Saturday 27 July 2013

හින්දූන්ට ජ්‍යෝතීෂ් වූ සිංහලයන්ගෙ ජීවිත දැනුම

මම අද කියන දේවල් ගැන කතා කරන කොට, රටේ පවතින අධ්‍යාපනය තුලින් සහතික ලත් අය කියන දෑ ගැන කිව යුතුමයි. ඔවුන්ට අනුව උපන් වෙළාව අනුව ජීවිතය ගෙවෙන ආකාරය බොරුවකි. මිථ්‍යාවකි. ඔවුන් හැදෑරූ "බටහිර" අධ්‍යාපනය සැබෑ ය, සිංහල ඒවා බොරු ය. මම බටහිර යන වදන උලුප්පා ලිව්වේ, මම ද ඔය කියන අවජාතක අධ්‍යාපනයෙන් මෙන් ම සැබෑ බටහිර අධ්‍යාපනය තුලින් බඩගාපු නිසා ය. "බටහිර" අධ්‍යාපනයෙන් ඔළුව උදම්මවාගෙන සිංහල දේවල් වලට ගරහන අය, තමන් සිංහල දේවල් ගැන මෙළෝ දෙයක් නොදන්න බව හෝ දන්නේ නම් ඒ සුළුවෙන් බවත් කියන්නේ කිසිදු ලැජ්ජාවක් නැතිව ය. මෙසේ හැසිරීම සිංහයකු නගන තේජස්වි හඬට වඩා කරත්තය අදින ගවයකු ඔළුවා කරකවා ගෙජ්ජි මාලය හඬවනවා වැනි යැයි මට සිතේ. ඒ සැබෑ බටහිර උගතුන් තමන් නොදත් දේ ගැන සොයා නොබලා කටමැත නොදොඩන නිසා ය. එයිනුත් බහුතරය තමන් දත් දේ ගැන ද තමන්ගේ යයි නොකියන තරමට නිහඬ ය. එසේ නම් ලංකාවේ සිටින අය ලබන්නේ සැබෑ බටහිර අධ්‍යාපනයක් නොවේ ද? එම අධ්‍යාපනය ඇරඹුවේ ඉංග්‍රීසින් බව සැබෑ ය. අද මේ අධ්‍යාපනය තුල ඇති ඉංග්‍රීසි පණක් නැත. අද කරන්නේ බටහිරින් ඇහිඳ ගත් අගමුල පැටලුන ගෙතුම් ටිකක් විෂයයක් ලෙස ගෙන, ඒ දෑ එලෙසම කරන්නා සමතකු කිරීම ය. මෙම ක්‍රමය ඉතා පැරණි ය. හින්දූන්ගෙ ජන්ම ගතියයි. වචන ටිකක් කටපාඩම් කර ගිරවුන් සේ නැවත නැවත කීම උන්ගේ උගත් කමයි. එසේ නම් අද ලංකාවේ සිටින උගතුන් ද මලයාලි හිඟුනුන් ලෙස හිඟමනේ ආ අයට නෑකම් කියන අය විය යුතු ය. එදා සුද්දා රාජ්‍ය සේවයට යොදාගත් මග යමින්, මේ උගතුන් රාජ්‍ය ආයතන හරහා මුදල් ගෙන යැපෙන, රටට අනර්ථයක් ම කරන හිඟන ද්‍රෝහීන් නොවේ ද?

මම කියන්නට යන දේ ඉතා සංකීර්ණ ය. මනා හැකියාවෙන් තොර නම් නොතේරෙන්නේම ය. මේ බව දැන සරල උපමාවකින් අරඹන්නේ ඉහත කී බටහිර අධ්‍යාපනය ලැබූවන්ට වුව තේරුම් ගත හැකි නිර්මාණයක් ගැන කීමෙනි. ජීවිතය ගිනි දළුවක් වැනි යයි කී නිසා උපමාව මොකක්දැයි තේරුම් නොගත් හිඟනුන් ජීවිතය ද නිවන්නට ගිය සේ, සිංහලයන් සතු ජීවිත දැනුම ද උපමා කරගත් දෙය වගේ සිතන්නේ නම් ඒ සිංහලයකු නොවේ.

ලොව පැවැති දෑ සොරාගෙන, අත පය නොවෙහසා ගමන් යෑමටත්, ඒ මගින් නොඑන ගමන් ද යා හැකි මෝටර් රථය මෙලෙස තේරුවෙමි. එය බටහිර අධ්‍යාපනය ලැබූවන්ට හිමි අනඟි දෙයක් බව රටට ගෙන්වන වාහන සඳහා ගසන බදු බර මගින් හිඟන වංශිකයන් කියන බව දනිමි. මම ද මේ මලකඩ හුචක්කු බදාගෙන නාගෙන ජපනුන් නට්ටන් වීමට ගිය ගැටළුවක් විසඳා පන්නරය ලැබුවෙක් වෙමි. ජීවය වැනි අපට සිතාගත නොහැකි තරම් සංකීර්ණ දෙයක් අංඟපූර්ණව ක්‍රියාත්මක වන බව ගත් කල, මෝටර් රථය වැනි ප්‍රාථමික නිපැයුමක ඇති ක්‍රියාත්මක වන රටාව සසඳා බැලූ විට, ජීවය කොතරම් ඉහල තලයක තිබිය යුතු ද?

මෝටර් රථය ගත් කල, රෝද කරකැවීමට යොදන එන්ජිම ක්‍රියාත්මක වන්නේ ද එක සිදුවීමකට පසු නිශ්චිත තව සිදුවීමක් වන සිදුවීම් දාමයකිනි. මින් එකද ක්‍රියාවක් නොවේ නම් හෝ අවාරයේ වේ නම් එය ක්‍රියා නොකරයි. අහර නොගත්තකු මිය යන්නා සේ, ඉන්ධන නැති නම් මග නවතී. එසේම මහ පාරක නොයා කැළෑවක යාම අවසන් වන්නේ කුඩු පට්ටම් වීමෙනි. පදවන රියදුරා ද නිශ්චිත හැකියාවන් ඇති අයකු විය යුතුයි නේ ද? එසේම එක්තරා රටාවකට පැදවීම කල යුතු ය. ඊට අමතරව පාරේ යාමට නීති එමටය. කඩ කිරීම හිරේ විළංඟුවේ වැටීමට හේතු වේ. වාහන නඩත්තුව ද කල යුතු ය. කල් ගිය විට භාවිතයෙන් ඉවත් කල යුතු ය. ජීවිතය අනිත්‍ය යයි කියමින් මරහඬ දෙන පිංගුත්තර නිකායේ උන් ද මේවා ලබාගැනීමට ඇඳි සාරිය ද විකුණා දුගියන්ට සක්විත්තන් වුව ද, මෙවැනි නිපැයුම් හා සැසඳූ විට නැවත නැවතත් බිහිවන ජීවය තුල ඇති නියත සිදුවීම් නොදකින්නෙ, මොවුන් අමනුෂ්‍යයන් නිසා විය යුතු ය.

