Sunday 22 September 2013

හින්දූන්ට "ආයූර්වේදය" වූ සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම - දෙවන කොටස


අරුත් දීම


සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම අද පවතින සමාජ සම්මතය තුලින් බැලීම බරපතල අපරාධයක් නිසා, එතුලින් දෙන මුල් දැනුම ගැන පැහැදිළි අරුත් දීමක් අවශ‍‍්‍ය බව මගේ හැඟීමයි. අද වන විට මේ දැනුම ලෙස ගන්නේ කසාය අරිෂ්ට, කල්ක, පත්තු වැනි ලෙඩ සුව කිරීමට වෘත්තිකයන් දෙන පොතපතින් උපුටාගත් දේ නිසා, කොතරම් ඒ දැනුම පිරිහී ඇතිදැයි සිතේ.

ආයුෂ වැඩි කිරීම සඳහා සැකසුණ මේ දැනුම තුල, ලෙඩ රෝගවලට ප‍‍්‍රතිකාර කිරීම පමණක් නොව, ලෙඩ රෝග හැදීමෙන් වැලකීම, ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන තාරයක් ගොඩ නැගීම හා නිසි ලෙස අවතාරය බලගැන් වීම,  නීරෝගී ව ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් බිහි කිරීම, නීරෝගී බව රැකීමට අවශ්‍ය වත් පිළිවෙත් බිහි කිරීම, ඒ හා බැඳි සමාජ සම්මත ඇති කිරීම, නිසි ප්‍රතිකාර දීමට අවශ‍්‍ය පුද්ගල හා ද්‍රව්‍යමය සම්පත් බිහි කිරීම හා අවශ‍්‍ය තැන අතිරේක දැනුම දීමට මගක් පාදා දීම වැනි අංඟ සම්පූර්ණ දැනුම් පද්ධතියක් ඇත යි කීම නිවැරදි ය.

ඉහත කී ලෙඩ රෝගවලට ප‍‍්‍රතිකාර කිරීම ගැන සුළුවෙන් හෝ යම් අදහසක් ඔබට ඇතැයි සිතමි. එහෙත් සිංහලකම නොදන්නා සිංහලයන් සිටින සමයක, ඉතිරිය තේරුම් කිරීම සරල උදාහරණ මගින් මෙසේ දක්වමි. ලෙඩ රෝග හැදීමෙන් වැලකීම සඳහා සිංහලයන් දුන් දැනුම නිසා ඔබ කොතරම් ලෙඩ රෝග වලින් මිදී ඇත්දැයි බලමු. අපි පුරුද්දක් ලෙස කරන නෑම, ඇඟපත සේදීම, කෑමට පෙර අත සේදීම කොතරම් අපේ නිරෝගී බවට දායක වේ ද? එතකොට වලවල් වලට මල දැමීම, මලපහ කර සේදීම, වමත දකුණත වෙන් වෙන්ව භාවිතා කිරීම කොතරම් වැදගත් ද? ඒවා නොකරන සමාජයක සිටින මට, ඒ ගැන කීම ද කොතරම් අගයක් ඇති බව තහවුරු වීමකි. සිංහලයන් කන බොන විදිය, ඒ ඒ ආහාරයට උචිත දෑ තෝරා ගැනීම, සුදුසු ආහාර ලෙස වර්ග කිරීම, කෑම පිසීම වැනි දේ කොතරම් ලෙඩ දුක් මගහරී ද? ඒ බව පරකෑම ගෙන විඳවා ලත් අත්දැකීමෙන් වුව තහවුරු වේ. තව කොතරම් දේ මේ යටතේ කිව හැකි ද? කොතරම් දුර දිගට මේ දැනුම විහිදෙනවා ද යන්න දෙමව්පිය පොරොන්දම් තුලින් බිහිවන දරුවන් ගේ තත්ත්ව පාලනයෙන් තහවුරු වේ.

ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන තාරයක් ගොඩ නැගීම හා අවතාරය බලගැන් වීම ගැන මා ලියූ ලිපි තුලින් යම් අදහසක් ලැබේ යයි සිතමි.  සරලව කියනවා නම් ගත හා සිත (තාරය හා අවතාරය) දෙකම අපහසුතාවයට ලක්වීම ලෙඩ රෝග තුලින් වේ. එසේම සමහර ලෙඩ රෝග තාරයට හෝ අවතාරයට සීමා වූ ඒවා ය. මේ ලිපිය තාරය හා බැඳුනු කොටස ගැන කියන දැනුමට සීමා කරන්නේ කලින් ලිවූ, සිංහල "මානසික වෙදකම" හා "තිරිසන් උරුමය මැඩ මිනිස්කම බලගැන්වීම" ලිපිය තුලින්, අවතාරයට බලපාන ලෙඩරෝග සුව කිරීමට බිහිකල දැනුම අණාවරණය කල නිසා ය. ඒ ප්‍රතිකාර විදි තුලින් ලෙඩ රෝග සුව කරනවා පමණක් නොව, හැදීම ද වලක්වන ආකාරය හැදෑරූ විට, අවතාරය පිළිබඳව ද මනා දැනුමක් තිබිය යුතු බව තහවුරු වේ. මෙම උපක්‍රම තුලින් ලෙඩාගේ පමණක් නොව බලන අයගේ ද අවතාර බලගැන්වීම කරන්නේ තමන්ගෙ අනුදැනුම ද නැතිවය.

සිංහලයන් ජීවත් වූ පරිසරයත්, සමාජ සම්මතයනුත් නිසා, තාරික වර්ධනයට අවශ්‍ය ද්‍රව්‍ය සම්පත් ලැබීමත්, අවතාරික සුවය පතා ගොඩ නැඟුණු සමාජය තුල බිහි වූ ගතිපැවතුම් නිසා ලැබූ සුවයත්, අද සමාජය තුල සිට දකින විට සුරලොවක් ම විය යුතු ය. පරිසරයත්, අනෙක් මිනිසුන්ගේ චරියාවත් අපේ නිරෝගී බවට කොතරම් බලපානවා ද යන්න, අද පවතින විෂම ලෝකය තුලින් පැහැදිලිවම තේරුම් ගත හැක.

ආයුෂ වැඩි කිරීම සඳහා සැකසුණ මේ දැනුම රැකගෙන ඉදිරි පරපුරවලට දීමට දැරූ උත්සාහය ද මනාව දැකිය හැක. මේ දැනුම කොටස් කර, ඒ ඒ කොටසට අයත් දැනුම පවුල් ගත කර ඉදිරියට ගෙන නොගියා නම්, මෙතෙක් කල් නාමිකව හෝ නොපවතින බව සක් සුදක් සේ පැහැදිලි ය. මෙහි දී දකින ඉතා වැදගත් සිංහල ලක්ෂණය නම්, ප්‍රතිකාර කිරීම සම්පත් ලබා ගැනීමට නොව, පොදු යහපත උදෙසා ම  කිරීමයි. එමගින් දැනුමේ අනන්‍යතාවය මෙන්ම සමාජයේ හොඳ හිත ද රැකිනි. නුසුදුස්සන් අතට දැනුම යාම ද ඉන් වැළකුනා. ඒ අතින් අද සමාජය කොතරම් උඩුයටිකුරු වී ඇත්දැයි පෙනේ. සිංහලයන්ගේ හැසිරීම තුල, දැනුම මුල්තැන ගත් බවත්, එය ගණුදෙණු කරන වෙළඳ භාණ්ඩයක් නොවූ බවත් තහවුරු වේ. මෙය දැනුමේ මුල් හිමි කරුගේ ගතිගුණ පිළිබිඹු කරයි.

