Friday, 11 October 2013

සියලු ජීවීන්ට පොදු වූ "දෙයාකාර හැසිරීම" මගින් නිරූපණය වන ලෝක (විශ්ව) ස්වභාවය හා "ජීව තීර (ස්ථීර) බව" වැදගත් දැයි බලමු

නැවත නැවත ඉපදීම මුලින් ම කීවේ සිංහලයන් ය. සිංහලයන් කී දේ ගැන කතා කිරීමට මට අවශ්‍ය ය. ඒ සිංහලයන් කී ආකාරයට නැවත නැවත ඉපදීම වන බව, පාරිසරක දත්ත තුලින් මට තහවුරු වූ නිසා ය. තවම, මට ආදි සිංහලයන් එක ද බොරුවක් කී බව සොයාගැනීමට බැරි විය. ඒ නිසා ඉහත කී නැවත නැවත ඉපදීම තහවුරු කිරීමට මගේ දැනුම ගැන යම් අවබෝධයක් අවශ්‍ය නිසා මෙසේ ලියමි. පසුව, සිංහල  යයි කියාගන්නා අය නොදන්නා "සිංහල"  යන වචනයේ මුල් අරුත දීමට ද මෙය යොදා ගනිමි.

හින්දූන් ද, හින්දූන් අතර බිහි වූ මතයක් වන නිර්වාන් (නිර්වාණය) යොදා ජීවිතය නිවීම හෙවත් නැවත නැවත ඉපදීම (සංසාර ගමන) නවතා සසර සයුරෙන් එතෙර වන තැන නොකියා එතෙරවීමක් ගැන කියන නූතන බෞද්ධයන් ද, මෙම මතය දරති. හින්දූන් මරණින් පසු ඉණිමගක නැග ඉහලට යන්නා සේ දිව්‍ය ලෝකයට යාමට, සුර සැප විඳීමට පෙරුම් පුරති. නූතන බෞද්ධයන් නිවන් යාමට පෙර දිව්‍ය සැප ලැබීමට පින් කිරීමත්, ඔවුන්ගේ පාලියෙන් ලියපු බයිබලය කුරාණය වැනිම ධර්මය යයි කියන මතකයේ රඳවා ගත් පොත පත නිතර නිතර භාවිතා කිරීම හෙවත් දහම් (පින් දහම්) කිරීමත් කරති. ක්‍රිස්තියානීන් හා මූසලයන් තමන් දෙවියන්ගේ සැබෑ දරුවන් නිසා, එනම් එකම හා දෙවන නොවන දෙවියකු ඇදහීමේ බල මහිමයෙන් දිව්‍යලොවට අනිවාර්යෙන් ම යන බවත්, මම වැනි උන් මෙන්ම දෙවියන් දෙවැනි පංතියට දැමූ නූතන බෞද්ධයන් ද අපාගත වන බවත් කියති. මේ අනුව බැලුවොත්, මම කියන්නට යන දේ හැම එකාටම වැදගත් එකක් නොවේ ද?

ප්‍රථමයෙන් (පරමුකව, පළමුව) "ජීව තීර (ස්ථීර) බව" යන ඔබ අසා නැති සරල සිංහල වචනය ගැන දැන ගනිමු. ඔබ තීරණය යන වචනය අසා ඇත. එතුලින් අදහස් වන්නෙ "පදනම් කරගත් සියලු දේ අනුව යමින් අවසන යොමුවන එක්තරා නිශ්චිත දෙය/ඵලය" බවය. ඔබ වඩා දත් "ස්ථීර" නම් පැරැන්නන් ස කාරය දමා අමාරුවෙන් කී පදය ඔබේ පහසුවට යොදන්නෙමි. මීට වඩා පැහැදිලි කරන අය සිටී නම් අගයමි.