දැන් අප මුල් කාරණයට බැසීමට තරම් පදමට ඉදී ඇතැයි සිතමි. මිනිසුන් ගත් කල, මිනිස් ජීවය ද ඉතා සංකීර්ණ නිපැයුමක් බවත් නැවත නැවත බිහි වී පවතින එකක් බවත් අපි අත් දැකීමෙන් ම දනිමු. එය නිශ්චිත වූ ගණිතමය ගැටලුවක් ලෙස ගත් කල, සාධකයන් අති විශාල සංඛ්‍යාවක් වුව නිශ්චිත බව නිර්මාණය තුලින් තහවුරු වේ. එහි ක්‍රියාකාරිත්වයට ද අති විශාල ක්‍රියා පද්ධතියක් හා කාලයට බැඳි මෙන් ම ක්‍රියාවට බැඳි රටා දාමයන් ද, වැරදි නිවැරදි කරන එවැනි ම අංඟ ද ඇතුලත් බව පෙන්විය හැක. නොඑසේ නම් නැවත නැවත අංඟ සම්පූර්ණ නිමැයුමක් ලෙස අප නොපවතින බව දත යුතු ය. මේ සියල්ලම සියලු ජීවින් අතර බෙදුනු රටාවකට ඇති බව පැහැදිලි ය. ඒ අනෙක් ජීවීන් ද අප වැනි නිශ්චිත නිපැයුම් බව දකින නිසා ය.

දැන් ඉහත කී පොදු ජීව ලක්ෂණ වලට අමතරව මිනිසුන්ට, විශේෂයෙන් ම සිංහලයන්ට සීමා වූ සුවිශේෂ සිදුවීම් දාමයක් ගැන කියන දැනුමක් සිංහලයන්ට ඇත. එය හඳහන වැනි දෑ යොදා ගෙන යමෙකු උපන් වෙළාව මත,  සූර්ය ග්‍රහමණ්ඩලය ද යොදා ගෙන සැකසු බෙදුම් සහිත විවිධ කාල වලින් සුවිශේෂ හැසිරීම් රටාවක් ගැන කියන එකකි. කාලය බෙදීම ග්‍රහයන්ගේ ගමනට බැඳී නැත. ජීවය මුහුණ දෙන අභියෝගයන් තෝරා බේරා ගෙන එක්තරා කාල සීමාවන්ට ගොනු කර ඇත. ආයුෂ අවුරුදු 120ක් ලෙස සලකා මෙම බෙදීම කර ඇත. ඒ තුලින් ඒ ඒ වකවානු තුල ජීවත්වීමට මුහුණ දිය යුතු  අභියෝගයන් මෙන්ම ප්‍රතිවිරුද්ධ සහායවීම් ද ගැන කියති. කියන විදියට සියල්ලම උපන් වෙළාව අනුව යන රටාව තුල සැබෑ හා කෘතීමව ගොඩ නඟා ඇති ග්‍රහ චාරය අනුව ක්‍රියාන්විත වේ.

මෙම විශේෂ බලපෑම් තිරිසනුන්ට බල නොපාන බවත්, මිනිසුන්ට, විශේෂයෙන්ම සිංහලයන්ට වළංඟු බවත් මගේ අත් දැකීමයි. බටහිර ගැතියෙකු හා හිතූ දේ කරන්නෙකු ලෙස මේ දැනුම මත කියපු දෑ බොරු කිරීමට මම ගත් උත්සාහය ඉමහත් වුව ද, සමහරුන් ස්ථීරව කී දෑ එසේ වීම මවිත කරන බව කිව යුතුය. එවන් පසුබිමක සිට, අද මෙතැන කියන්නේ මම සොයාගත් තොරතුරු ය. එවැනි අපේ පාලනයට නතු නොවන දැඩි රටාවක් හා ඊටම ආවේණික, පුද්ගලයා උපන් වෙළාව අනුව යන ජීවිත ගමනක් අපට බලපාන බව මගේ ද අත් දැකීමයි. එය දැනුම මත යැපෙන මිනිසුන්ට මුල මතක් කර දෙන, ජීවය පැවැත්මට බැඳි, වෙනස් කල නොහැකි, බාහිර එකතුවක් බව පෙනේ. අප ස්වාභාවික පරිසරයෙන් බිහිවුන බවත් දැනුම නිසා ඒ බව සැඟවීම වැලැක්වීමටත් යෙදුවක් බව පෙනේ. නොඑසේ නම් පැවැත්ම රැකීමටත් නුසුදුසු නම් නැසීමටත් ය. අප සතු ජීවත්වීම පහසු කල දැනුම ද බාහිරෙන් ආවක් බව මතක් කරමි.

අනිවාර්ය ජීවිතයට බලපාන චක්‍රයක් තුලින් අපි කෙසේ කොහොම ජීවත් වුවත් අපව නිරන්තරව පැවැත්මට බැඳීමක් මෙතුලින් දකිමි. ඒ ඒ කාලයන්ට අනුරූපව අප වෙනස් වන බව ද අත්දැකීමෙන් තහවුරු විය. එසේ නම් නානා උපක්‍රම තුලින් මෙම බාහිර බලපෑම වෙනස් කල හැකි ද? අද බොහෝ අය අඵල උපද්‍රව වලින් ගැලවීමට මුදල් පුදා පිළියම් යොදති. එමගින් තමන්ගේ ජීවත්වීමට ඇති වුවමනාව වැඩිවීමෙන් යම් යහපතක් වුව ද මුදල් ගෙන ධනවත් වන්නන් ද නිතර එම බාහිර බලපෑමේ ගිලෙන නිසා ඇති හැකියාව ගැන සැක ය.