ඉහත කී දැනුම දුන් මුල් හිමි කරු, අවතාරික හැකියාවන් ප්‍රයෝජනයට ගෙන, අවශ්‍ය තැන අළුත් දැනුම දීමට ද විශේෂ මගක් දී ඇත. අද බොරුකාරයන් ඒ මගින් ලැබුවා යයි කියමින් අප්‍රභංස කීමට මුල් වූයේ ද මෙම අවතාරික මගයි.

තමන්ගේ රෝගීබව හඳුනාගන්නේ තමන් හෝ ළඟම නෑ මිතුරන් වීමත්, ප්‍රථමයෙන් අත් බෙහෙත් හෙවත් සුළු ප්‍රතිකාර කිරීමත්, අනතුරුව මනා දැනුමැති අයකුගෙන් ප්‍රතිකාර ගැනීමත් සිදු වීම තුල මේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම කෙතරම් විශාල ද යන බව කියයි. එසේ ම, බරපතල හෝ මාරක හානි වූ විට, මනා දැනුමැති අයකුගෙන් ප්‍රතිකාර ගැනීම අනිවාර්ය අංඟයක් වන්නේ, මරණය සමඟ සෙල්ලම් කිරීම සිංහල පුරුද්දක් නොවන නිසා බව කිව හැක.

"ආයු වැඩිකරන විදිය" දෙන දැනුම යනු මොකක්දැයි තේරුම් ගන්න උත්සාහ කරන කොට, ඊට අන්තර්ගත දැනුම තුල ඇති සුවිශේෂ බවක් ඇත. එනම් මිනිස් ජීවය පමණක් නොව අන් සියලු ජීවී කොටස් ද මනාව හඳුනා ගැනීමයි. එම දැනුම මිනිසාගේ ආයු වැඩි කිරීමට යොදන ආකාරය තුල, මිනිසාගේ ඒකීය ජීව ස්වරූපය නොනසා පවත්වා ගැනීම අපූරු ය. එනම් ප්‍රතිකාර තුලින් තමන්ට හානියක් නොකර තමන්ට ලෙඩ කරන බාහිර සාධක මුලුමණින් ඉවත් කිරීමයි. මෙලෙස සනීප වූ විට තාරයට හෝ අවතාරයට හානියක් නොකිරීම ඉතා වැදගත් ය.

ලෙඩ රෝග හඳුනාගැනීමේ දී හා ප්‍රතිකාර කිරීමේ දි, මිනිස් ජීවය බිහිවූ ආකාරයත්, පවතින ආකාරයත්, එය ක්‍රියාත්මක වන ආකාරයත් ගැන මනා දැනුමක් ඇති බව ද තහවුරු වේ. මෙහි දී, මිනිසා යනු තිරිසනුන් ලෙස ජීවත් වූ ජීවී කොටසක් බව මතක තබා ගැනීම වැදගත් ය. එනම් බාහිර දායකවීම් වලින් තොරව තම නිරෝගී පැවැත්මට අවශ්‍ය ස්වයං නිරෝගීකරණය වීමේ හැකියාව මිනිසුන් සතු බවය. ආයුෂ වැඩි කිරීමේ දැනුම තුලින් මෙම ස්වභාවික හැකියාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම නිසා එම හැකියාවේ වර්ධනයක් වීම අගයැති දෙයකි. ඒ නිසා දුබලකම නසා, රෝගවලට ප්‍රබල ප්‍රතිරෝධයක් ගොඩ නැගීම ඇති වේ. රෝගීවීම වැලකිය නොහැකි තැන, නැවත රෝගීවීම වැලකීම කෙතරම් වැදගත් ද?

බිහි වූ කාලය ගැන ද, ඒ කාලයේ මිනිසාගේ රෝගාබාධ ගැන ද මනා පසුබිමක් මේ දැනුම තුල ගැබ්වී ඇත. එනම්, අද ඉන්න මිනිසාගේ ජීව කාලය අඩු කරන ලෙඩ එතරම් පොදු දෙයක් නොවීමයි. නැති ලෙඩට ප්‍රතිකාර අනවශ්‍ය බව පැහැදිලි ය. එහෙත් පූර්ණ දැනුම ග්‍රහණය කල විට, එම දැනුම යොදා, ඕන ලෙඩකට ප්‍රතිකාර සෙවිය හැක. අද වන විට ඉන් ඉතිරිව ඇත්තේ අමතක කල නොහැකි කොටස පමණක් බව මතක් කරමි.

