Thursday 12 September 2013

රහත් (රහස් දත්) වීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට විශේෂ හැකියාවන් තියුණු කිරීම


 හැඳින්වීම:


සුරංඟනා කතා කියවන අය, මමත් ඒ වගේ කතා ලියනවා යයි සිතන බව ඇසුවම, මම ලියන ඒවා තේරුම් ගැනීමට අවශ්‍ය හැකියාවන් කිහිපයක් වඩා ගන්න හැටි කියන්න හිතුනවා. අනුන් කියපු දේ එලෙසම කර උගතුන් වූ නිසා, තමන් කල දේ ගැන අවබෝධයක් ලබාගැනීම අපහසුයි. අනුන් කියපු දේ එලෙසම කියන ගිරවා බුද්ධිමත් නැහැ කිව්වට, ඒකම කරන මිනිසුන් බුද්ධිමතුන් වීම ආශ්චර්යයක්. ඒ ආශ්චර්යමත් බුද්ධිමතුන් (විද්වතුන්) පසු පස ගොස් උන් කියන දේ කර, කෙහෙල් ගහට ඇන හොට පටලවා ගෙන, යන එන මං නැතිව විහින් වල කපාගත් මෝඩ දේශපාලුවන් නිසා, සිංහල උන්ට රටක් නැතිවෙන තැනට ඇවිල්ල ඉන්න මේ මොහොතේ, මම කියන දේ ඒ අතිනුත් ප්‍රයෝජනවත් වේවි. රට එකසේසත් කලා ය කියන දුෂ්ඨ ගාමිණී උන්නැහේ, සිංහල උන් ජීවිත පුදා ලබාගත් ජයග්‍රහණය දැක, එයින් උදම් වී දෙමළග්‍රහණයෙන් (විජයග්‍රහණයෙන් - අනුන් ගත් ජයට හොර ඔප්පු ලියාගැනීම) රට දියුණු කරන්නට පන්සිල්, පල්ලි, පිල්ලි කෝවිල් අටවල, රටේ තිබුනු සියලු සම්පත් ඉන්දියානු සේවකයන්ට ගෙවා, උතුරේ හිටි  සිංහල ජාතිකයන්ට වල කපා නැත්තට නැති කලේ මීට වසර දෙදහසකට පමණ පෙර බව අපි අසා ඇත්තෙමු. මෑතක දී, සුදු අධිරාජ්‍යයේ ලංකාණ්ඩුකාර බ්‍රවුන්රිග් පරපුරේ වර්තමාන පුරුක් ලංකාණ්ඩුකාර තුමා ද,  එවැනිම විජයග්‍රහණයක් සිංහලයන්ට උදා කිරීමට ගත්තේ යුද්ධය දිනා වසර කිහිපයකි. එදා ඉන්දියානුවන්ගේ තැන, අද චීනුන් හා මූසලයන් කෙල පෙරමින් ගනිති. දැන් සිංහලයන්ට වැලේ වැල් නැතිවීමට ආසන්නය. ඒත් එතුමාට නමස්තේ, පූජ්‍යස්තේ කියන සිංහලයන් එමට ය. ඒ අතරේ පරාජයේ සංකේතය වන, අතීත කෙරුවාවෙන් කරන්න පුළුවන් දේමනාව දැන දැනත් සිංහ පටලවා ගත් වර්තමාන පුරුක් තුමාට ද නමස්තේ, පූජ්‍යස්තේ කියන සිංහලයන් සිටිනවා. ඒ මදිවට ලේ පෙරාගත් සංකිලිවංශලා දෙකට බෙදිල මරහඬ දෙද්දිත්, උන් පස්සෙත් යන සිංහලයන් සිටිනවා ලු. ඒ මදිවට, මේ වහන්සේලා පසු පස යන ගෝල බාල පුරුක් පණුවන් පස්සෙත් යන සිංහලයන් සිටිනවා ලු. ඒ නිසා ඉහත කී සිංහලයන්ටත්, තම හැකි බැරි කම් වටහා ගැනීමට මම ලියන දේ වැදගත් වේවි. නැත්නම් එදා උතුරේ වුන දේ අද දකුණේ වීම දෙවියන් වත් නොනවත්තනු ඇත. ඒ මැරෙන්නට දඟලන උන් බේරා ගැනීම ඵලක් නැති නිසාය. පරාජිතකම මරණයෙන් කෙළවර වෙන ස්වාභාවික සිද්ධාන්තයකි. එය වැලකීමට නම් සැබෑ දැනුම අවශ්‍ය වේ. මේ ලිපිය ඊට (සැබෑ දැනුම ලබාගැනීමට) උදව් වේ යයි සිතමි.

අනුන්ගෙන් දැනුම ලබා ගැනීම:

අද අධ්‍යාපනය ලබන සියල්ලන් ම තම දැනුම ලබන්නේ මෙසේ ය. ප්‍රශ්ණයකට ඇත්තේ ඔවුන් දැනුම යයි දෙන්නේ ඔවුන් ගේ දෙයක් නොව අනුන්ගේ දෙයක් නිසා ය. ඒ නිසා දැනුමැතියකු නොව පරපෝෂිත දැනුමැතියකු දැනුම දීමක් ය. තමන්ගේ නොවන දෙයක් තවෙකෙකුට දෙන විට, එය මොකක් දැයි සරල උදාහරණයකින් කියමි. රියදුරු පුහුණුව ගැන කියන පොතකින් වාහන එළවීම උගන්වන, රියදුරු වැඩ නොදත් උපදේශකයකු ගමු. ඔබ ඔහුගෙන් ඉගෙන සැබෑ මෝටර් රථයක් එළවීමට උත්සාහ කලොත්, කෙළවර වන්නේ රෝහලේ හදිසි අනතුරු අංශයේ බව සහතික ය. එසේ නම් සැබෑ මෝටර් රථයක් එළවීමට උගත යුත්තේ එවැනි රථයක් හසුරුවා අත්දැකීම් ලැබුවෙක්ගෙන් ය. ඔබ අද වන තෙක් එවැනි අය කී දෙනෙකුගෙන් දැනුම ලැබුවා ද? නොඑසේ නම් ඔබ ලැබූ දැනුම ද වචන ගොඩක් මිස භාවිතා කල නොහැකි එකක් වේ.

මම මේ තුලින් කියන්නේ එසේ අනුන්ගෙන් අසාගෙන නැවත කීමක් නොව, මගේ අත්දැකීම් හරහා තහවුරු කල දේවල් ය. සිංහල වචන තුලට පරිවර්තනය කර ලියන්නේ කිසිදු භාෂාවකට අයත් නැති, මගේ හැඟීම් තුලින් තහවුරු වන තම උත්සාහයෙන් ම සොයා ගත් දැනුමයි. සැබෑ දැනුමේ උපරිමයට ගිය විට,  එය කියන අහන අයට නොබැඳි, වචනවලට සිර නොවූ, ස්වාභාවික දත්ත එකතුවක් වේ. එවැනි තත්ත්වයකට ළඟාවීම, තවත් කෙනෙකු පසුපස යාමෙන් කල නොහැක. මේ විදියට (කෙනෙකු පසුපස යාමෙන්) අනුන්ගෙන් යැපෙන්නෙක් වේ. කුඩා දරුවකු වැඩෙන කල දෙමාපිය රැකවරණය අත්‍යාවශ්‍ය වේ. එහෙත් වැඩිහිටියකු වූ විට, දෙමාපිය රැකවරණය තමන්ගේ වගකීමක් වී පැති මාරු වේ. එනයින් දැනුම ලබන්නා, එම දැනුම නැවත දෙන්නෙකු කල යුතු ය. දැනුම පැවතීමට නම් මෙම පැති මාරුව අත්‍යාවශ්‍යයි. මෙම ක්‍රියාවලිය සාර්ථක වීමට නම්, දැනුම ලබන්නා එම දැනුම මුළුමනින් ම ග්‍රහණය කල යුතුයි. එසේ කිරීමට ගතයුතු පියවර ගැන කීම මගේ අරමුණයි.