එක්තරා නිශ්චිත චක්‍රයක ගමන් කිරීමේ දීඅනිවාර්යයෙන් ම ඊට ආවේනික වූ පරික්ෂාවන් වලට ලක් වෙන බවත්, සමහරුන් අතර මඟ නැසෙන බවත් තහවුරු වේ. එනම් විභාගයකින් සමත්වීම අසමත් වීම තීරණය වන සේ, මෙම සුවිශේෂ අධීක්ෂණ පරික්ෂාව තුලින් මිනිස් පැවැත්ම තහවුරු වන බව පෙනේ. මාංශ භක්ෂකයන් නොවන්නට තණ බුඳින සතුන් මස් පිරි මළු වනු ඇත. ඒ අනුව මාංශ භක්ෂකයන් හරහා සත්ත්වයන් කඩිසර මනා අඟපසඟින් යුත් වන්නේ යම් සේ ද, සිංහලයන් සතු ජීවිත දැනුම තුලින් කියන්නේ ද දැනුමෙන් යැපෙන මිනිසුන් ද පැවැත්මට උචිත ජීවීන් ලෙස මෙම ක්‍රියා දාමය තුලින් සැකසෙන බව ය. මෙහි දී කිසිවෙකු නොදත් දේ දකින යමක් කියමි. එනම්,  අනිත්‍යවාදී හිඟනුන් නිසා උපතේ සිට විපතෙන් කෙළවර වන චරියාට බැඳීමෙන් අන්ධ වී නොදකින්නේ වූව, මෙම චක්‍රය මුළුමනින් ම ජීවිත කාල කිහිපයක් හරහා නොකඩවා  සිදුවෙන අපේ ජීවයට බැඳි පැවැතුම් චක්‍රයක් බවයි. මරණයෙන් ගත කෙළවර වුව ද ඊ ළඟ උපත යනු නොකඩවා යන චක්‍රයේ ඊළඟ ඇරඹුම බව පෙනේ. උපන් මොහොත යනු මරණෙන් කෙළවර වූ දිවිය නැවත ඇරඹෙන මොහොතයි. එනම් ජීවිතයන් හරහා ක්‍රියාත්මක වන දෙයක මරණයෙන් නතර වූ තැන උපතින් ඇරඹීම නිසා, හා උපන් වෙළාව යනු දිගටම යන චක්‍රයක කඩඉමක් පමණක් වන බැවින්, උපන් වෙළාව යොදා ගැනීම නිවැරදි ය. ඒ අතර තවත් වැදගත් දෑ ඉඟිවෙන බව කියමි. මෙහි ඇති ගැඹුරුකම නිසා තවත් නොකියමි.

ග්‍රහචාරය අනුව සිදුවීම් ඇරඹීම යනු කාලය මැනීම වැනි පාලන දත්ත සැපයීමක් මිස ග්‍රහයන් එසේ කරනවා යයි කීම වැරදි බව තහවුරු වේ. අප උදේ ඇහැරවන්නේ හිරු නොව, හිරු නැඟෙන විට අප ඇහැරීමට පුරුදු වීම නේ ද? එම නිසා මේ ග්‍රහයන්ගෙ හැසිරීම අනුව සංවේදී වූ බලපෑම් තුලින් චක්‍රය පනගැන්වීම වෙන බව පෙනේ. එනම් අප තුල එවන් සංවේදී බවක් ඇති බව ය.

අද මෙම දැනුම යොදා තවත් විච්චූරණ දමා ඉදිරියට වන දේ ගැන පේන කියා මුදල් ගරන උන් ඇත. පාර දිගේ යන රථයක ගමන් මග ගැන ඉදිරියට කිව හැකි මුත් වාහනයේ තත්වය අනුව වෙනස් නොවේ ද? එසේම ජීවය පිළිබිඹු කරන තාරයත් අවතාරයත් මනාව රැක ගනී නම්, එන සියලු බලපෑම් වලට මුහුණ දිය හැකි විය යුතු ය. දුබලුන් නැසෙන බව කිව යුතුමය. එය විශ්ව නීතියකි. දැනුමෙන් පහසු දිවියක් උරුම වුව ද, පැවැත්මට අවශ්‍ය පැවැතුම රැකීම කෙතරම් අපූරු ද? ජීවිත දැනුම තුලින් කියන අභියෝග වලට බියවීම නොව ඒ අනුව ක්‍රියාත්මක වීම වඩා අඟනේ ය.

මෝටර් රථයක ක්‍රියාත්මක බව රැකීමට බොහෝ ක්‍රම හා විදි යොදා ඇත. එසේ නම් බොහෝ කල් පවතින නැවත නැවත තාරය (ගත) බිහි කල හැකි අතිසංකීර්ණ, කාලාණුරූප මිනිස් ජීවය එසේ පවත්වා ගැනීමට කොතරම් ක්‍රම හා විදි සැකසී ඇති දැයි කීම පහසු දෙයක් නොවේ. අද බොරුවෙන් යටපත් කර ඇති සිංහලයන් සතු ජීවිත දැනුම ඒ අතින් කොතරම් උසස් විය යුතු ද? මට ඇති ප්‍රශ්ණය නම් මෙම දැනුම තුලින්, එසේ මිනිසාට බලපෑම් කලහැකි කෙනෙකු සිටිය යුතු බවයි. මිනිසාට එය වෙනස් කර චක්‍රයෙන් මිදිය හැකි නොවන බව පැහැදිලි ය. එවිට කුඩා කල අසා, මෑතකදී අත් දුටු, මා ගැන ඵලාඵල බලා වැඩක් නැතැයි ද, අවශ්‍ය නම් ඒවා වෙනස් කල හැකි යයි ද කීවේ ඇයි දැයි සිතේ. එහෙත් කී කෙනා මිය ගොස් ඇති නිසා කීමට හේතු ඇසීමට කෙනෙක් නැත.

