Thursday 19 September 2013

හින්දූන්ට "ආයූර්වේදය" වූ සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම - පළමු කොටස

හඳුන්වා දීම


අද ලෙඩ දුක් නැති කෙනෙක් අප අතරෙ නැති තරම් ය. බෙහෙත් නොබීපු කෙනෙක් ද නැති තරම් ය. අපට තියෙන ලෙඩ රෝග කොතරම් ද කියනවා නම්, කියා නිම කර නොහැකි තරම් ය. ඒ වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට යොදාගන්න බෙහෙත් ද බොහෝ ය. මේවා, නා නා ප්‍රකාර ඇට, වැල්, කොල, පොතු, ගස්, මුල් වැනි පරිසරයෙන් උකහා ගත් දේ සිට, තම්බා, අඹරා, රස කර, මිශ්‍ර කර, බොන, කන, අලවන, තවන, බඳින, ගාන, ඉඹින දෑ මෙන්ම, නා නා ප්‍රකාර කෘතීම ක්‍රම මගින් සෑදූ පෙති, කරල්, දියර, තෙල් වැනි දෑ වලින් ද සමන්විත වේ. මේවා දී මුදල් ගන්නා මුදලාලිලා (මුදල් ගණුදෙණු කරන අය) බොහෝ ය. මේ අය ලෙඩ දුක් හඳුනා ගැනීමට නොකරන දෙයක් නැත. බරපතලම ලෙඩ  සුවකිරීමට නොමරා මරන අය ද ඇත. මේ විදියට, අද ලෙඩ නැති එකෙක් හොයනවාට වඩා කළුනික සෙවීම ඉතා ලෙහෙසි බව කිව යුතු ය. මම මේ කිව්වේ මේ ලිපිය ලියන විට ජීවත්වන මිනිසුන් ගැනය.  මගේ උත්හාසය අද ඇවිදින වසංගත රෝගීන්ගෙ හෙවත් මිනිසුන්ගේ ආ ගමන ගැන කීම ය.

මේ ලිපිය ලිවීමට ගොඩක් කාලයක සිට උත්සාහ කල ද මේ වනතුරු පමා වීම ගැන දුක් නොවන්නේ මා ලත් අපූරු අත්දැකීමක් නැතුව ලිව්වා නම් අඩුපාඩු සහිත ලිපියක් වීම ගැන සිතෙන විටය. මම ගැන කියනවා නම්, මගේ ප්‍රථම වෘත්තිය රැකියාවට බැඳීමට පළමුව පැවති බටහිර වෛද්‍ය පරික්ෂාවට ලක් වූ විවිධ වෘත්තිකයන් 385 කින් හැම අතින් ම සමත් වූවේ මම පමණි. එදා මෙදා තුර බීපු බෙහෙත් ගැන සිතන කොට, බටහිර වෛද්‍යවරුන් බලෙන් දෙන්න හැදූ භයානක ලෙඩ ගැන හිතන කොට, අත්හදා බැලීමට මෙන් බීපු වෂවිස (බෙහෙත්) ගැන සිතන කොට, මම ද ඇවිදන රෝහලක් නූනේ කෙසේ දැයි මටම පුදුම හිතේ. වයසට යන කොට ඇතිවන විපර්යාස අත් හල විට, අදත් මම බටහිර වෛද්‍ය පරික්ෂාව තුලින් රෝගියකු නොවීම ගැන සතුටු වෙමි. එසේ වුවත් මෙම ක්‍රමය තුල බොහෝ නිරෝගී උන් ද රෝගීන් කිරීමට පරාස වෙනස් කර මුදලාලිලාට මුදල් ඉපැයීමට මග පාදා ඇති බව කියමි. මම සිප්රෝ නැමති වස ද මෑතක දී බීවෙමි. ඒ ගැන සිතන කොට, මගේ දොස්තර මුදලාලිට දිගටම තුන්වේළටම සිප්රෝ දී, මරණාසන්න වූ විට, සයනයිඩ් කරලක් හපා කෑමට දී සියලු රෝග නිවාරණය කිරීමට ඇත්නම් අපූරු යයි මට සිතේ.

ඊටත් වඩා වැදගත් වන්නේ, මෑතක දී වැටීමෙන් මගේ කකුලක් තුවාල වූ විට බටහිර වෙදකම මග නවතා ආයුර්වේද වෙදකම අත්හදා බලා ලබාගත් දැනුමයි. බටහිර වෙදකම අතරමග නැවතුවේ, තාවකාලික අපහසුතාවය ජීවිත කාලයටම වද දෙන අබ්බාගත වීමකින් ගැලවීමට ය. ඒ මා දන්න කියන අය ඒ මග ගිය නිසා ය. ආයුර්වේද වෙදකම කලේ සතියකි. එය ද ඵලක් නැති බව දැක සතියකින් අතහැරියෙමි. මට තිබුනේ ජීවිතය නසන ලෙඩක් නොවූ නිසා මම එය කාලයට භාර දී තිරිසන් සතුන් කරන දේ අණුකරණය කලෙමි. මගේ වෙලාවට, තවත් කෙනෙකු වැටීමෙන් එවැනිම රෝග ලක්ෂණ පෙන්නුවා. මට බෙහෙත් කල වෙදා ළඟටම ගියා. මම නොකල එක්ස්රේත් කලා. මට දුන් තැවීමත් පත්තුව ගෑමත් කලා. එයා, බැරි තැන තව වෙදෙක් ළඟට ගොස් බෙහෙත් ගත්තා. මම නිකම් ම මගේ තුවාලය සනීප කරගත්තා. එයා ද මගේ කීම අසා නිකම් ම සිටියා. අන්තිමට සනීප වුනා. මේ සුවිශේෂ අත්දැකීම තුලින් ඉතා වැදගත් දෙයක් දැන ගත්තා. ඒක මේ ලිපියට මුල්වීම කෙතරම් අගේ ද?