සියලු ජීවීන්ට පොදු වූ "දෙයාකාර හැසිරීම" මගින් නිරූපණය වන ලෝක (විශ්ව) ස්වභාවය තුලින් මම අදහස් කලේ, කිසිම ජීවියෙකුට තනි පැවැත්මක් නැති බවත්, ඊට විරුද්ධ වූ හෝ කනපිට පෙරළුන තවත් ජීවියකු ද සිටින බවත් ය. පරිසරය ගත් විට, ඇතිවන සියල්ලම නැති වී යා යුතු උදාසීන තත්ත්වයක් පෙන්වයි. ඇතිවීමක් නැත්නම් නැතිවීමක් නැත. ඇතිවීම යනු උදාසීන තත්ත්වයෙන් ක්‍රියාශීලි තත්ත්වයකට ඒමක් බවත්, නැතිවීමේ දී නැවත උදාසීන තත්ත්වයටම පත්වන බවත් ය. මෙම සක්‍රීය වීම බටහිර නූතන විද්‍යාවට අනුව සූර්යයා වැනි "ශක්ති" ප්‍රභවයන් තුලින් ඇතිවන බවක් පෙන්වයි. තවත් පෙරදිග කොටසක් "විශ්ව ශක්තියක්" ගැන කියති. මෙම ශක්තිය නමැති සංකල්පය ම, එනම් ද්‍රව්‍යමය නොවන දෑ ද්‍රව්‍යමය දෑ සමඟ මුසු වීම මම ප්‍රතික්ෂේප කරන්නේ, එය නොමග ගොස් කියන දෙයක් ලෙස පරිසර සාධක තහවුරු කරන නිසා ය. එසේ වුවත් මා සොයාගත් තොරතුරුවල වටිනාකම නිසා මෙලෙස මුදා හැරීමෙන් වැලකෙමි. පවතින මතයට අනුව බැලීම තුලින් නොමග නොයන්න. සරල උදාහරණයක් ගතහොත්, මිනිසුන්ගේ ගත ක්‍රියාශීලි තත්ත්වයකට ඒම වන්නේ, උදාසීන තත්ත්වයෙන් ඇති දෑ උකහා ගෙන බව ය. මිනිස් ගත නැසුන විට, ඊට යොදා ගත් සියල්ල නැවත මුලින් තිබුනු තත්ත්වයට පත්වේ. මේ බව තහවුරු වන්නේ, වසර අසීමත ගාණක් තිස්සේ බිහිවූ තාරයන් එසේ මුලුමණින් උදාසීන නොවී නම්,  උදාසීන නොවන කොටස දිගටම එකතු වීමක් පරිසරයේ නැති නිසා ය. මෙම දත්තය, ජීවීන් නැසුන විට, ඉපදෙන අය නැවත එම ද්‍රව්‍යයන් ම යොදාගැනීමක් ගැන කියනවා. මෙම සමතුලිත බව කාල පරාසය වැඩිවන විට වඩාත් රැකෙන බවක් පෙන්වයි. අප කියන දේ අපට පරිබාහිර ස්වභාවය තුලින් තහවුරු නොවේ නම් එය ගෙතුමක් වේ.

එසේ ඉහත කී දත්ත සැබෑ වීමට නම්, අඩු තරමින් ජීවය දෙයාකාරයකට බිහිවිය යුතුය. උදාහරණයක් ලෙස ශාක හා සත්ව වර්ග ගත් විට, ජීවීන් ප්‍රයෝජනයට ගෙන පිට කරන වාතය ශාක මගින් උරාගෙන නැවත ජීවීන්ට ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයට ගෙන ආ යුතු ය.