තිරිසනුන්ට බලනොපාන යමක්, උන් මිනිස් වෙස් ගත්ත ද තේරුම් ගැනීමට අපහසු ය. එහෙත් සිංහලයන් සතු ජීවිත දැනුම අපේ  තවත් පැති කඩක් දක්වන බව කියමි. ඒ මත ගෙතූ අනන්ත අප්‍රමාණ හින්දු කෙප්ප අත හැරි විට, එතුලින් මිනිස්කම රැකීමේ බැරෑරුම් කම එළි දකී. මිනිසකු ලෙස ඉපදී, එලෙස ජීවත් වී, නැවත මිනිසකු වීමට නම් මේ දැනුම කියන දෑ ඉතා වැදගත් ය. එනම් තාරයත් (ගතත්) අවතාරයත් (සිතත්) ඉහළම තත්ත්වයෙන් රැකීම තුලින් මේ කියන සියලු අභියෝගයන් ජයගත හැකි බව ය. බියට පත් වී තමන් රවටාගෙන, මුදල් දී කරන කියන දෑ තුලින් පාඩුවක් මිස ලාභයක් නැත. පරාජිතයන්ට ජීවිතය අකැප ය. එය සැම ජීවයකටම පොදු නියමයකි. 

7 comments:

  1. පවතින පද්ධතියට ජීවිත දැනුම ආදේශ කරල තියෙන්නෙ ඇයි? හුදෙක් ඒ පද්ධතිය ඇසුරෙන් එම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන හැටි දැනගන්නද? එය කොච්චර දුරට සාරථකද? ඡායා ග්‍රහයො දෙන්න ගැන අදටත් හරි මතයක් නෑනෙ..අහල්ල තියෙන්නෙ නම් කාලාන්තරයක් යනකම් ඉන්දියානු ජ්‍යෝතිශයෙ ඡායා ග්‍රහයො හිටියෙ නෑ කියල..මේ දෙන්නගෙ බලපෑම ප්‍රභල බව කියනව..නිතරම කේන්දරේ පිහිටන්නෙ සරල රේඛාවක..මේ නිසා අද ඉන්න ඈයො කියන්නෙ පෘථිවි කක්ෂයත් චන්ද්‍ර කක්ෂයත් කැපෙන අන්ත දෙක කියල. සර්පයෙකුගෙ හිසට සහ වලිගයට සමාන කරනව. ග්‍රහයන්ට ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරන්නෙ කේන්දරයේ ග්‍රහචාරය සලකද්දි..ඇත්තටම ඡායා ග්‍රහයන් යනු මොනවාද? කාල සර්ප යෝගය නම් විශේෂ යෝගයෙදි සියළුම ග්‍රහයන් ඡායා ග්‍රහයන් දෙදෙනාට මැදි වුනාම ජන්මියාට විශේෂ අඵල, ඵල උදාකරනව..දික්කසාද, මරණය වගේ ගේනව...විජය කුමාරණතුංගට, බණ්ඩාරනායක ආදී අයගෙ කේන්දරේ මේක තිබුණලු...මේ යෝගය නිසා ජන්මියට කුමන පැත්තකින් හෝ හිතට වද දෙන තත්ත්වයක් උදාවෙන බවයි කියන්නෙ..මෙය මම ප්‍රායෝගිකව එක්තරා කෙනෙක්ගෙත් දුටු තත්ත්වයක්...ඡායා ග්‍රහයන්ට මැදිවුනාම ශුභ ග්‍රහයන්ගෙ ඵලත් අහෝසි වෙනව..මොවුන්ගේ මෙම ප්‍රභලත්වයට හේතුව කුමක්ද? එය ශක්ති විශේෂයක්ද?
    මම අහල තියනව ඉන්ද්‍ර, වරුණ, යම කියන්නෙ යුරේනස්, නෙප්ටූන්, ප්ලූටෝ තිදෙනාට සිංහලයන් භාවිත කල නම් කියල..මෙය මම නිශ්චිතව දන්නෙ නෑ..ඔබට කුමක්ද මේ ගැන කියන්න තියෙන්නෙ? අද ජ්‍යෝතිශයට ඔය ග්‍රහයින්ගෙ නම් එහෙමත් ඈඳගන තියනවා. එහි පදනම කොයි වගේද? නැති නම් ග්‍රහ පද්ධතියට මේ ක්‍රමවේදය ආදේශ කල යම් අවධියක ඒ ග්‍රහයන් පිළිබඳව නොදැන සිටියා යන්න ඉන් ගම්‍ය වෙනවද? ජීවය බිහි කරන්න දැන සිටියා නම් එය නොදැන සිටියා විය නොහැකියි නේද? රාහු කේතු නම් ග්‍රහයින්ට ආදේෂ නොකර තැබීමට හේතුව කුමක්ද? නම් කිරීමේදී දැන සිටි ග්‍රහයන් ඉවර වුනා වෙන්න බෑනෙ..ඊට හේතුවක් තිබිය යුතුයි..වාස්තු විද්‍යාවෙදිත් වාස්තු සර්පයා / වාස්තු පුරුෂයා කියල දෙයක් භාවිතවෙනව අත්තිවාරමට ලණු අදිද්දි..මීටත් යොදා ගන්නෙ රාහු කේතු වගෙයි පේන්නෙ.

    පරණ මන්තර වැඩ කරන කෙනෙක් එක්ක කතා කරද්දි ඔහු පොඩි කතාවකට ගිහින් එහි කතා නායකය ගැන කියද්දි කිව්ව " මිනිහා රාහු වගේ, හරි උසයි " කියල..රාහු ඇවිද්දවන නිසා උසයි සහ කකුල් දිගයිලු...එක තැනක ඉන්නම බැරිලු..කේතු මේකෙ අනිත් පැත්ත..පුද්ගලයව හකුළුවල තියනව..ලග්නෙ හිටියොත් මුළු ගැන්නිල ඉන්න පුද්ගලයෙක්...මේ ලක්ෂණ වලින් කියවෙන්නෙ අතීතයේ හිටි ඒ නමින් යුක්ත වූ පුද්ගලයන්ගෙ පෙනුම සහ හැසිරීම් ස්වභාවයද?