දැන් කාලය දිගේ ආපස්සට ගොස් මිනිසුන් කැලේ හිටපු මානවයන් ලෙස රෝදුක් නැති කිරීමට කල දේ ගැන කතා කරමු. අද ද, කැලෑ සතුන්ට හැම දේටම ඉන්නෙ තමන් විතරක් නිසා, ලෙඩට දුකට පිහිටක් ලැබෙන්නේ විශේෂ ශාකයක් හපා තමන් කර ගන්නා ප්‍රතිකාරයකින් පමණි. මෙවැනි ක්‍රියා බල්ලන්, බළලුන්, වඳුරන් කරන බවට සාක්ෂි බොහෝ ය. එනයින් මානවයා (කැලෑ සතුන් වගේ හිටපු මිනිස් ගොරිල්ලා) ද එවැනිම හැසිරීමකට වඩා යමක් නොකල බව, අද ද බහුතරයේ හැසිරීමෙන් තහවුරු වේ. එනම් ඉබේ හෝ සරල ප්‍රතිකාරයකින් සනීප නොවන ලෙඩක් රෝගයක් වැළඳුන විට හෝ වෙනයම් ශාරීරික හානියක් වී නම්, එහි අන්තිම ඵලය වන්නේ මරණයෙන් කෙළවර වීම නොවේ ද? මේ බව අදත් ජීවිතයේ කඩඉමක් ලෙස පෙන්වන වසර තිහක පමණ ජීවිත කාලය සනිටුහන් කරයි. මේ පදනම මත සිට බැලූ විට, එවන් ලෙඩක් රෝගයක් වැළඳුන විට හෝ වෙනයම් ශාරීරික හානියක් වී නම්, එය සුව කිරීම යනු තමන් ජීවත්වන කාලය වැඩි කිරීමක් නොවේ ද? මෙනයින් හින්දූන්ට "ආයූර්වේදය" වූ සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම, කොතරම් අරුත් බර ද?

මේ දැනුමේ මූලාශ්‍ර ගත්විට බහුතරය මහසම්මත මනු (සුමන, සමන්) දුන් බවට කියවේ.එවැනි උපතක් මේ දැනුමට ඇති බව අද ද තහවුරු වන්නේ, දැනුම භාවිතා කිරීමක් විනා වැඩීමක් කල හැකි කෙනෙකු නැති නිසා ය. සැබෑ තත්ත්වය නම් භාවිතා කරන්නන් තමන් කරන දේත් අගමුල පටලවා ගැනීමයි. ඇත්ත වෙනුවට නැත්ත යොදන්නන් ද බොහෝ ය.

මා ලියන ලිපි සියල්ලම එක්තරා පරමාර්ථයක් උදෙසා සැකසී ඇත. එනම් කියන දේ ගෙතීමෙන් තොරව ඇත්ත මත පමණක් ලිවීමයි. එතුලින් මා දකී නම්, ඒ කියන දේ එලෙසම දැකීම පමණක් නොව,  අද සිටින තැනට ආ හැටිත්, ඒ කෙසේ වූවා ද යන්නත් මනාව හඳුනාගත් බව පෙනෙනු ඇත. එතැනින් නොනැවතී, කියන දැනුමට වඩා ප්‍රබල, අද ලොවට සරිලන අළුත් දැනුමක් වුව ගොඩ නැගීමට හැකියාව දෙන බව කියමි. මේ මාතෘකාව යටතේ මා දෙන තොරතුරු මුළුමණින් ග්‍රහණය කලේ නම්, අද පවතින දරුණ වසංගත හමුවේ වඳවීමේ දොරටුව අභියස සිටින මිනිස් ජීවය රැකීමට හැකි අළුත් දැනුමක් බිහිකිරීම ඒකාන්තව කල හැකි යයි කියමි. සුපුරුදු පරිදි, මෙම මාතෘකාව මනාව අධ්‍යයනය කිරීමට නම් පෙර ලිපි තරයේ දැරිය යුතුයි. මේ මාතෘකාව යටතේ ආදි සිංහලයන් බිහිකල තවත් සුවිශේෂ දැනුමක කොටසක්, වල්මත් වී ඉබාගාතේ යන, උන්ගෙන් පැවතෙන්නන්ගෙ හිත සුව පිණිස මෙසේ අරඹමි.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.