මේ විදියට දැනුම ගැනීමෙදි දෙන කෙනාගේ අත්දැකීම් අන්තර්ගත නොවීම තුලින්, ලබන්නාට එම තොරතුරු වචන තුලින් නොලැබෙන නිසා, අවබෝධ කරගත් ප්‍රමාණය අඩු වෙනවා. ලියපු වචන තුලින් දැනුම කෙටි වීමක් වෙනවා. වචනයක් දත් පමණින් මුළු දැනුම ම නොලැබෙන බව මේ ලිපිය තුලින් හදාරමු.

තමන් විසින් ම දැනුම ලබා ගැනීම:

හැම ජීවියෙක් ම ජීවත්වීම හා බැඳුන බාහිර දැනුම මුලින් ම ලබා ගන්නේ තම දෙමාපියන්ගෙන්. පසුව දෙමව්පියන් ගේ මරණය හෝ ඈත්වීම නිසා, ජීවත්වීම තමන්ගෙ ම වගකීම වුනාම ඊට අවශ්‍ය දැනුම අත්හදා බැලීම තුලින් ලබා ගන්නවා. මේක ජීවත්වීමට අවශ්‍ය දේ ලබාගැනීමටත්, පැවැත්ම රැකීමට දරුවන් බිහි කර ඇති දැඩි කිරීමටත් සීමා වෙනවා. එහෙත් මිනිසුන්ට, ඊට වඩා දුර දිග දැකිය හැකි, ජීවිතයට බලපාන ප්‍රශ්ණ විසඳිය හැකි බාහිර දැනුමක් අවශ්‍ය වෙනවා. ඒක හැම දෙමව්පියන්ටම බැරි දෙයක් නිසා, තෙවන පාර්ශවයක පිහිට පතනවා. මේ තෙවන පාර්ශවය දෙමව්පිය උරුමයට නොබැඳුන නිසා, ලබන දැනුම හොඳ හෝ නරක පරමාර්ථ තුලින් වීම, අද සමාජය තුලින් තහවුරු වෙනවා. මෙම තත්ත්වය හමුවේ තමන් විසින් ම දැනුම ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. මම අදහස් කලේ යමෙක් ලියපු කියපු දේ තුලින් බලා තම උත්සාහයෙන් එතුල ගැබ් වූ දැනුම තහවුරු කර ගැනීම නොව, වෙන කෙනෙක් නොකියපු නොදන්න දැනුම සොයා ගැනීමයි.

තමන් විසින් ම දැනුම ලබා ගැනීමට යන විට, වෙන බාහිර ආධාර උපකාර නැති වෙනවා. එසේ ලබාගත් දැනුමේ ස්වභාවය මෙන්ම සත්‍යබව තමන්ටම අගැයීමට සිදුවෙනවා. එවිට තමන්ට ඇත්ත ලෙස පෙනෙන දේ වෙන කෙනෙකුට එසේ නොවෙන්න පුළුවන්. එවන් තත්ත්ව යටතේ කෙසේ තමන් දත් දේ ගැන ඇත්ත නැත්ත සොයන ආකාරය මේ ලිපිය තුල පහල සඳහන් කරමි.

කලින් කී ලෙස යම් දැනුමක් තියෙනවා නම්, ඒ දැනුම අදාළ වන ක්‍රියාවලිය ගැටළුවක් අඩුවක් නැතිව පැවසිය හැකිවීමත්, ක්‍රියාවන් තුලින් පෙන්වීමත් කල හැකි විය යුතුයි. තමන් විසින් ම දැනුම ලබා ගැනීමට නම් ඊට අදාල පසුබිම තම අත්දැකීම විය යුතුයි. මේ සඳහා බොහෝ කාර්යයන් තනිවම කර, සාර්ථකව එම කාර්යයන් කල හැකි පමණට ළඟාවිය යුතුයි. මේ සඳහා තම ඉලක්කය විය යුතු වන්නේ තමන් නොදන්න දේ මනාව හඳුනා ගෙන ඒවා දන්න දේවල් කිරීමට අවශ්‍ය අවබෝධය ලබා ගැනීමයි.

භාෂාව හා උරුමය තුලින් දැනුම ලබා ගැනීම:

භාෂාව යනු ශබ්ද සංකේත එකතු කර වචන හදා ඒවාට අරුත් දීමයි.  මෙහි අවම මට්ටම වන්නේ වචනය ශබ්ද කිරීමට හැකිවීමයි. ඇත්තටම ඒක කිසිම දැනුමක් දෙන්නෙ නෑ. ඕනම භාෂාවක ඕන වචනයක් ශබ්ද කල හැකි වුව ද තේරුම නොදැන ඵලක් නැත. එසේම උපතත් සමඟ දෙමව්පිය-සමාජය තුලින්, විවිධ හැසිරීම් තුල ගැබ් වූ දැනුම ලැබෙනවා. මෙහි දී, අප තිරිසන් සතුන්ගෙන් කොතරම් ඈත් වෙනවා ද යන්න දැන ගත යුතුය. මේ සඳහා තිරිසන් සතුන් වර්ගීකරණය කර, ඒ ඒ සතාට ආවේනික ක්‍රියාවන් හඳුනා ගෙන, තිරිසනුන්ට පොදු හැසිරීම් රටාව හඳුනා ගත යුතු ය.

අප සතු හැකියාවන් ගැන බැලූ විට, අපේ බොහෝ හැකියාවන් අපට ආවේනික දේ ලෙස නොසැලකිළිමත්ව ගැනීම වැරදි ය. ඒ අනුව ගත් කල, අප සතු කිසිදු හැකියාවක් අපේ ක්‍රියාවක ඵලයක් නොවන බව ග්‍රහණය කල යුතුය. එසේ ම, අළුත් හැකියාවක් පුරුදු වීම කොතරම් අමාරු ද යන්නත් දැන ගැනීම වටී. මේ ගැන කියන කොට, මුහුණ කට සේදීම, නෑම, කෑම වැනි ආවේනික ක්‍රියාවන් මෙන්ම අතැඟිලි වෙන වෙනම සෙලවීමට හැකිවීම වැනි සුළු යයි සිතන දේ ද, තිරිසනුන් ගත් කල කොතරම් අමාරු ක්‍රියා දැයි අවබෝධ කරගත යුතු ය.

භාෂාව හා උරුමය ගත් කල, නිරන්තර භාවිතය නිසා ඒවායේ ඇති අරුත් සුන් වී, වචන කීම හැඟීමකින් තොර වේ නම්, තමන් සතු දැනුම ගිලිහී ඇති බව කියයි. එවිට හිතෙන විදියට හෝ කවුරු හරි කියන විදියට අරුත් වෙනස් කෙරේ. එය හරියට පාර නොදැන ගමනක් යන විට, අන් අය කියන කියන පැත්තට යෑම වගෙයි. අද සිංහලයන් සතු එවැනි දැනුම ගිලිහී ඇති බව ඔවුන් කරන කියන දේ ගැන ඔවුන්ගේ හරි අවබෝධයක් නැති කමින් තහවුරු වේ. මෙසේ තොරතුරු කීවේ, දැනුම යනු වචන ශබ්ද කිරීම නොව ඒවා සංකේතවත් කරන සැබෑ අරුත් දැන ගැනීමටයි. රහත් වීම ද, අරුත් නොදැන ළඟාවීමට උත්සාහ කිරීමක් වීම කොතරම් දුබල ක්‍රියාවක් දැයි අප දැන ගත යුතු ය.