    ඔය මාරකවලින් මිදවීමට වෙලාව හදා දීම් වගේ ඒව සම්බන්ධ කතා මිනිසුන් අතර තියනව නේද? යම් යම් ග්‍රහයන්ගෙ අපල කාල වලදි කරන ශාන්තිකර්ම, පළධන යන්ත්‍ර ආදිය එදා ඉඳලම අපි අතර පැවතුනු දේවල් නේද? එමගින් ඒ කාල සීමාව තුල ජන්මියගෙ අවතාරය හෝ තාරය බලවත්කිරීමක් සිදු කලා වෙන්න බැරිද? ග්‍රහ අපල දුරු වීමක් ලෙස මිනිසුන් දැක්කෙ ඒක වෙන්න පුළුවන්...මැණික්, ලෝහ වර්ග පැළඳීම තුලත් එවැනි දෙයක් තිබිය හැකිද? ඔය අපල කාල සීමවන්හිදී එක් එක ග්‍රහයාට අනුව ශාක වර්ගත් වෙන් කරල තියනව..රාහුට වැටකෙයා..එය දිනපතා ස්පර්ශ කිරීම, සාත්තු කිරීම හොඳ බව පැවසෙනව..මෙතන තිබිය හැක්කේ ශාකයේ ඖෂධීය ගුණයේ බලපෑමක්ද? නැතිනම් ඒවායින් නිකුත් වන යම් රශ්මි විශේෂයක බලපෑමක්ද?

    ඔය අපල වලදි රතන සූත්‍රය දේශනාව, බෝධි පූජා, දාන මානාදිය නියම කොට දීම තුල ජීවිත දැනුමට බුද්ධාගමද රිංගවා ඇති ආකාරය පේනව...සියුම්ව ජන විඥ්ඥාණය තුලට මිථ්‍යාව රිංගවීමක්..

    පංචාංගය ලෙස අපි දන්න දේ පහදා දෙන්න.. එම බෙදීම සිදුවන්නේ කුමන පදනමකින්ද? අද එය බෙදෙන විදිය හරිද? එය ජීවයට බලපාන්නේ කෙසේද?

    වගා නැකත් යනු මොනවාද? ඔබ ලිපියේ කියනව ජීවිත දැනුම වූයේ මිනිසුන් සඳහා කියල...ගොවිතැනේදී පරිසර හිතකාමීව භෝග වගාවට ජීවිත දැනුම යොදා ගැනීම තුල පේනව ජීවිත දැනුම ඕනෑම ජෛව පද්ධතියකට අනුගත කරගත හැකි බව..මම කලින් දවසක කියපු බැල්ලියකට පැටවුන් හම්බුනු වෙලාවක් දීල කේන්දරයක් හැදෙව්ව අපේ අත්තගෙ කාලෙ සිද්ධියත් මතක් කරන්නම්, ඔබ එතනදි කිව්ව එය ජීවිත දැනුම වැරදි විදියට භාවිතයක් කියල..එහි වරද කුමක්ද? මිනිසුන් උපදින්නේ ජීවත්වන්නේ යම් නිශ්චිත රාමුවක් තුල නම් අනෙකුත් ජීවීන්ටද එය පොදු විය යුතුයි නේද? ඒ ජීවීන්ගේ ඉදිරිය සම්බන්ධවද උපත් වෙලාව මත පදනම්ව පෙරැයීම් කල හැකි විය යුතුයි නේද?

    ජීවය නිර්මාණය කල අය නිර්මාණය වූයේ කෙසේද? ඔවුන්ගේ නිපැයුම ජීවය පමණද? අජීව දේ ඉබේ හටගත්තාද?

    සිංහල ක්‍රමය වූ භාව කේන්දර ක්‍රමය වඩාත් නිවැරදි බවයි අසා ඇත්තේ..ගණනය කිරීම් සංකීර්ණයි ඉන්දියාවේ යැයි කියන දළ කේන්ද්‍ර ක්‍රමයට වඩා...ඇරත් අද තියන ලිත්වලින් ඒ ක්‍රමයට කේන්දර හදන්නත් බෑ වගේ පේන්නෙ..ක්‍රමය තියනව මගෙ ලඟ..නමුත් තවම ඒක බලන්න කාලයක් ලැබුනේ නෑ..දළ කේන්ද්‍ර ක්‍රමයේ යම් යම් අඩුපාඩු තිබුණත් ඉක්මනින් ගොඩනැගිය හැකි නිසා මුදලට වැඩ කරන්නන් අතර එය ඉතා ප්‍රචලිත වූ බව පේනවා..

    ReplyDelete
    Replies
    1. Part 1

      ඔබේ විචාරීම අගයමි. එය අපට දායක වන කාර්යයක් බව කියමි.

      "පවතින පද්ධතියට ජීවිත දැනුම ආදේශ කරල තියෙන්නෙ ඇයි? ..." - ඔබ අදහස් කලේ මෝටර් රථ ගැන කී එක ද? සාරය ගත් විට, ජීවිත දැනුම බොරු යයි අවලාද නඟන අධ්‍යාපනයෙන් උගතුන්, තමන් දන්නවා යයි කියන බටහිර දේවල් ගැනත් නොදත් බව පෙන්වීමක්.

      විජය කුමාරණතුංගට, බණ්ඩාරනායක ආදී අයගෙ කේන්දරේ තිබුනා යයි කියන කාල සර්ප යෝගයට අනුව එවැනි දෙයක් ඇති අන් අයටත් වේ යයි කීම, අපි ඔක්කොම එක වගෙයි කීමට පදනම දානවා නේ ද? යම් ආකාරයක පිහිටීමක් හැමෝටම ඒකීය ඵලයක් දේ නම් ඔය කතාව වළංඟු වෙනවා. ඒත්, ගත් නම් දෙක අනුව, මරණය වීම, මා කී විශේෂ ජීවිත පාලන උපක්‍රමය තහවුරු කරනවා. පරදින අය කියෙන්නෙ නුසුදුසු අය. එයාල රැකිය යුතු ද? මෙවැන්නන් මැරේ නම් පැවැත්මට හොඳ ය.

      "..මොවුන්ගේ මෙම ප්‍රභලත්වයට හේතුව කුමක්ද? එය ශක්ති විශේෂයක්ද?" - ජීවත් වෙනවා කියන්නෙ අභියෝග වලට මුහුණ දීමක්. ඒ වගේ ම ඉලක්ක සපුරා ගැනීමට යාමේ දී, ඊට සරිලන බාහිර බලපෑම් එමටයි. උදාහරණ ලෙස බණ්ඩාර"නායක" එංගලන්තෙ හිටිය නම් මොකද වෙන්නේ. ශක්තිය ගැන කියන කොට අර අත්තම්මා (කෙහෙල් මලී 2) ටෙලිනාට්‍යයයෙන් ඇහෙන විශ්ව ශක්තිය මතක් වුනා. එවැනි දෑ ගැලවිජ්ජාවට කියන නොදත් දේ නොවේ ද? ශක්ති විශේෂයයක් (සූර්යාලෝකෙ වගෙ) එක එකාට වෙන වෙනම තෝර තෝරා ක්‍රියාත්මක වීමට නම් එසේ කිරීමට යම් අංඟයක් අවශ්‍ය වෙනවා. තාරයත් අවතාරයක් බොහෝ කල් සිට පවතින ඒවා. ඒ පැවතුම අනුව උපතෙන් උපතට, යන දිසාවත් ඊට ආවේණික දේවලුත් තීරණය වෙනවා. ශක්තිය කියන එක මානව කතාවක්. එහෙම එකක් ස්වභාවයේ තියෙනව ද?