මෙම දැනුම තුල ඇති ප්‍රතිකාර කරන විදි, සියලු රෝග තත්ත්වයන්ට හා සියලු මනුෂ්‍යයන්ට ගැලපෙන සේ සැකසීම නිසා අනවශ්‍ය අතුරු ආබාධ රහිත ය. ප්‍රතිකාර සඳහා භාවිතා කරන සියලුම ද්‍රව්‍යමය හා බුද්ධිමය උපක්‍රම පවතින පරිසරය හා බැඳී පැවතීම නිසා, එතුලින් රෝගියාගේ ගති පැවැතුම් තුලින් සිදුවිය හැකි ගැටුමකින් තොරව සමබර බව රැකීම වැදගත් ය. නිපදවන අපද්‍රව්‍ය වුව පරිසරයට හානියක් නැති නිසා තවත් ආපදා බිහිවීමට ඉඩක් නැත.

ඉතාම වැදගත් දෙයක් වන්නේ මේ ප්‍රතිකාර සඳහා යොදාගන්නා දෑ වලින් බහුතරය සිංහල රටට ආවේනික වීමයි. ව්‍යාප්තිය සමඟ සිංහලයන්ගේ රටේ කොටසක් වූ දඹ දිවට ද සමහර දෑ විහි දී ඇත. මෙතුලින් දකින දෙයක් නම්, ඒවායේ ගුණාංඟ විවිධ ප්‍රතිකාර සඳහාම බිහිවීදැයි යන පැනය යි. ජීවී වර්ග ගත් කල, ඒවාටම ආවේණික පැවැත්ම උදෙසාම කැප වූ බිහිවීම් ව්‍යූහයක් පැවතුන ද, මෙවන් බාහිර කාර්යයක් උදෙසා නිපදවීමක් දැකීම අරුමයකි. එහෙත්, බහුතරය සියලු ජීවීන්ට පොදු වූ "දෙයාකාර හැසිරීම" මගින් නිරූපණය වන ලෝක (විශ්ව) ස්වභාවය මත භාවිතා වුන බව කිව හැක. ජීවයේ නැවත නැවත ඇතිවීමත්  නැතිවීමත් විග්‍රහ කිරීමට ඉතා වැදගත් පදනමක් වන මේ ස්වභාවයේ "දෙයාකාර හැසිරීම" ගැන පසුවට කීමට කල් තබමි. කෙසේ වෙතත්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගතිගුණ බිහිවීම තුලින් වෙනසක් වුව ද, සියල්ල ගත් කල, අඩු වැඩි වීමක් නොවී උදාසීන පරිසරයක් පවත්වාගෙන යාමට දායක වන ලක්ෂණය මෙම "දෙයාකාර හැසිරීම" තුලින් අදහස් කල බව කියමි. මෙය කොතරම් වැදගත් ද කියනවා නම්, ජීවය යනු එතුලින් බිහි වූ දෙයක් ලෙස දකිමි. මේ පාරිසරික පදනම ඉතාමත් සූක්ෂම ව යොදා ගැනීමක් සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" දෙන දැනුම තුල ගැබ් වී ඇත. මනාව අරුත් ගැන්වීමට සරල උදාහරණයක් ලෙස, ප්‍රතිවිරුද්ධ ගතිගුණ ඇති ජීව කොටස් යොදාගෙන, බොහෝ රෝග සුව කිරීමට අවශ්‍ය ස්වාභාවික ලෙඩ දුක් නසන ජීව උපාංඟ බලගැන්වීම පෙන්විය හැක.