භාෂාව හා උරුමය තුල ගැබ් වූ දැනුම ගත් කල, එය චිරාත් කාලයක් එකට ජීවත් වූ පරම්පරා සියල්ලම නියෝජනය කරන එකතුවකි. එතුලින් වචන වල අරුත් පමණක් නොව, විවිධ වචන හා වැකි තුලින් මෙන්ම ක්‍රියාකාරකම් තුලින් පෙන්වන්නේ කාලාන්තරයක් තිස්සේ  එම දැනුම පැතුරුණු ආකාරයයි. එසේම බාහිර එකතුවීම් නිසා වූ විකෘර්ථි වීම් ද පෙන්වයි. අමතරව, බෙදී යාමක් වී නම් ඒ කෙසේ කවදා වූවාදැයි කියන තොරතුරුද පෙන්වයි. මේ ගැන ජාතීන් බිහිවීම ගැන කියන විට වැඩි විස්තර දෙමි.

වචන වල සීමාවට පිටින් ඇති දැනුම ලබා ගැනීම:

ඉහත කී, තමන් විසින් ම දැනුම ලබා ගැනීම යටතේ වචන වලට අරුත් දෙන දැනුම ග්‍රහණය කල පසු, ඉන් එහා ඇති ක්‍රියාකාරකම් වලට අදාල දැනුම ලබා ගැනීම වචන භාවිතයෙන් බැහැර ව සිදුවේ. මගේ ලිපිවලට මුල් වන දැනුම සැබැවින් ම වචන තුලින් කැපී කෙටී වී යාමක් වේ. එවැනි දැනුම සිංහල වචන තුලින් කීමට උත්සාහ කරන විට පරිවර්තනය කල යුතු ය. ඇත්තට ම, මේ ලිපියට මුල් වූයේ ද වචන තුලින් කෙටි හා සරල වී, කවුරුත් දන්න වචන ගොඩක් වීම ඵල රහිත නිසා, මා සිංහල වචන තුලින් කීමට උත්සාහ කරන දැනුමේ සැබෑ ස්වරූපය පෙන්වීම සඳහා අවශ්‍ය හැකියාවන් බිහි කිරීමට උදව් කිරීම ය. අන්තර්ගත දැනුමේ බොහෝ කොටස් වචන වල සීමාවට පිටින් ඇති දැනුම නිසා ඒ ගැන පැහැදිලි කල යුතු ය. ඊට අමතර ව අරුත් නොදත් වචන වල මුල් අරුත් ද ගොඩ නැගිය යුතු ය. මෙසේ වචන තුලින් දෙන දැනුම ග්‍රහණය කල විට ඉතිරිය වචන වලට එහා ගිය දැනුමයි. වචන වලට සීමා වූ දැනුමෙන් මුහුකුරා නොගියෙකුට, වචනයට එහා දැනුමක් නොපෙනේ. එහෙත් වචන වලට සීමා වූ දැනුම ප්‍රත්‍යයක්ෂ වූ විට, අප නොදන්නා දේ කොපමණදැයි කියනවා නම්, වචන වලට සීමා වූ දැනුම පොදු සම්මතයට සීමා වූ සරල දේ නියෝජනය කරනවා යයි කිව හැක.

උදාහරණ ලෙස, "දරුවකගේ බිහිවීම" යන වචන දෙකට කොටවූ එක් එක් වචන වලින් ගත් දැනුම, කිසි සේත් දරුවකු හැදී වැඩී බිහිවීම ස්වාභාවික ව සිදුවන ක්‍රියාවලි තුලින් දිස්වන දැනුම හෙළි නොකරයි. සැබැවින් ම වචන දෙකට කොට වූ දැනුම මුළු දැනුමෙන් සොච්චමකි. එසේ වචන තුලට සීමා වූ දැනුම හා වචනයට පරිබාහිර දැනුම හඳුනා ගැනීම සඳහා ඇති එකම මග ද තමන් ම ප්‍රත්‍යයක්ෂව තේරුම් ගැනීම ය. මගේ උත්සාහය එම උත්සාහයට අවශ්‍ය හැකියාවන් ගැන පැහැදිළි කිරීමයි. මේ දැනුම තම උත්සාහයෙන් පමණක් ලැබෙන දෙයකි. ඒ නිසා යමෙක් මේ දැනුම සොයයි නම්, එම අවස්ථාව උදාකර ගැනීමට විශේෂ හැකියාවන් ගේ වැඩිදියුණු කිරීමක් කල යුතුම ය.

නොදැන ගියොත් අතරමං වන්නා සේ, සීමාවලින් පිටතට යන විට, කරන දේ ගැන මනා අවබෝධයක් නොලැබ උත්සාහ කලොත් අතරමං වීම, එලක් නැති වීම හෝ ඊට වඩා බරපතල දෙයක් වුව සිදුවන බව අපේ අත්දැකීම් තුලින් දිස් වේ. කුඩා කල දෙමාපියන්ගේ පිහිට ලැබ ගැලවුන ද, මේ අවස්ථාව ද එවැනි අභියෝග වලින් පිරුනු කලකි. තනියම උත්සාහ කර අතරමන් වූවන් බොහෝ ය. හරි ඉලක්කයක් නොමැති විට, යන පාර වුව වරදින්නා සේ තමන් කරන උත්සාහය ද ආපිට ආ හැක. එහෙත් මිනිස්කම ආභරණය වූවෙකුට නියම මග දිස්වෙන බව මගේ අත්දැකීමයි. එවැන්නන්ට මේ ලිපිය වැදගත් වේ.

තමන් ලබා ගන්න දැනුම දියුණු/තියුණු කර ගැනීම:

 කියන දේ එසේම කීම අද ඇති අධ්‍යාපනය තුලින් ලබන එකම හැකියාවයි. මෙම ක්‍රියාව සැබැවින් ම දැනුම සොයන මග අහුරා දමා නොමග යැවීමකි. එම තත්ත්වය යටතේ දැනුම යනු එය ම යයි සිතන අය බොහෝ ය. අපට අවශ්‍ය වන්නේ ජීවත්වීමට අවශ්‍ය දැනුම මෙන්ම අප නොදත් දේ දැන ගැනීම ය. ඒ සඳහා කිසි සේත් අධ්‍යාපනය තුලින් ලබන දේවල් උදව් නොවේ. එසේම අප සතු දැනුම තියුණු හෝ දියුණු කරන හැටි නොදැන එයින් ලබන ඵල ප්‍රයෝජන ද අඩු ය.

මෙහි දී දැනුම දියුණු/තියුණු කරන ආකාරය ගැන යමක් කීම මගේ අරමුණයි. උදාහරණයක් ලෙස තමන් ගැන සියලු දෙනාම යම් තරමක දැනුමක් ඇති බවත්, ඒ තුලින්, අප කන, බොන, අඳින, පළඳින දෑ ගැන අපට හොඳ අවබෝධයක් ඇතැයි සිතමු. දැනුම සෙවීමේ දී වුව, නොදැන්න තැනකට ගොස් එතැන සිට තවත් නොදැන්න තැනකට යන විට අතරමං වන්නා සේ, තමන් හරියට නොදන්න, එහෙමත් නැත්නම් අනුන් දුන් දැනුම පසුපස ගිය විට හිරවීම, පැටලීම නිසා අනර්ථයක් ම වන්නේ ය. ඒ නිසා හොඳට දන්න තැනකින් පටන් ගත යුතු ය. එනම් ඉහත කී තමන්ට රහසක් නොවන දැනුම ඇති තමන්ගෙන් ම ඇරඹීම සුදුසු නොවේ ද? ඒ අනුව තමන් දන්න නොදන්න දේ ගැන ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක වැටහීමක් තමන්ට ඇත. බැරි තැන් ගැන ද එසේම ය. දැන් තමන් කන, බොන, අඳින, පළඳින දෑ ගැන තමන් දත් දේ අත් දැකීමෙන් හා බාහිර උපතකින් ලැබූ බව තෝරා බේරා ගෙන, තමන් සතු දැනුම දියුණු/තියුණු කර ගන්නා විදිය කෙසේ දැයි බලමු. තමන් වටා සිටින ඥාති මිත්‍රයන් ගෙන, තමන් කන, බොන, අඳින, පළඳින දෑ හා ඔවුන් කන, බොන, අඳින, පළඳින දෑ අතර සම අසම කම් හදාරමු. මේ තුලින් දැනුම දියුණු/තියුණු වීමක් වේ. එනම් තමන් හා අන් අය අතර ඇති සමීපතාවය මත බාහිර තොරතුරු දැන, තමන් කන, බොන, අඳින, පළඳින දෑ වල සුදුසු බව තීරණය කිරීම හා අවශ්‍ය නම් අන් අය ආදර්ශයට ගෙන වෙනස් කිරීම  කල හැක.