      "මම අහල තියනව ඉන්ද්‍ර, වරුණ, යම ...." - සමහර විට මේ නම් සියල්ලම එක් බලවත් කෙනෙකුට කියන ඒවා විය හැකියි නේ ද? ඉන්ද්‍ර කියන්නෙ හිරු කියන එකයි. වරුණ, වෛශ්‍රවණ (වෙසමුණි), විෂ්ණු වුව එක අයකුගේ නමෙන් එන බව පෙනේ. මට හිතෙන හැටියට, යුරේනස්, නෙප්ටූන්, ප්ලූටෝ යොදන අය හිතන්නෙ අපි උදේට ඇහැරැන්නේ සූර්යයා කූද්දනවා කියලයි.

      ".... රාහු කේතු නම් ග්‍රහයින්ට ආදේෂ නොකර තැබීමට හේතුව කුමක්ද?..." - මේ දෙක ග්‍රහයන් නොවන නිසා, මේ නම්, ග්‍රහ නාම ලෙසම ගැනීම හරි නැහැ. සූර්යයාට හිරු කියන්නෙ ඇයි? එහෙනම් හිරු උන්නු තැන, රුහුන, කියන්නෙ සූර්යයා උන් තැනටම ද? මේ ග්‍රහ නාම යටතේ ඇති විස්තර ගැලපෙන්නෙ මිනිසුන්ට. ඒ නිසා නාම දෙවිදියකට භාවිතා කරපු බව පෙනෙනවා. ඒ වගේම සම්බන්ධ කිරීමක් තියෙනවා. ඊට සමාන දෙයක් තියෙනවා. ඒ තමයි සිංහල හෝඩිය හා ගණන් කිරීමට යොදා ගත් වචන. මේවා ඉපැරණි කාලෙ භාෂාව තුලට නීති රීති ගෙන ඒමට කලින් වූ දෑ තමයි. රාහු කේතු ගැන අදත් මිනිසුන්ට දැනූමක් නැහැ. පුරුද්දට කියෙව්වට හරි තේරුමක් දන්නෙ නෑ. මේ ගැන යමක් පෞද්ගලිකව ඔබට කිව්වා මතකයි.

      "රාහු ඇවිද්දවන නිසා උසයි සහ කකුල් දිගයිලු...එක තැනක ඉන්නම බැරිලු..කේතු මේකෙ අනිත් පැත්ත..පුද්ගලයව හකුළුවල තියනව" - මේ කතාව තුල තියෙන්නෙ තම තමන් දකින විදිය හා හිතන විදිය. සමහරු මේ වගේ හිතළු කියනවා. මගේ ලග්නෙ කේතු (මුල් තැන). හතේ රාහු ((මුල් තැන). තමන්ගෙ තැන ඉන්න කොට ප්‍රබල නිසා බොහෝ දේ තේරුම් ගන්න පුළුවන්. ජීවිත බිහිවෙන, පවතින හා එතුලින් ලැබෙන ඵලය දැන ගැනීමෙන් තොරව මේ ගැන කීම ඵල රහිතයි. අතීතයේ පමණක් නොව අදත් මේ නාම වලින් දක්වන ගති ඇති අය බොහෝ ඉන්නවා.

      "ඔය මාරකවලින් මිදවීමට...ග්‍රහ අපල දුරු වීමක් ලෙස.... " - මේවා හොඳයි සැකය දුරු කර ගැනීමට හා බිය තුනී කිරීමට. ඒත් මැරෙණ එක නැවැත්වීම, ඒ ඒ කාලවල ඒ පරිදි අත්විඳින දේ වෙනස්වීම වෙනව ද? සමහරු රක්ෂණ සහතික දීල මුදල් ගරනවා. වෙන හොඳක් තියෙනවා නම්, ඒ අප තුල ඇති මනුෂ්‍යයෙක් වගෙ ජීවත්වීමේ ආශාව ප්‍රබලව ඉස්මතු වීමයි.

      "......බුද්ධාගමද රිංගවා ඇති ආකාරය පේනව...සියුම්ව ජන විඥ්ඥාණය තුලට මිථ්‍යාව රිංගවීමක්.." - ඔව්. කාට ද යම් යහපතක් වෙලා තියෙන්නෙ? සරණ යනවා පිහිට පතනවා කියන්නේ හිඟනකම එළි දැකීමක්. ඔය ක්‍රම වැඩ කරනවා නම්, ඔක්කොම ඒවා කරනවා. ඇත්තටම මිනිසුන්ට ඔය රටාව වෙනස් කිරීමෙ හැකියාව නැහැ. ඒකත්, දේවියන් කරන කියන දේත් වෙන වෙනම හඳුනා ගන්න ඕන.

      පංචාංගය ..... බෙදීම සිදුවන්නේ කුමන පදනමකින්ද? ... එය ජීවයට බලපාන්නේ කෙසේද?" - බෙදීම හින්දුකමේ ලක්ෂණ. වෙන් කිරීම තුල ඒ ඒ අංඟයට දෙන අගය එළි දකිනවා. පංචාංගය කියන අනාවැකි කීමට යොදාගත් හින්දු දේ ගැන http://en.wikipedia.org/wiki/Panchangam බලන්න. මම මේ ලිපියෙ අනාවැකි කීම හාස්‍යයයට ලක් කර ඇත. මේ ගැන මම පහල වෙනම ලියන ප්‍රතිචාරෙන් විස්තර දෙමි.

      ctd...