මිනිසුන් ලෙස බිහි වී, මිනිස්කමට නොගැලපෙන ලෙස හැසිරීම තුලින් වන අනර්ථයන් වැලකීම උදෙසා බිහි වූ ලෙඩ දුක් ද ඇති බව තහවුරු වේ. මේ ගැන මනා අවබෝධයක් සිංහලයන්ගේ "ආයු වැඩිකරන විදිය" තුලින් දකිමි. ඒවාට ප්‍රතිකාර ලෙස ප්‍රබල සමාජමය නීතිරීති මගින් විසඳුම් සෙවීම මගින්, එවැනි බිහිවීමට දායක වූ අවශ්‍යතාවයන් රැකෙන ලෙස මේ දැනුම සීමා කිරීම නිසා, දැනුම දුන් අය, ජීවීන්ගේ බිහිවීම මෙන්ම පැවැත්ම ගැන ද, එතුලින් එළි දකින සම්මතය ද රකින ආකාරයට මෙම දැනුම ගොඩ නගා ඇත. පැහැදිලි කිරීමක් ලෙස මෙය කියමි. දරුවන් බිහිකිරීමට සීමා වූ අඟපසඟ, චාරයක් නැතිව යොදවන විට නානා ප්‍රකාර ලෙඩරෝග වලට බිලිවීම, "ආයු වැඩිකරන විදිය" ගැන කියන දැනුමේ වැදගත් තැනක් නොගැනීම තුලින්, එවැනි දෑ වැලකීමෙන් තව තවත් ඒ පැත්තට ම බරවීමේ ප්‍රවණතාවය මගහැරීමක් දකිමි.  මෙහි දී, ජීවය බිහිකිරීම තුල, ඊට එරෙහි වන්නන් රැකීමක් නොව නැසීමක් වන අයුරු පරිසරය සැකසී ඇති බව කියමි. උදාහරණ ලෙස තාරයට හානියක් වේ නම් එය මරණයෙන් කෙළවර වන ලෙස පරිසරය සැකසී ඇති බව, එවන් හානියකදී, පැසවා ඔඩු දුවා පණුවන් දමා නැසෙන තැනට වැඩ සිදුවීම තුලින් තහවුරු වේ.

අද ලෙඩරෝග ලෙස හඳුන්වා, වස විෂ දී ලෙඩරෝග දෙගුණ තෙගුණ කිරීමට දායක වන සමහර තාරික හා අවතාරික අපහසුතා ගැන දක්වා ඇති කරුණු ගත් කල, අපේ ජීවත්වීම හා පැවැත්ම ගැන මනා දැනුමක් තිබුන බව තහවුරු වේ. එනම්, ලෙඩ දුක් හැදුනාම දකින ගතිගුණ පෙන්වන ජීවය තුලින් ම ගොඩ නැගෙන ක්‍රියාවලි වල පරමාර්ථය ජීවත්වීමට පරිසරයෙන් එන බලපෑම් වලට අනුරූපව හැඩගැසීම බව දැකීම, කොතරම් දියුණු පදනමක මේ දැනුම ඇත්දැයි සනාථ කරයි. සරලව කියනවා නම්, කාලගුණික, පාරිසරික වෙනස් කම් වලට ඔරොත්තු දීමට කරන තාරික වෙනස්කම් මේ යටතේ විග්‍රහ  කල  හැක.

මේ දැනුම තුලින් ඇවිදින මළමිනී රැකීමක් නොව, නොකඩවා පවතින, නැවත නැවත බිහිවීම හීන නොකරන ප්‍රතිකාර අන්තර්ගතවීම නිසා, මිනිස් වර්ගයාගේ පැවැත්මට, අද මෙන් හානි නොවීම තුලින් එහි සැබෑ අගය හෙළි වේ. සිංහලයන්  සතු ඉතා වටිනා උරුමයක් නිසා අරුත් දීම මෙතැනින්  හමාර කරමි.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.