තමන් මත රැඳී දැනුම දියුණු/තියුණු කිරීම එක්තරා සීමාවක් දක්වා ඉහත කී ලෙස කල හැක. එහෙත් තමන්ට වඩාත්ම සුදුසු කන, බොන, අඳින, පළඳින දෑ පිළිබඳ ව පරතෙරටම යාමට නම්, තමන් වටා සිටින ඥාති මිත්‍රයන් ගෙන් ඔබ්බට ගොස් විවිධ මනුෂ්‍ය වර්ගයන් ගෙන මෙම හැදැරීම කර මනා අවබෝධයක් ලබා ගත යුතු ය. මෙහි දී කන දෙයක් නම් කෑමෙන් ම දැන ගැනීම අවශ්‍ය වේ. කෙසේ වෙතත් තව කෙනෙක් කරන කියන දෑ මනාව දැන ගැනීමට නම් එම කෙනාට ආවේණික මනසකින් බලා ඒ කරන කියන දෑ එලෙසම අත්දැක තිබීම අවශ්‍යයයි.

තමන් කල යුතු නොකල යුතු සීමාවන් අවබෝධ කර ගැනීමට නම්, සියලු ජීවීන් කන, බොන, අඳින, පළඳින දෑ ගැන මනා අවබෝධයක් ලබා ගත යුතු ය. මෙහි දී, තමන් ලද අත්දැකීම් මත දැනුම කොතරම් දියුණු/තියුණු වී ඇති දැයි යන්න, තමන් ඒ සඳහා යොදන උත්සාහය මත තීරණය වේ. එනම් ඇසූ දුටු පමණින් ඒ ගැන තේරුම් ගැනීමයි. තමන් ගැන ම සොයා ගත් තොරතුරු අනුව, අන් ජීවීන් ගැන ද මනා අවබෝධයක් ලැබේ. අන් ජීවීන් අණුකරණය කල නොහැකි වුව ද, තමන් ගැන සොයා ගත් දැනුම තුලින් ජීවීන් අතර ඇති සබඳතා වල මූලමය බව තහවුරු වීම තුල දැනුම දියුණු/තියුණු වීම උපරිමයට ම ළඟා වේ. මෙතුලින් අළුත් ජීවියකු බිහි කර අවශ්‍ය කන, බොන, අඳින, පළඳින දෑ පිළිබඳ වුව ද කිව හැකි වන්නේ ය.

ඉහත කී උදාහරණය තුල ඇති උපක්‍රම යොදා දැනුමේ සියලු අංඟ දියුණු/තියුණු කල හැකි යයි කියමි.

දැනුම ලබා ගැනීමේ අවශ්‍යතාවය හා එහි අනාගත වටිනාකම:

මිනිස් හැසිරීම තුල දැනුම ලබා ගැනීමට ඇති කැපවීම වෙන කිසිම ජීවියෙකු හා සම කල නොහැකි තරම් ප්‍රබල ය. බොහෝ ජීවින් දැනුම හිමි කර ගන්නේ තමන් ජීවත් වීමට කරන කියන දේ තුලින් ය. මෙහි උච්චතම අවස්ථාව වන්නේ තාරය නැසීමෙන් අත් දකින දැනුමයි. මෙය ප්‍රබල ඉගෙනීමකි. එනම් ඊට පසු බිහිවන ජීවිත වලට පවා එම අත්දැකීම ගලා යයි. ඒ අතින් මිනිසුන් අවශ්‍ය දැනුම, තාරය නැසීමෙන් පමණක් නොව ඉගෙනීමෙන් ද ගැනීමට වෙර දරන හැටි ප්‍රබලව දකිමු. විශේෂයෙන් ම, සිංහලයන් දැනුම ලබා දීමට තම සම්පත් වුව නැති නාස්ති කර උත්සාහ කරන බව නොරහසකි. මෙහි යම් ඇත්තක් තිබේ ද?

මිනිසුන් සතු දැනුම ගත් විට, සියල්ලන් ම එක ම තලයක නොව, තම තමන්ට සීමා වූ ප්‍රමාණයකට හිමි කම් කියති. එකම පරිසරයක එකට ජීවත් වුව ද, එකිනෙකා අතර දරාගත හැකි දැනුම වෙනස් ය. මෙය කෙසේ වේ දැයි බලා අතීතය හා බැඳි තොරතුරු ගැන සොයමු. අපේ මේ වුවමනාව තිරිසන්කමේ කොටසක් නම්, අන් සතුන් ද අප මෙන් හැසිරිය යුතු ය. කාටූන් වල හැර වෙන තැනක එවැනි සතුන් නැති බව ප්‍රත්‍යයක්ෂ වේ. මෙම ගතිය අපේ ම උත්සාහයේ ප්‍රථිඵලයකට වඩා අපට උරුමෙන් ආවක් බව අප කරන කියන දෑ තුලින් තහවුරු වේ. අපේ ම උත්සාහයේ ප්‍රථිඵලයක් නම් අද පවතින අධ්‍යාපන රටාව තුල අප මෙතරම් ඇලී ගැලී නොසිටිමු. ඒ අද පවතින අධ්‍යාපන රටාව තේමිය (ගෝතම) බුදගේ තවත් නිර්මාණයක් නිසා ය. උරුමය නොතේරෙන විට, අනුන් පසුපස ගොස් තම අවශ්‍යතා සපුරා ගැනීමේ දී ලැබෙන දෙය, දෙන කෙනා කියන ලෙස ම තමන් ගේ ලෙස භාර ගනී. මෙහි අන්තිම කෙළවරට ගිය විට, තමන් සතු සහජ දැනුම ද නසන දේ කිරීමට පෙළඹෙන බව තේමිය මේ අධ්‍යාපන ක්‍රමය තුලින් තහවුරු කරයි.

අපට දැනුම සෙවීම සහජ උරුමයක් වූයේ තිරිසන්කම හැර මිනිස්කමට පා නැගීමට ලත් හැකියාවන් සමඟ ය. ඒ වෙනස තුල දැනුමේ ඇති වැදගත්කම ද තහවුරු විය. අද ජීවත් වීමට එසේ ලැබූ දැනුම කෙතරම් පිටිවහලක් ද?  එහෙත් අද සිටින සිංහල යයි කියාගන්නා අය නොදන්න රහසක් ඇත. මීට පෙර ලියපු ලිපි තුලින් ඒ රහස ගම්‍ය වුවද පැහැදිළි කිරීමට නැවත කියමි. ඒ අපේ අවතාරයේ නොනැසෙන සුළු ස්වභාවයයි. අප ලබාගන්න දැනුමේ ඇති වටිනාකම අනුව එය අවතාරගත දැනුමේ කොටසක් වේ. එනම් උපතින් උපතට අප ලබන දැනුම රැඟෙන යාම තුලින් අනාගතයට ද ඒ දැනුම ප්‍රයෝජනවත් වීමයි. දැනුම සොරසතුරන්ට පැහැරගත නොහැකි අනර්ඝ දෙයකැයි අපි දනිමු. එහෙත් ඊට වඩා වැදගත් වන්නේ දැනුම අනාගතයට ද ප්‍රයෝජනවත් වීමයි. මෙම තොරතුරු අපේ දැනුම ලබාගැනීමට දරණ උත්සාහවන්ත බවට මුල් වී යයි කියමි. එහෙත් අප ලබන දැනුම කෙතරම් අපේ ජීවත්වීමට දායක වෙනවා ද යන්න මිස, අප වියදම් කල ප්‍රමාණයවත් ලැබූ සහතිකයේ ඇති වටිනාකමවත් කිසි සේත් බලනොපාන බව තහවුරු වේ.