      Delete
    2. Part 2

      "වගා නැකත් යනු මොනවාද? ඔබ ලිපියේ කියනව ජීවිත දැනුම වූයේ මිනිසුන් සඳහා කියල........" - මම කතා කලේ අවුරුදු 120ක කාලය සුවිශේෂ ආකාරයට බෙදා ක්‍රියාත්මක කරන ආකාරය ගැනයි. මේක වළංඟු මිනිසුන්ට විතරයි. උදාහරණයක් ගතහොත්, හැම මොහොතේම, ඔය කියන මාරක, අඵල උපද්‍රව, දිවීම, නැවතීම වැනි සියලු දෑ වලට සතුන් මුහුණ දිය යුතුයි. දැනුම නිසා මිනිසාට මේවා ඒ විදියට වෙනවා ද? ග්‍රහයන්ගෙ බලපෑම් නිසා හැම දේම වෙනවා යයි කියන අය, ගොවිතැනටත් ඒක යොදා ගෙන. සමහර අය ඔය අනාවැකි නොබලන්නෙ වැසිකිළි යාමට පමණයි නේ ද? "සිංහලයන් සතුව ඇති ගොවිතැන් කිරීමෙ දැනුම" මෙහි කී ජීවිත දැනුම වගේම සුවිශේෂ එකක්. ඒකට යොදා ගන්නේ තිරිසන් සතුන්, ශාක වැනී ජීවීන්ට සුවිශේෂ වූ ස්වාභාවික රටාව යොදා හැදූ එකක්. ඒ ගැන දැනට කතා නොකරමි. බුද්ධලා හිරුගෙ දේ ආරූඪ කරගත්ත වගේ, අනාවැකි කියන ජ්‍යෝතිෂයය (predictive astrology) එම දැනුම තිබුනු තැනට රිංඟලා. අද "සිංහලයන් සතුව ඇති ගොවිතැන් කිරීමෙ දැනුම" මියගිය තරම් ය. තවම, පණ දීමටවත්, වැඩිදියුණු කර කීමටවත් සුදුසු කල නොවේ.

      ".....එහි වරද කුමක්ද? මිනිසුන් උපදින්නේ ජීවත්වන්නේ යම් නිශ්චිත රාමුවක් තුල නම් අනෙකුත් ජීවීන්ටද එය පොදු විය යුතුයි නේද?" - බල්ලො හා මිනිසුන් වර්ග දෙකක ජීවීන්. බල්ලො උපදින කොට මිනිසුන් නොඉපදීමටත්, මිනිසුන් උපදින කොට බල්ලන් නොඉපදීමටත් නම්, ඒ දෙගොල්ලො යම් ආකාරයක එකඟතාවයකට ආ යුතුයි නේ ද? මිනිසුන් ඉපදීම සුවිශේෂ වුවත්, බල්ලන්ට ඇති වැදගත්කම මොකක් ද? මිනිසුන් උපදින්නේ, ජීවත්වන්නේ යම් නිශ්චිත රාමුවක් තුල බව අත් දකිමි. ඒත් බල්ලන්ට එවැනි විශේෂ රාමුවක් තිබේ ද? මිනිසා හැර අනෙක් සියලු ජීවින්ට පොදු වූ නිශ්චිත රාමුවක් තුල ඇති ජීවිත දැනුම, මිනිස්කමට සීමා වූ කීමට අදාල නැත. මිනිසුන් ද බොහෝ කලක් ඒ ජීවින්ට පොදු වූ නිශ්චිත රාමුව තුල ජීවත් වුනා. මගේ කතාව මිනිසුන් ලැබූ දැනුම තුලින් බිහි වූ නූතන ජීවන රටාවට සීමා වෙනවා.

      "ජීවය නිර්මාණය කල අය නිර්මාණය වූයේ කෙසේද? ඔවුන්ගේ නිපැයුම ජීවය පමණද? අජීව දේ ඉබේ හටගත්තාද?" - මෙය ලෝකෙ මැවූ දෙවියන් හැදුනේ කෙසේදැයි ඇසුවා වැනි ය. මම කලින් යම් යම් තොරතුරු දී ඇත. දරුවකු නිර්මාණය වන්නේ ඉතාමත් සරල ස්වභාවික විදියකිනි. එය ජීවය නිර්මාණය කල අයට ද පොදු වේ. ඉන් එහාට යන යම් කිසි සුවිශේෂ කොටසක් මුල් ම වර ජීවය බිහි කරන්නාට තිබිය යුතු බව පරිසර දත්ත සනාථ කරයි. එය මත්ස්‍ය අවතාරය ලෙස නම් කර ඇත. දස අවතාර වලින් ඉතිරි නවය සුළු කොටස් ලෙස හෝ සියලු ජීවීන්ට උරුම බව උන්ගේ හැසිරීම පෙන්වයි. මත්ස්‍ය අවතාරය ඇත්තෙ එක් අයෙකුට පමණක් නිසා ඒ ගැන කීව ද දැනට ඵලක් නැත. යම් ආකාරයක හෙළිකිරීමක් ලංකාවතාර සූත්‍රය තුල දකිමි. එය සැඟවී ඇති නිසා පැහැදිළි නැත. එක්තරා ආකාරයක ක්‍රියාවලියක් හා ඊට අණුකූලව ද්‍රව්‍යමය නිර්මාණ බිහිවීමක් මෙතුලින් කෙරේ. එය සිතීම වැනි ක්‍රියා ඇති අංඟ බිහි කරන්නකි. ගත යනු සිතීමට අනුව අංඟ බිහි වීමක් නේ ද? මම ජීවය කිහිප වරක් පැහැදිලි කලෙමි. නොදැනුවත්වම ජීවය යනු කුමක්දැයි කලින් ලිපියක කීවෙමි. ජීවය බිහි කිරීම අජීවි කොටස් එකතු කිරීමෙන් සිදු නොවේ ද? හට ගැනීමක් හෝ නැති වීමක් නොවන බව අප වටා ඇති දෙයින් තහවුරු වේ. ඒ අඩුවීමක් හෝ වැඩිවීමක් නොවී, වෙනස් වීමකට පමණක් භාජනය වීම පරිසරය තුලින් තහවුරු කරන නිසයි. වෙනස් වීම ද රටාවකට වේ. මා කියන සියල්ල තුලින් අවසානයේ මෙයට පිළිතුර සොයාගැනීම ඉලක්කයයි.

