Saturday 9 February 2013

දියසේන කියන්නේ කවුදැ යි බලමු

දියසේන ගැන කියන කොට ඉතාමත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි වර්තමානය හා අතීතය අතර වෙනස. අතීතයේ සිංහලයන් කාලය මැනීම සඳහා යොදා ගත්තේ මහ සම්මත මනු දෙවියන් සිංහලයන්ගෙ නායකයා වුන දින සිට ගැනෙන මනු වර්ෂ ගණනය කිරීමයි. මම දෙවියන් කිව්වේ සිංහල අරුත ගෙන. ඒ ගැන පසුව ලියනවා. එසේ ම සිංහලයන් කී ආකාරයේ දෙවියන් සිටින බවට ස්වාභාවික දත්තත් සපයනවා. සිංහලයන් කී ආකාරය පදනම් කරගෙන විවිධ ජාතීන් තමන්ගෙ දෙවියන් ද බිහි කර ඇත. සමහරුන් ඒ සිංහල අරුත මුළුමනින් උඩුයටිකුරු කර, තමන්ගේ ඕනෑ එපාකම් පිරිමසා ගැනීමටද දෙවියන් බිහි කර ඇත. එවැනි සමහර අරුත් සිංහලයන් කී රාක්ෂයින්ට සම වේ.

මෙහිදී මනු වර්ෂය ඇරඹෙන්නේ බක් මස අවසන් වී නව වසර උදා වන විට හෙවත්, මහ සම්මත මනු මාළිඟයට සූර්යයා මුදුන් වන මොහොතේය. ඒ අනුව මනු වර්ෂය කියන්නේ සූර්ය වර්ෂයක් හෙවත් සූර්යයා වටා පෘථිවිය වරක් යාමට ගත වන කාලයයි.

අද පවතින වහරේ ඇති ග්‍රේගරියන් ලිත ද මෙම සූර්ය වර්ෂය අණුකරණය කර බිහි වූ වසරක් යොදා ගත්තකි. සුළු වෙනස්කම් හැර ගත් විට, මනු වර්ෂය හා ග්‍රේගරියන් වර්ෂය සමාන යයි ගත හැක. වෙනසකට ඇත්තේ ග්‍රේගරියන් වර්ෂය පටන් ගන්නේ මනු වර්ෂය ඇරඹෙන බක් මස මැද භාගයේ නොව ඊට මාස තුන හමාරකට කලින් පමණ වීම ය. මේ වර්ෂ දෙවර්ගය ගත් විට, මාස ගණනය කිරීම තුළ මසකට අයත් දින ගණන වෙනස් වන අතර එක වර්ෂයකට ඇති මාස ගණන සමාන ය. එනම් දොළොසකි (12). එහෙත් දිනකට වෙන් වන කාළය ගතහොත් එය පෘථිවිය තම අක්ෂය වටා වටයක් යාමට ගත වන කාළය ලෙස දෙවිදිය ම යොදා ඇත. සිංහල විදියට දිනකට පැය හැටක් ද, පැයට විනාඩි හැටක් ද විනාඩියට තත්පර හැටක් ද වේ. ග්‍රේගරියන් විදියට පැය ගණන විසි හතරකට අඩු වී අනෙක් බෙදීම් නොවෙනස් ව ඇත. මනු වර්ෂ ගණන දැනට අවුරුදු තිස් දහස (30,000) ඉක්මවා ඇත. කවුරු කාගෙන් පිටපත් කලා දැයි පැහැදිළි ය. අඩියට අඟල් 12 වීම මත, පැය ගණන 24 වීමත් රෑ දවල් වෙන් කල විට අරුමයක් නොවේ.