අපේ ජීවත්වීමට දායක වන්නේ සැබෑ දැනුම ය. එය මිනිස්කම රැකගෙන ජීවත්වීමට දරණ උත්සාහයේ ඵලයයි. මෙම උත්සාහය වැදගත් වන්නේ, අපේ පැවැත්ම උදෙසා නිරන්තරයෙන් අතිරේක දැනුම ලැබීමක් ද වන නිසාය. එය අපි ජීවත්වීමට දරණ උත්සාහය අගය කරන දායාදයක් ය. මෙය සියලු ජීවීන්ට පොදු වූ දෙයකි. එය ජීවත්වීමට උත්සාහ නොකරන නිකමුන්ට නොලැබේ.

කෙතරම් අපේ ජීවත්වීමට කලින් ලබාගත් දැනුම පිහිට වෙනවා ද යන්න අප ජීවත්වන රටාවෙන් පැහැදිලි වේ. දැනුම ලැබීමට කරන උත්සාහයකදී වැඩි ඵල දරන්නේ පෙර උපන් කල දැනුම සෙව්වන් බවත්, පසු බාන්නේ එවැනි පසුබිමක් නැති අය බවත් තහවුරු වේ. මෙහි දී දැනුම යනු ජීවත්වීමට අවශ්‍ය දෙයක් ලෙස දකිමි. එතුලින් හොඳක් හෝ නරකක් නොපෙන්වන බව කියමි. උදාහරණ ලෙස හොරුන්, මංපහරන්නන්, මරුවන්, මූසලයන් අතර ජීවත්වීමට නම් උන්ට වඩා අදාල දැනුමෙන් ඉහල සිටිය යුතු යයි කියමි. මෑතක දී දෙමළ ත්‍රස්තවාදයේ නැගීම හා බැසීම වුව තීරණය වූයේ ප්‍රතිවාදින්ට වඩා සිංහලයන් සතු වූ එවැනිම යුධ කිරීමේ දැනුම අනුව නොවේ ද?

දැනුම යනු පැහැදිලිවම මිනිසුන් ලෙස ජීවත්වීමට අත්‍යාවශ්‍ය දෙයකි. ලබන දැනුම කොතරම් වටිනවා ද යන්න එතුලින් වන අනාගත ජීවත් වීමට දායක වීම තුල ඇත. එසේ නම් සිංහලයන් දැනුම ලබාගැනීමට මෙතරම් උනන්දු වන්නේ නිකමට නොව තමන්ගේ මෙන්ම අනාගත පරපුරවල ද යහපතට බව තහවුරු වේ. ඒත් අද කරන උත්සාහය නිරර්ථක වී ඇත්තේ, තමන් ලුහු බඳින්නේ දැනුම පසුපස නොව, එලෙස නම් කල නොදැනුම පසුපස නිසා ය. ඒ නිසා සැබෑ දැනුම ලබාගැනීම අත්‍යාවශ්‍ය දෙයක් නොවේ ද?

දැනුම ලබාගැනීමට ඇති අපේ උපාංඟ හඳුනා ගැනීම:

අප සතු උපාංඟ අප ජීවත් කරවීමට හැදුන ඒවා වේ. ඉන් සමහරක් දැනුම ලබා ගැනීමට ද යොදා ගැනේ. මේ සඳහා වැදගත් වන ප්‍රබල ම උපාංඟය ඇස් දෙක හා ඊට බැඳි හැඟීම් මත ප්‍රතිචාර දක්වන අණුඅංඟයන් ය. ඇස් යනු අප සතු සංවේදී ම ඉන්ද්‍රිය ද වේ. මින් අදහස් කලේ, හැඟීම් ජනනය කිරීම මැනීමක් ලෙස ගත හොත්, වැඩිම අගයක් ගන්නා අවයවය ලෙස තහවුරු වන බවයි. භාෂාව නිසා, කන් ද අද වන විට ප්‍රයෝජනවත් බවින් වැඩී ඇත. අද සමාජය තුල එකම දේ නැවත නැවත කීම තුලින් මතකෙන් කීම නිසා, අවශ්‍ය ලෙස මතකය ප්‍රයෝජනයට ගැනීම ඇහිරී ඇත. මීට අමතරව අනෙක් අවයව තුලින් මෙන්ම අප කරන කියන දෑ තුලින් ද දැනුම  ලබා දේ. කෑම තුලින් රසගුණ දැනගැනීම, අත පය යොදා කරන දේ තුලින් කරන විදිය මතකයට යාම වැනි දේ මේ අතර වේ.

අවයව තුලින් දැනුම ලබා ගැනීම අප දැනුවත් ව හෝ නොදැනුවත්වම සිදුවන බවත්, එසේ ලබාගත් දැනුම අපේ පාලනයෙන් තොරව වීමත් අපේ තිරිසන්කමේ උරුමයයි. මේ ගතිගුණ උපරිමයට ම භාවිතා කිරීමක් පවතින මාධ්‍ය රටාව තුල යොදන බව තහවුරු වේ. අපේ වචන මත යැපීම නිසා, මෙම මාර්ගයෙන් ලබාගන්න තොරතුරු මත බොහෝ තීරණ ගැනීමට තරම්  අප යොමුවන අතර, අපි හරි හෝ වැරදි යයි තීරණ ගන්නේ ද මාධ්‍ය තුලින් දෙන තොරතුරුවලට වසඟ වී බව පැහැදිලි වේ. ස්වභාවයෙන් ජීවය සැකසී ඇත්තේ අපේ හැඟීම් දනවන උපාංඟ හරහා ප්‍රතිචාර දැක්වීමට ය. එනම් අතරමැද පාලනයක් නැත. මෙසේ වන්නේ, ස්වභාවික පරිසරය තුල දක්වන ක්ෂණික ප්‍රතිචාරය මත රැකීම හෝ නැසීම වීමයි. අද පවතින සමාජය තුල මෙම හැසිරීම අත්‍යාවශ්‍ය නූනත්, තිරිසන් උරුමය නිසා මිනිසුන්ට ද එය නිතැතින් සිදු වේ. අත්දැකීම තුලින් ලබන දැනුම උපක්‍රමිකව යොදාගෙන, මාධ්‍යකාරයන් මිනිසුන්ගේ හැඟීම් පාලනය කර ඔවුන් ගොදුරු කර ගන්නා බව තහවුරු වේ.