මෙම "දෙයාකාර හැසිරීම" යනු, ඒකීය අදහසක් දෙන කොටස් දෙක යන අදහස නොව, එකම කොටසක් නම් එයින් භාගයක් තෙක් එය නැසුන ද සක්‍රීය තත්ත්වයේ පැවතෙන බවයි. එසේම පොදු කොටස් දෙකකට සීමා වීමක් ද අදහස් නොකරයි. මෙය ඉතා වැදගත් "බවක්" (ස්වාභවයක්) වුවත්, මේ ලිපිය තුල අරුත් දැක්වීම මිනිසුන්ට සීමා කරමි. මිනිසුන් ගත් කල මේ "දෙයාකාර හැසිරීම" ගැහැණු හා පිරිමි බෙදීම තුල ද ඇත. පළපුරුදු විවාහක අයට මෙය මනාව වැටහෙනු ඇත. අපේ ජීවය ගත් කල ගත (තාරය) මනාව හඳුනාගත හැකි දෙයකි. එය ඇති වී නැති වන බව අසා නිමක් නැති දෙයකි. සිත යනු ගතේ කොටසක් නොවේ. එය ගතට පරිබාහිර වූ අවතාරයේ කොටසක් බව කී පැරණි සිංහල මතය සමඟ මම ද එකඟ වෙමි. එය ද ද්‍රව්‍යමය දෙයක් ලෙසත්, නිශ්චිත බැඳීම් ඇති ගත (තාරය)ට අනුව යන නිපැයුමක් ලෙස කලින් ලිපි තුලින් තහවුරු කලෙමි. ඉහත කී "දෙයාකාර හැසිරීම" තාරය හා අවතාරය ගත් කල ද සැබෑ වේ. එනම් තාරය යනු ඇති වී නැති වන බව දෙයක් බවත්, අවතාරය යනු එසේ නොවන දෙයක් බවත් ය. තවත් බෙදීම් කල විට, තාරය දෙමව්පියන්ගෙන් ලැබුන ද, අවතාරය එසේ නොව, වෙනත්  ඒකීය බවක් ඇති නිපැයුමක් බව පරිසර දත්ත පෙන්වයි.

මෙම "දෙයාකාර හැසිරීම" ගත් කල, අපේ අවයව තුලින් ද එවැනි බවක් පෙන්වනවා නේ ද? පරිසරික ලෙස ගත් කල, ආහාර දිරවන පද්ධතියේ ඇති උපාංඟ එකක් වුව ද, එයින් අඩක් හෝ ක්‍රියා කරයි නම් පණ නොනැසේ. එතැනින් නොනැවතී, මෙම ක්‍රියාවලිය දරුවන් බිහිවීම තුල ද ඇති බව තහවුරු වේ. එ නම්, ලොකු දරුවා බිහිවන ආකාරයට වඩා ප්‍රතිවිරුද්ධ ආකාරයකින් දෙවැන්නා බිහිවීමයි. තුන්වන දරුවා දෙවන දරුවාට ප්‍රතිවිරුද්ධ ආකාරයකින් බිහි වුව ද, කිසි ලෙසකින් පළමු දරුවාට සම නොවේ. හතරවන දරුවා තුන්වන දරුවාට ප්‍රතිවිරුද්ධ ආකාරයකින් බිහි වුව ද කිසි ලෙසකින් පළමු (ලොකු) දෙවන හෝ තුන්වන දරුවාට සම නොවේ. එහෙත් අණුපිළිවෙල තුල, එක ළඟ උපදින දෙදෙනෙකු අතර පොදු වූ අර්ධයක් ද ප්‍රතිවිරුද්ධ වූ අර්ධයක් ද ඇති බව තුලින් මෙම "දෙයාකාර හැසිරීම" එළි දැක්වේ. මෙම අපූරු හැසිරීම සියලු ජීවීන්ගේ බිහිවීමට ද ගැලපෙන බව දුටුව ද ඒ ගැන කතා නොකරමි. මෙහි දී අදහස් කලේ හැම ජීවියටම ජීව ලෝකයේ තමන්ට හිමි තැන නිර්ණය වීම මේ හැසිරීම අනුව කල බවයි.