      "සිංහල ක්‍රමය වූ භාව කේන්දර ක්‍රමය....." - ????. අද සිංහල ක්‍රමයක් තිබිය හැකි ද? අනාවැකි කීමට බිහි වී ඇති උපක්‍රම ගත හොත්, ඒවා නිවැරදි නම්, කියන දේ එසේ සිදුවිය යුතුයි නේ ද? කියන දේ එසේ නොවේ නම් මොනව ද කියන්නෙ? පහත මගේ පොදු ප්‍රතිචාරය බලන්න.

      Delete
  2. මම ලිපිය ලියුවෙ අද අප අසා ඇති අනාවැකි කියන්නන්ගේ පැත්තෙන් නොවේ. ඊට දායක වූ, මිනිසුන්ට බලපාන, එහෙත් මිනිස් පාලනයෙන් තොර කොටසක් ඇති බව හා එය කල හේතුව අරුත් දීමටයි. දුන් හේතු හා බලාපොරොත්තු වන ප්‍රථිඵල කීමටයි. එහෙත් තමන් අත්දුටු දේ මත වෙන දේ අනුව, ඊට හේතු වුනු ග්‍රහ පිහිටීම් නිසා යයි නොකීවෙමි. ඒවා ආරම්භක සංඥා මිස කරන්නට මුල් නොවන බව කියමි. කෙරෙන ආකාරයට දායක වන දේ ද සුළුවෙන් කීමි.

    ගුටි කන එකා කියන කතාවත්, ගහන එකා කියන කතාවත් සම නොවේ. අනාවැකි තුලින් තමන්ට වෙන දේ කීම අප දනිමු. ඒත් මම කියන්නෙ ගහන එකා කියන කතාවයි. ඒ වෙනස දකින්න. උදාහරණ යනු හඳුන්වා දීමට මුළපිරීම් මිස කියන දේ නොවේ. තවත් විදියකින් කියනවා නම්, මම කීවේ මිනිසුන් අත් දකින දෙසින් නොව අනෙක් දෙසින් ය. එනම් මිනිසුන් අත් දකින දේ වීමට මග පෑදූ පැත්තෙනි.

    මෙම ලිපිය සුවිශේෂ ය. කිසිදු ජ්‍යෝතිෂ අනාවැකි කාරයකුගෙන් නෑසු දෙයක් කීමි. එනම් කිසිවකු උපන් වෙලාව යොදා ගැනීමට හේතුව නොදනී. මම එහි අරුත කීමි. දිගට යන ක්‍රියාවලියක එක කොටසක් මරණෙන් කෙලවර වුව ද, ඊළඟ කොටස උපතෙන් ඇරඹෙන නිසා, මෙය අනාවැකි කාරයන් නොදකින එහෙත් වඩා වැදගත් තොරතුරකි. අද කාර්යාලයෙන් බැහැර යන්නා, නැවත රාජකාරි අරඹන්නේ නැවත කාර්යාලයට ආ පසු නේ ද? මිනිසා යන ගමනේ අරුත ද සැඟවී ඇත. එනම් අපේ නිමැවුමේ අරුත ද කියයි. අප ඕපපාතිකයන් නොව, ඉතා වැදගත් මෙහෙවරකට යෙදීමට සැකසීමක් මෙම සුවිශේෂ ජීවන රටාව තුලින් දිස් වේ. එය මොකක්දැයි ඔබ දන්නවා ද?

    ReplyDelete
  3. සමාවෙන්න, මා මින් "පවතින පද්ධතියට ජීවිත දැනුම ආදේශ කරල තියෙන්නෙ ඇයි? ..." අදහස් කලේ පවතින ග්‍රහ තරු පද්ධතියට එය ආදේශ කොට ඇත්තේ ඇයි යන්නයි..

    ReplyDelete
    Replies
    1. කැලුම්,

      මගේ පැහැදිලි කිරීම් තුලින් පිළිතුර ලැබුනා යයි සිතමි.

      අද පවතින දේවල් සිංහල නොව හින්දු උරුමය පෙන්වනවා. අද බුදකම ලෙස හින්දුකම මුල් තැනේ නේ ද? ඒ ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරීමකි.

      අද බහුතරය අනාවැකි කියන්නේ ග්‍රහයන් තම ගමන තුලින් අපේ ජීවිත ගමනට බලපාන බව කියමිනි. සරලව කියනවා නම්, ඔවුන්ට අනුව, උදාවන හිරු අප ඇහැරනවා කියනවා වගේ දෙයක්. මම කියන්නෙ ඉඳුරාම වෙනස් දෙයක්. එනම් අප ඇහෙරෙන වෙලාව, හිරු උදාවත් සමඟ බැඳි, අපේ අවශ්‍යතාවයට සරිලන, අප විසින් පුරුදු පුහුණු කල අපේම ක්‍රියාවක් බවයි. වෙනස පැහැදිලියි නේ ද? ඒක ග්‍රහ පද්ධතියට ම යෙදූ විට, ඉතා සංකීර්ණ කාල මානයක් බිහිවෙනවා නේ ද? රාහු කේතු නිසා එම කාල මානය තවත් සංකීර්ණ වෙනවා.

      මේ රාහු කේතු යන පද උඩ යට පෙරළූ විට හිරු (හුරා) හා සිකුරුට සම වෙනවා (තුකේ, ශුකේ හා ශුක්‍ර=සිකුරු, යන වදන් මිනිස් වහර තුලින් බිහි වේ. සුඛ-විහරණ යන පදයත් විමසන්න). ඒ තුලින් සැබෑ අරුත් දැක ගන්න පුළුවන්.

      Delete
  4. "කාන්තා යට තෙමීම" කියන වචන තුන Google search කලාම මේ බ්ලොගය දිස්වන්නේ මෙසේ ය.

    ""මිනිස්කම: March 2013
    sinha-ali.blogspot.com/2013_03_01_archive.html‎
    Mar 22, 2013 - මෙම උඩ යට මාරු වීම කොතරම් ද කියනවා නම් ඇත්තට ම ..... කරගෙන ඉන්න) හදන කොට මහ වැස්සක් වැහල මාව තෙමීම වගේ දෙයක්. .... පිළි තුලින් කාන්තා රූපය ගැනීම ද ඉතා වැදගත් දෙයකි.""

    ඒත් ලිපිය තුල "කාන්තා රූපය" හෝ "කාන්තා" ගසා සෙව් විට නොදැක්කෙමි. අනේ ද කිව්ව. ගූගල්, ගූගල ලෙස මීවන කී බව මතක් වුනා.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.