යම් දෙයක් කරන විට හෝ ඒ ගැන ඇති දැනුම ලබා ගැනීමේදී, ඒ අතරතුර කවර උපාංඟ ක්‍රියාත්මක වේ දැයි දැන හඳුනා ගැනීම තුලින් මුලු ක්‍රියාවලියම හඳුනාගත හැක. තාරික කොටස් ගැන මෙලෙස දීර්ඝ අධ්‍යයනයක් තුලින් දත හැක. එහෙත් ඉතා වැදගත් මෙහෙයක් කරන අවතාරික උපාංඟ ගැන දැන ගැනීම සඳහා සංවේදී බව උපරිමයකට ගෙන යා යුතු ය. විශේෂයෙන් ම හැඟීම් ඇතිවීම, වෙනස් වීම හා නැතිවීම මනාව දැනේ නම් එයට පිටිවහලක් වේ. මතකය තුලින් දෙන හැඟීම් හා මතක තබාගැනීම නොගැනීම කෙරෙන ආකාරයත්, මතකයේ රැඳීමට යොමුවීම/නොවීම තුලින් හැඟීම් ඇතිවීම වෙන ආකාරය හැදෑරීම ද වැදගත් ය. එනම් තමන්ගෙ තාරික හා අවතාරික ප්‍රතිචාර ප්‍රත්‍යයක්ෂව හඳුනා ගැනීම ඉතා වැදගත් ය.

මේ ගැන සරල උදාහරණ ගනිමු. ඇස් වල සංවේදිතාව නිර්ණය කිරීමට පරිසරය දෙස හොඳට බලා, ඇස් වසාගෙන, දුටු දෑ එකින් එක හඳුනා ගෙන ඒවා ගැන ඇති ගුණාත්මක බව අධ්‍යයනය කර, පසුව පරිසරය තුලින් දකින දේ ඇසෙන් බලා අගය කරන්න. දිගටම කරන විට මේ වෙනස මගහැරේ. ඊට පසු වෙනත් කෙනෙකු හා මෙලෙසම කරන්න. මිනිස් අසමානතාවය නිසා දකින දේ වල වෙනස ද දත හැක. මෙහිදී කන් වැසීම නොවැසීම අනුව තමන්ගෙ දැකීමේ ඇති වෙනස් කම් ද දත හැක.

තවත් උත්සාහයක් ලෙස කන් වල ඇති හැකියාවන් අගයමු. ඇස් හා කන් ගත් විට, ඇස් වල ප්‍රමුඛ බව කණට ඇසෙන දේ වල ඇති අඩු සංවේදී බව තහවුරු කරයි. එනයින් ඇස් මුල්තැන ගනී. ඇස් වැසීම මගින් ඒ බලපෑම ඉවත් කර කනට ඇසෙන හඬවල් හඳුනාගැනීම හා අන් අය සමඟ සැසදීම තුලින් බොහෝ දේ අනාවරණය වේ.

අපේ තාරයේ මතුපිට (හම/කෙස්, පතුල්, හිස/කෙස්) ගත් විට ද එහි සංවේදි බව මෙන්ම තැන ගැන ද ප්‍රතිචාර ද අතින් හා බාහිර උපකරණ තුලින් ගැනිය හැක. එසේම මදුරුවන් ඉදිරියේ අපේ හැකියාවන් මෙන් ම උන්ගේ බලය ද අත්හදා බැලීම තුලින් සංවේදීබව මෙන්ම ප්‍රතිචාරය ද ගැනිය හැක. කෑම රස බැලීම තුලින් ද මෙලෙස සංවේදී බව ගැනිය හැක. එසේම කරන දේ හා ඒ හා බැඳි මතකය හා කාලය සමඟ මතකයේ ක්ෂයවීම අධ්‍යයනය තුලින් තවත් වැදගත් දේ හෙළි වේ.

මෙසේ තාරික උපාංඟවල ක්‍රියාකාරිත්වය හැදෑරීම හා සංවේදී බව වැඩි කිරීම තුලින් ලබන හැකියාවන් අවතාරික උපාංඟවල ක්‍රියාකාරිත්වය හැදෑරීමට අත්‍යාවශ්‍ය වේ.

දැනුමේ සැබෑ ස්වරූපය:

දැනුම මොන වගේ දෙයක් දැයි දැනුම සොයන්නකු දත යුතු ය. අද දැනුම තමන්ගෙ දෙයක් ලෙස ගන්නේ අනුන් කී දෙය එසේම මතක තියාගත් උගතුන් ය. උදාහරණ ලෙස,  ඔවුන් මූල ද්‍රව්‍ය ලෙස ඇසූ ඉංග්‍රීසි නම් එසේම යොදමින්, මුළු ලෝකයම ඒ තුලින් දකිති. එහෙත් එම කතාව ගොඩ නැඟීමට යොදාගත් කරුණු පමණක් නොව උපකල්පන ගැන ද සෙවීමක් නැත. ඉන් එහාට යාමක් හෝ ප්‍රශ්ණ කිරීමක් ද නැත. ඒ මදිවට පරිසරයේ ඇති ඊට පටහැනි සියලු සිදුවීම් වසන් කර තම මතය නිවැරදි බව රැක ගනිති. මෙය සැබෑ දැනුමේ ස්වරූපය නම්, දැනුම යනු, "අකුරු හෝඩිය" නම් ශබ්ද සමූහය ගෙන ගෙතූ පද වැලක් විය යුතුය. එසේ නම් අපේ උගතුන්ට බැරි දෙයක් නැත.

මම ඉහත කීවේ දැනුම ලෙස පවතින සරල වචන එකතුව ගැනයි. මා ලියන්නේ ද වචන එකතුවක් නිසා, මම කියන දේ ද එසේ දකින අය සිටින බව දනිමි. ඒ නිසා ම මෙම ලිපිය ලියන්නේ ඒ වචන වලට එහා ගොස්, මම කියන දේ වචන වලට එහා යමක් බව කීමට ය. බොහෝ වචන තුල ද ඇත්තේ සැබෑ දැනුම සංකේතවත් කිරීමකි. එසේම ඉන් සුළු කොටසකි. සැබෑ දැනුම යනු වචන නොව ඊට පදනම් වූ බාහිර ලෝකය තුලින් නැගෙන සිදුවීම් තුල ඇති සබඳතාවයන් හා බැඳි අපට සම්බන්ධයක් නැති  දෙයක් යයි කිව හැක. බාහිර ලෝකය ඒකීය ස්වරූපයක් ගැනීම නිසා මේ සබඳතාවයන් ගොඩ නැඟීම පහසු ය. නිශ්චිත බව එම සමබඳතා වල ඇති සීමාවන් පෙන්වයි. සැබෑ දැනුම ගණිතමය ස්වරූපයක් ගැනීම, යම් දුරකට දැනුම පැහැදිළි කරනවා යයි කීම නිවැරදිය. එහෙත් විකාර ගණිතමය විකෘර්ථි කිරීම් මත ගෙතූ සබඳතා අදාළ නැත. දැනුම කොතරම් පාරිසරික දත්ත හා බැඳී ඇති දැයි කිව හොත් සියල්ල දත් කල පමණක් සැබෑ දැනුමේ උපරිමයට ළඟා විය හැක.

මිනිසුන් ගත් කල දැනුම යනු බාහිර ලෝකය තුලින් නැගෙන සිදුවීම් මාලාවක එකතුවක් හා ඒවා අතර ඇති සබඳතා දක්වන හැඟීම් සමූහයක් වේ. ඒ ඒ හැඟීම් ක්‍රියාවට නැංවීමේ දී ඒවා විවිධ ශාරීරික කොටස් හරහා ක්‍රියාත්මක වේ. එසේ වීමට නම් ඒකීය සබඳතාවයක් තුලින් ඒකීය අන්තයකට යාමට හැකියාව අප සතු දැනුම  තුල අන්තර්ගත විය යුතුය. මෙහිදී තාරය තුල වන හැඟීම් සංචරණය දත් විට ඊට බැඳි අවතාරයේ ක්‍රියාවන් හඳුනා ගත හැක.