"දෙයාකාර හැසිරීම" තහවුරු කරන ජීවීන්ගේ හැසිරීමක් ගනිමු. තණකොල කා වැඩෙන සතෙකුත්, ඌ මරාගෙන කා යැපෙන සතෙකුත් ගමු. මෙහි දී, තණකොල කා වැඩෙන එකා මරා කා යැපෙන සතා ම, තම වර්ගයා හා මාරක සටන් කර ගොදුරුවන සතුන්ට ඇති තර්ජනයක් ඉවත් කිරීම තුලින් උන්ගේ ආරක්ෂකයා ද වේ. මරණ ආකාරය ගතහොත් ගොදුරු වන සතා හැදී ඇති ආකාරයත්, උගේ හැකි බැරි කම් ගැනත් දත් බව මරන ආකාරයෙන් තහවුරු වේ. උදාහරණ ලෙස ගෙල හිර කර හුස්ම ගැනීම වලකා මැරීමට නම්, ගොදුරු වන සතාගේ පියවි ඇසට නොපෙනෙන හුස්ම ගන්නා ආකාරය ගැන ද දත යුතු ය. මෙතුලින් බැලූ විට, මරාගෙන කන එකා, ගොදුර වීමද අවශ්‍ය වේ. එනම් ඒ ගැන දන්නේ ගොදුර පමණක් නිසා ය. ගොදුරු ඩැහැ ගැනීමට යොදන උපාය ගත් කල, එය පුරුද්දෙන් උරුම වූවකට වඩා ජන්මයෙන් ලැබූවක් බව පෙනේ. එනම් ජීවත්වීමට අවශ්‍ය දැනුමකි. මෙවැනි දැනුමක් ඇති සතෙකුට ඉන් එහාට යාමට බැරි ඇයි ද යන්නට පිළිතුරු සෙවීම තවත් වැදගත් දේ හෙළි කරනවා. එය මෙම මාතෘකාවට අදාළ නැති නිසා නවතිමි.

මම "දෙයාකාර හැසිරීම" ගැන කීවේ, ඊ ළඟට ලියන ලිපි තුල දෙමව්පියන්ට දාව උපදින දරුවන් අතර වෙනස පැහැදිලි කිරීමට ය. මෙහි දී ලොකු, මද්දුම, හින්නි හා ඩිංඟි දරුවන්ගේ බිහිවීම් රටාව කී "මිනිසුන් අතර වෙනස සිංහල ජන සමාජය විශ්ලේෂණය කර හදාරමු." යන ලිපියේ තොරතුර ද මනාව දැන ගැනීම වැදගත් වේ.

දැන් "ජීව තීර (ස්ථීර) බව" හෙවත් ජීවතය තුල පවතින ස්ථීර බව ගැන යමක් කිව යුතු ය. ඉහත කී "දෙයාකාර හැසිරීම" තුල බිහිවීමත් සමඟ, එසේ බිහිවන ජීවයේ ස්ථීර බවක් ඇති වීම ය. මෙය, සරල ව, ගත (තාරය) හා සිත (අවතාරය) එකතු වීම "දෙයාකාර හැසිරීම" තුලින් බිහි වුව ද, බිහි වූ ජීවයේ ඇති ස්ථීර බවයි. එසේ ස්ථීර නොවේ නම්, බිහි නොවීම හෙවත් දරුඵල අහිමි වීම, ගබ්සා වීම වන බව දනිමු. ඉපදුන ද, බාහිර අයට තේරුම්ගත නොහැකි සියදිවි හානි කරගැනීම තුලින් ජීවිතය කෙළවර කිරීම මෙම "ජීව තීර (ස්ථීර) බව" කොතරම් වැදගත් වේ දැයි කියනවා. එසේ නම් මෙවැනි වැදගත් දෙයක් දැන ගැනීම අත්‍යාවශ්‍ය දෙයක් නේද?


ජීවයේ ඇති ස්ථීර බව, උපතේ සිට ස්වාභාවික හෝ බාහිර හේතු නිසා නැසීම දක්වා තමන් ගෙවන ජීවිතය තුලින් දිස් වේ. දැන් මෙය පැහැදිලිකර ගනිමු. උදාහරණ ලෙස මිනිස්කම ඇති දරුවකු ඉපදුනා නම්, ඔහු ගතෙන් කරන ක්‍රියාවලින් හා නොකරන ක්‍රියාවලින් ද, ඊට අනුරූපව සිතන හා නොසිත දෑ තුලින් ද ගැටුමක්, අර්බුදයක් නොවී ගැලපෙන බවක් පෙන්වයි. මුල් කාලයේ සමාජීය බලපෑම් නිසා එසේ නොවූවත් කාලය සමඟ තම ස්ථාවර තලයට ළඟාවේ.

