාතෘකා තෝරා ගැනීමේ පරමාර්ථය ද එය ම වේ. ස්වාභාවික පරිසරය තුල පැවැත්මට පොරකෑම ප්‍රබල අවශ්‍යතාවයකි. එහෙත් තිරිසන් බව අත හරින විට, මෙම ගති අප තිරිසන් කමට බැඳ දමයි. එනම් අප තිරිසනුන් වීම ය. එම ගති අත හැරීමට තිරිසන් ලෝකය තුල බැරි නිසා, ඊට සරිලන සමාන්තර මිනිස් ලෝකයක් සැකසිය යුතු ය. එය කල හැක්කක් නිසා මෙම මාතෘකාව තෝරා ගතිමි. අපේ වගකීම් නිසි ලෙස ඉටු කිරීමට නම්, පොරකෑම පැවැත්මේ කොටසක් නොවිය යුතුයි නේ ද? තව බොහෝ දේ පොරකෑමට බැඳුනත් මේ තොරතුරු යම් ආකාරයක ආරම්භයකට මුල පිරුවා යයි සිතමි.

පසු වදන: 


මෑත කාලයේ කාර්ය බහුලවීම නිසා ලිවීම පමා වුව ද, එසේ වීමට හේතුව මුහුණු පොතට (බුකියට හෙවත් වඩා නිවැරදි ව මුඩුක්කුවට) ඇතුළු වීමට සිදුවීමයි. එය කාලීණ අවශ්‍යතාවයක් මෙන් ම හදිසියේ නොදැන ගිය අළුත් අත්දැකීමක් විය. එසේ කිරීමට ප්‍රධාන හේතුව අද සමාජය හා ගැටීමෙන් කරුණු දැන ගැනීම ය. දැනට ගැවසෙන මෙම බ්ලොගයට බැඳුනු මත බියෙන් සැකෙන් තොරව පැවසිය හැකි තැන් මේවා ය.

https://www.facebook.com/groups/akadaya/

https://www.facebook.com/groups/miniskama/

ඊට අමතර ව බාහිර පාලනයට නතු මෙම තැන ද දැනට ගැවසෙමි. ලිපි තුලින් නොදකින පැති හා ගැටීමෙන් ලබන අත්දැකීම් සඳහා මේවා මහඟු සම්පත් වේ.

https://www.facebook.com/groups/194075563979436/

තවත් කිහිපයක නියෝජනය ඇතත් කාල වේලා නැති නිසා ප්‍රබල දායකත්වයක් දීමට තවම උත්සාහ නොකලෙමි. සිංහලයන් ගේ තොරතුරු සොයාගෙන ඒ තුලින් ඔවුන්ට හොඳක් වනු දැකීම අපේ උත්සාහය කර ගනිමු.

No comments:

Post a Comment