දැනුම යනු පවතින මෙන්ම නැතිවන ආකාරයට බෙදෙන දෙයක් බව අපේ අත්දැකීමයි. එසේම පැටලීම ද සිදුවේ. තාරය ගත් කල දැනුම යනු ද්‍රව්‍යමය සංයුති තුලින් රැකෙන, ඇවැසි තැන ද්‍රව්‍යමය ප්‍රතිචාර දෙන රටාවක් පෙන්වයි. මෙහි ඇති විශේෂත්වය නම්, නිතර නිතර දැනුම ක්‍රියාත්මක වේ නම් ද්‍රව්‍යමය ස්වභාවය ක්ෂය වීමකට වඩා ස්ථීරව පැවතීමයි. එනම් භාවිතයෙන් ඈත් වූ විට ක්ෂය වීම තුලින් දැනුම නැසේ. මෙම ක්‍රියාවලිය තාරය සතු අනවශ්‍ය දෑ නොමැතිබව බලපවත්වන උපාංඟය නිසා වන බව පෙනේ. එනම් තාරික දැනුම රඳවා ගැනීමට නිතර එම දැනුම යොදා ගත යුතු බවයි. එහෙත් නැති වූ දැනුම නැවත ලබාගත හැකි බව ද තහවුරු වේ.

අවතාරික දැනුම ගත් විට, ඊට අපේ ක්‍රියාවල බලපෑමක් නැති තරම් බව, නැවත නැවත බිහිවීමට යොදන දැනුම ගත්විට තහවුරු වේ. තාරික ක්‍රියාතුලින් ලබන දැනුම ද අවතාරයේ ග්‍රහණයට අසුවන අතර එය සුවිශේෂ හේතු මත පමණක් වීම අනවශ්‍ය ලෙස බර දැරීම වලකයි. කෙසේ වෙතත් අවතාරික දැනුම යනු ක්ෂය නොවන දෙයක් බව තාරය තුලින් තහවුරු වේ. මේ ගැන සෙවීමට විශේෂ හැකියාවන් අවශ්‍යයි.

දිවැසින් දැකීම ගැන සොයමු:

දිවැසින් දැකීම ගැන කලින් කී දේ මතක යයි සිතමි. සමහර ජාතීන් නළලේ ඇඳීමෙන් ද, තවත් අය නළල සිදුරු කිරීමෙන් ද, මෙම අද්භූත හැකියාවක් ගැන කියනවා. අද වන විට දිව්‍ය කන් ද ඇතැයි සමහරු කියනවා. මෙලෙස දිව්‍ය යන වචන ඛණ්ඩය ඕනෑම අවයවයකට දමා දිව්‍ය යමක් ඇති බව කිව හැක. උදාහරණ ලෙස දිව්‍ය කටක් ඇතැයි කිව හැක. කටක් ඇති තැන පිටවීමට මගක් ද තිබිය යුතු නිසා දිව්‍ය-පිටවන තැනක් ඇතැයි කීම වුව ගැලපේ. එහෙත් මේ කතා කියන අය දිව්‍ය කෑල්ල නැතිව තිබෙන ඇස් කන් ගැනවත් යමක් දනී දැයි සැක පහළ වේ. එසේ නම් දිවැස් ගැන යමක් කීම සුදුසු ය.

දැනුම එකතු වන විට, එම දැනුම තුලින් තොරතුරු අණාවරණය වන ආකාරය දිවැසින් දැකීමට මග පාදයි. දිගින් දිගටම හරි මගේ (පාරේ) යමින් දැනුම රැස් කරන විට, එම දැනුම හැඟීම් තුලින් ඉස්මතු වන්නේ අපේ ඇසින් දකිනවා වැනි ස්වරූපයකිනි. දැනුම හැඟීම් තුලින් බැලූ විට, "ඇසින් දුටු දෙයක් හැඟීම් තුලින් බැලූ විට වැනි ආකාරයක දැකීමක්" යයි හැඟෙන ක්‍රියාවලයකින් දිස් වේ. එනම් ඇසින් දකින දේ එලෙසම ඇස් පිය වීමට පසු ද රැඳේ. එහෙත් ශබ්ද වල හැඟීම් එලෙස නොරැඳෙන බවත්, ශබ්ද ලෙස හැඟීම් ජනනය කිරීමට නම් අතිරේක ශබ්ද හැඟීම් ජනකයක් අවශ්‍ය බව අත් හදා දත හැක. අන් අවයව වලින් ඊටත් අඩු ප්‍රතිචාර ලැබෙන බව කිව හැක. මින් අදහස් වෙන්නේ, සරලව කියනවා නම්, ඇසෙන් දකින දේවල් හැඟීම් වන විට එලෙසම සිතෙන් දැකිය හැකි බවයි. එනම් ඇස් හරහා ජනනය වන හැඟීම්, කෙලින් ම දර්ශණ ලෙස ඇස් නැතුව වුව ද දකින නිසා, අපේ හැඟීම් පද්ධතිය දැකීම මුල් වූවක් බවයි. මෙසේ දැනුම දර්ශණ ලෙස ඇස් නොයොදා දැකීමේ හැකියාව වඩා ගත් විට එය දිවැසින් දැකීමට ආසන්නයි.

දිවැසින් දැකීම අත් හදා බලා ඒ ගැන ප්‍රතිචාර දිය හැකි අයට එම හැකියාව ලබාගන්නා ආකාරය සරල උදාහරණයකින් කියමි. මෙය ඇස් වසා කිරීම පහසුය. කෙසේ වෙතත් ඇස් ඇරගෙන සිටිය ද, දැනුම සිතෙන් පෙනීමට එය බාධාවක් නොවන බව කිව යුතු ය. මෙම උදාහරණය කියවන වචන තුලින් තමන් ලබන දැනුම ප්‍රමාණාත්මක ව අගය කිරීමට ද යොදා ගත හැක. මෙහි දී කවුරුත් දන්න වචනයක් වන "බත්" ගනිමු.

බත් යන වචනය හැඟීම් ජනනය කිරීමේ දී, බත් කියන්නේ බයන්න හල්තයන්න = බත් ලෙස යමෙක් දකී නම්, සිටින්නේ දැනුමේ පහලම තලයේ ය. බත් කියන්නෙ රයිස් (rice) යයි කියන්නේ නම්, එවැන්නකු ගැන කතා කිරීම ද කාලය නැසීමකි. ඒ රයිස් (rice) කියන්නේ සිංහල වචනයක් නොවන නිසාත් ඉන් බත් පමණක් සංකේතවත් නොකරන නිසාත් ය. බත් යනු කෑමට බෙදාගත් දේ ලෙස හෝ ඒ සඳහා භාජනයක ඇති තම්බා පැසුනු හාල් ලෙස දකී නම්, තම දැනුම වචනයට සීමා වේ. බත් උයන ආකාරය, වී හාල් බවට පත් කිරීම, කුඹුරුවල වපුරා ගොයම් වැඩී වී එකතු කිරීම, ගොවිතැනට අවශ්‍ය හැකියාවන්, උපකරණ, නොයෙක් කන්න වල ලැබූ අත් දැකීම් වැනි බත් වලට කෙලින් ම සම්බන්ධ වන සියලුම දේ බත් යන වචනයට ප්‍රතිචාර ලෙස දකින ප්‍රමාණය අනුව තමන්ගේ දැනුමේ පූර්ණත්වය හෙළි කරයි. බත් යන වචනය ඇසෙන විට බත් වලට පමණක් නොව එවැනි අනෙකුත් ප්‍රධාන ආහාරත් අතුරු ආහාරත් ගැන පූර්ණ දැනුමක් දැකීම දක්වා, තමන් දකින ප්‍රමාණය අනුව දැනුම කොතරම් ඇති දැයි තහවුරු වේ.  මෙසේ අවධානයට ලක්වන දෙය අනුව දැනුම සියලු ප්‍රභේදයන් සමඟ දිස් වේ ද, අවධානයට ලක්වන දෙය වෙනස් වන විට ඒ අනුව දැනුම සියලු ප්‍රභේදයන් සමඟ අණුකූලව වෙනස් වේ ද, එම වෙනස කැඩුම් බිඳුම් නැතිව එසේ වේ ද, එම තත්ත්වයට දැනුම ලැබුවෙකුට දිවැස් ඇතැයි කීම නිවැරදි ය. මෙම තත්ත්වයට ඒමට ඇති එකම මග අදාළ ක්‍රියාවන්ගේ නිරත වීම තුලින් පමණක් වීම නිසා, ඉතා දීර්ඝකාලීන උත්සාහයක ඵලයක් බව කිව යුතුය. මෙම අන්තයට යාම කලින් ලිපියක කියා ඇත. අත්දැකීම හුවමාරු කරන්නේ නම් අගයමි.