ඉහත කී දෑ මිනිස්කමට පමණක් සීමා නොවේ. තිරිසන් ගති ඇත්තෙකු ගත් කල ඔහුට සරිලන තාරික හා අවතාරික ස්ථාවර බවක් ලැබේ. මිනීමැරීම වැනි දරුණු ක්‍රියාවක් ගත් කල, ඊට ම සරිලන සිතිවිලිත්, තුන්කල් ගත් කල, ගැලපෙන හැසිරීමකුත් උරුම ය. ක්‍රියාවට සරිලන හැඟීම් ද හැඟීම් වලට සරිලන ක්‍රියාවන්ද ඇති ජීවියෙක් වේ.

අමනුෂ්‍ය ගති ඇත්තකු ගත් කල ද, තමන්ටම ආවේනික ස්ථීර බවක් පෙන්වයි. මනුෂ්‍යයන් නොකරන වැඩ කිරීමට, ප්‍රතිවිරුද්ධ ගති ඇති ජීවියක් උරුම වේ. උදාහරණයක් ගතහොත්, අශූචි මුත්‍ර බුදින්නකු නම්, තමන් එය කරන විදිය හරි යයි දකී. එසේ නොකිරීම වැරදි යයි දකී. තම තාරික හා අවතාරික හැසිරීම, තමන්ගේ හැසිරීම ගැටුමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සමබරතාවයක්,  ස්ථාවර බවක් පෙන්වයි.

මූසලයෙක් ගත් විට, සෑම නීතියක් ම රීතියක් ම නැසීමටත්, තමන් කරන දේ තුල ස්ථාවර බවක් පෙන්වීමත් සිදුවේ. සොරකම් කරන්නේ තමන්ගේ දෙයක් ගන්නා ලෙස ය. සම්මතයක් කඩන්නේ එය වැරදි දෙයක් ලෙස ගෙන ය. හැසිරීමට ම සරිලන ප්‍රතිචාර ද ඇත.

ඉහත කී දෑ ගැන බොහෝ විවරණ පසුවට තැබුව ද, මෙහි දී දිග හැරියේ, ජීවයක් ලෙස බිහිවීමට රුකුල් දෙන ප්‍රබල අංඟ දෙකක් ගෙන හැර පෑම ය. මෙතුලින් ජීවය යනු අංඟ සම්පූර්ණ ඒකකයක් මිස, එතුල කිසිදු අස්ථාවර බවක් නැති බව ය. මෙම තොරතුරු තුලින් දරුවකු බිහිවීමත්, ඊට අමතරව නැවත නැවත බිහි වීමත් යන ක්‍රියාවලට මුල් වන පදනම ගොඩ නැගුවෙමි. ඒ තුලින් ලෝකය දිහා බැලීම අප දකින දේට වඩා කොතරම් වෙනස් ද? ඉහත කී දැනුම ජීවීන්ට වඩා ඉහලට යන්නක් බව තහවුරු වේ.

ඊළඟ ලිපිය තුලින් ඉපදීමට බැඳි නැවත නැවත ඉපදීම යන කරුණ පිළිබඳ සිංහලයන් දැරූ මතය විවරණය කරමි. ඒ සඳහා මේ ලිපියත්, ඉහත සඳහන් කල ලිපියත් ඉතා වැදගත් කියවීම් ය. මෙතෙක් ලියපු දෑ අවබෝධ කර නොගැනීම තුලින්, ඉදිරියට කියන දේ දුරස්ථවීම නිසා අතරමන් විය හැක. සංකීර්ණ දේ කරන කියන විට, රටාවකට ඇරඹීම අවශ්‍ය බව නොරහසකි.

කී බොහෝ තොරතුරු තමන් සිංහල යයි කියන අයට ඉතා වැදගත් වේ. එනම් "සිංහල" යන වදනේ සැබෑ අරුත දීම නුදුරු ලිපියකින් කිරීමයි.


No comments:

Post a Comment