සරල අවබෝධයක් ගැනීමට මෙය කියමි. තමන් හොඳට දන්නා නගර හෝ ගම් වල නම් කිහිපයක් ගන්න. ඒ එක් එක් නමක් කියමින් ඊට බැඳි දර්ශණ මතකයට ගන්න. මෙසේ නමට අදාළ දර්ශණය තෝරා ගැනීම තුල ද දිවැසින් දැකීමට සම බවක් ඇත.

දැනුමේ සීමා හා ඒවා අදාල නොවීම:

මිනිසුන් යනු අනිවාර්යයෙන් ම ඒකීය වූත් නිශ්චිත වූත් බිහිවීමක් ලෙස ගත් විට, දරා ගත හැකි දැනුම සීමාවන් තුල වන්නේ යයි කිව හැක. මග පෙන්වීම තුලින් වුව දැනුම ලබාගැනීමේ දී එක්තරා සීමාවන්ට පසු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම තුලින් තහවුරු වේ. ඉන් එහාට දියකර පෙව්වත් ඵලක් නැත. මෙයට හේතුව දැනුම නිශ්චිත වූ බිහිවීම නිසා දරාගැනීමට බැරි වීම ලෙස දැක්විය හැක.

තමන්ගේම උත්සාහයෙන් වුව සීමාවන් පසුකිරීමට බැරි බව තහවුරු වේ. මෙහිදී තම උත්සාහයත් ඵලයත් චක්‍රීය ස්වරූපයක් ගෙන නැවත නැවත දුවන රූපටක් වැනි දිගට යන බවක් ඉඟි කරන චක්‍රීය ගමනක හිරවීම ද වේ. වැරදි මගින් දැනුම සොයා ගිය විට පැටලීම සිදුවේ. එනම් කියන දේ තමන්ට වුව තේරුම්ගත නොහැකි වේ.

ස්වයං රැවටීම තුලින් තමන් සියල්ල දැන ගත්තා යයි සිතා දැනුම සෙවීම අතහැරීම ද සිදුවේ. සැබැවින් ම, එසේ කීම විහිළුවකි. දැනුම යනු ජීවත්වීම සමඟ වැඩෙන නිමක් නොදකින දෙයක් බව පරිසරය තහවුරු කරයි.

සීමාවන්ට ළඟා වූ විට ඉතිරිය බොරුවෙන් ගොඩ නඟයි. උදාහරණ ලෙස අහසින් යාමට දැනුම නැත්තා, එය සිතෙන් කල හැකි යයි බොරුවෙන් නොදැනුම වසන් කරයි. අප වටා සිටින සියලු පකෂීන්ට එම දැනුම ඇත. සිතෙන් යාම ඇත්ත යයි සිතා රැවටෙන අය බොහෝ ය. සමහරු දිව්‍යලෝක වලට සිතෙන් ගොස් ඇත. මේ ගැන අත්හදා  බලමු. නොගිය තැනකට සිතෙන් ගොස් තොරතුරු වාර්තාවක් සකසන්න. ඊට පසු ඒ තැනට සැබැහින් ගොස් දකින දේ සමඟ සසඳන්න. බොරුව හඳුනාගැනීමට කදිම උදාහරණයකි.

දැනුම නැතිවෙන හැටි කලින් කීවෙමි. එහෙත් දැනුම දීමෙන් රැකීම සිදු වේ. තම දැනුමේ සීමාවන් ඉක්මවීමට නම් ජීවත්වීමට  තිබෙන අභියෝග  වලට නොබිය මුහුණ දිය යුතුයි. පැවැත්මට තර්ජන ඇති විට අපේ සීමාවන් දිගුවීම හෝ අළුතින් එකතු කරන ආකාරයේ බලපෑම් බාහිර ව ක්‍රියාත්මක වේ. එය බර වැඩ කරන විට උපකරණ අතට දෙනවා වැනි දෙයකි. අප  යනු අන් අයගේ නිපැයුමක් බව සිහි කරමි.

ඇත්ත බොරුවෙන් වෙන් කිරීම:

මේ සඳහා දැනුම අත්‍යාවශ්‍ය වේ. පාරිසරික දත්ත තුලින් මෙය කිරීම ඉතා පහසු ය. භාෂාවක ඇති වචන යොදා නා නා අරුත් දෙන වැකි හැදිය හැක. ඒත් "පාරිසරික ඒකීය හා නිශ්චිත ස්වභාවය" තුලින් ඇත්ත යයි කිව හැක්කේ එකම ක්‍රියාවලියකට නිසා, අන් සියල්ල බොරු බව පෙන්විය හැක. දැනුම තුලින් පාරිසරික දත්ත හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. නොඑසේ නම් බොරුව වුව ඇත්ත සේ පෙනේ.

සියලු සීමාවන්ගෙන් එහාට යාම:

මේ සඳහා දැඩි උත්සාහයක් කල යුතුය. තමන් ම පාර හදාගෙන අවශ්‍ය තැනට යන්නා සේ, සීමාවන්ට ළං වූ විට එය දැන ඊට එහා යාමට අවශ්‍ය මං පාදා ගත යුතුවේ. පාරිසරික දත්ත අනුව උපරිමයට යාමට හැක්කේ එක් අයෙකුට පමණක් බව තහවුරු වේ. ඒ බව ඒකීය හා නිශ්චිත ස්වභාවය තහවුරු කරයි. එසේ නොවී නම්, අඩු තරමින් ද්විතීයික හා අනිශ්චිත ස්වභාවයක් පාරිසරික දත්ත තුලින් පෙන්විය යුතුය. එහෙත් එතුලින් අසමතුලිත පරිසරයක් බිහිවී ස්ථාවර නොවන තත්ත්වයකට යන බව පෙන්විය හැක. එනම් අප දකින ජීවය නොපවතින බවයි. අනන්ත ලෙස දැනුම ගබඩා කිරීමට ඒකීය නිශ්චිත බිහිවීම් යොදා ගන්නේ නම්, එවැනි බිහිවීම් ගණන වැඩි කර අවශ්‍ය ධාරිතාව ගොඩ නැගිය හැක. මේ ගැන දැනුමේ උපත ගැන කී ලිපියක ලිව්වෙමි. කෙසේ වෙතත්, මෙසේ දැනුම යොදා බිහිවුන ජීව ලෝකය කොතර් දියුණු ද කියනවා නම් බැරි යයි කියා දෙයක් නැති තරම් ය. එය තාක්ෂණයේ උපරිමය නොවේ ද?



පසු වදන: මෙහි අන්තර්ගතය සරල මග කීමකි. පුද්ගලයාගේ පැවැත්ම අනුව මෙහි ඇති දෑ තීරණය වේ. නැවත නැවත හදාරා රහත් වීම තුලින් ඇත්ත දකිමු. මෙම ලිපිය ලිවීමට ගත් පීඩනය අතිමහත් ය. එහෙත් මගේ උත්සාහය ඔබට යහපතක් කරනු ඇතැයි සිතමි.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.