මා මෙසේ කාලය මැනීම ගැන කීවේ කිසිදු ජීවිත දැනුම භාවිතා කරන්නකු මෙතෙක් ඒ ගැන දත් බව නොපෙන් වූ නිසාය. එය කොතරම් බරපතල වැරදීමක් දැයි කියනවා නම් දියසේන කුමාරයන් ඉපැදුන බව වත් සොයා ගැනීමට කිසිවෙකු සමත් නොවූ බව හෙළි විය. අප දියසේනයන් ගේ උපත සෙවීමට හේතු වූයේ, ඒ උපත වන දිනය, තැන පමණක් නොව වෙලාව ද විනාඩි ගණන දක්වා කියා තිබීම ය. තවත් බොහෝ පෞද්ගලික හේතූන් තිබුන ද, ප්‍රධාන පරමාර්ථය වූවේ එවැන්නකු හා ගැටී අපේ දැනුම පරික්ෂා කිරීමට ය. එසේම, සිංහලයන් බොරු නොකී බව ද, කියා ඇති විස්තර අනුව සිටිය හැක්කේ එකම පුද්ගලයකු බව ද තහවුරු වූ නිසයි. දියසේන කුමාරයන් ගැන අද ඇත්තේ ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට ගැණුනු වෙලාවක් ය. දිනය මාසය පැය විනාඩි වැනි දෑ සෘජුව ගණනය කල හැකි වුව ද, මුලින් පැවැති සිංහල විදියට කී වසර, ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට හරවන විට මේ දෙකේ ආරම්භක දිනයන් නොතැකුව හොත්, ගණිතමය "වරදාගත් වෙනස" වසරක් විය හැක. මේ වැදගත් කාරණය කතාබහට ලක් නොවීම නිසා, ජීවිත දැනුම යොදා ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට ගණනය කරන අය ඒ ගැන නොදත් බව අපට ප්‍රත්‍යක්ෂ විය. අප සොයාගත් තොරතුරු අනුව ග්‍රේගරියන් වර්ෂ 1959 අප්‍රේල් (04) මස පහ (05) දින උදේ පැය හයයි විනාඩි හයට (06.06) ට දියසේනයන්ගේ උපත සොයා කදමළු බැඳගෙන එක්තරා ගමකට මිනිසුන් ගොස්, කිසිදු හෝඩුවාවක් නැතිව හිස් අතින් ආපසු තම ගම් බිම් බලා ගොස් ඇත. අදත් ඒ සිදුවීම් මතකයේ ඇති අය සිටීම අපට තොරතුරු රැස් කිරීමට පහසුවක් විය.

මේ කාළය මැනීමේ, විශේෂයෙන් ම වර්ෂය ඇරඹෙන දිනයන් ගේ වෙනස, මේ මාතෘකාව යටතේ ඇති දත්ත විග්‍රහ කිරීමට අවබෝධ කර ගත යුතු ය. මේ ලිපිය ලියන්නේ ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට අනුව 2013 පෙබරවාරි (02) මුල දිනයක දීය. අපි සියලු දෙනාම 2013 වසරට පා තබා ඇතැයි සිතමු. එහෙත් ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට අණුරූප වූ සිංහල (මනු වර්ෂ අතහැර ග්‍රේගරියන් වර්ෂයට අණුරූප වසර එම ගණනින් ම ගත් විට) වසර,  එනම් සිංහල වසර 2013 ලබන්නේ ලබන අප්‍රේල් 12-13 දින දී ය. මේ ලියන දින වකවානුව අයත් වසර වනුයේ සිංහල වසර 2012 ය. එසේ නම් ආදි සිංහලයන් කී දෙයක් පරිවර්තනය කර, අණුරූප වසර 2013 අප්‍රේල් මස පහ (05) දින සිදු වේ යයි කීවේ නම්, අප එම දිනය කියන්නේ තව මාස දෙකකින් (02) එන අප්‍රේල් පහ (05) ලෙස ගත හොත්, සැබැවින් ම අප කතා කරන්නේ අණුරූප සිංහල වසර 2012 දී වන දෙයක් නොවේ ද? අප ඔළුවෙන් හිටගෙන බැලුවත් එදිනට එම සිදුවීම නොවී නම්, කී කතාව බොරුවක් ද? නැත් නම් අප වරදවා ගෙන අනා ගත්ත ද? සැබැවින් ම මෙම අනාගැනීම දියසේනයන්ගේ උපත ගැන කී විට ද සිදු වූ බව ප්‍රත්‍යයක්ෂ විය.


දැන් අප සොයාගත් දේ ගැන කතා කරමු. මාතර දිසාවේ, දියසේන 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුනා යයි මිනිසුන් සිතා, බලාපොරොත්තු කඩ කර ගත් ගමට නුදුරු ගමක උපන්නකු ලෙස, මම ද කුඩා කල සිට දියසේන ගැන අසා ඇත්තෙමි. නම දුටු විගසින් එම නමේ ස්වරූපය ඒ පැත්තට උරුම වූ රටාවක් ඇති එකක් බව තහවුරු වේ. මේ දියසේන උපදිනවා යයි කියා ඇත්තේ ද මාතර දිසාවේ ය. කලින් ලිපියක කී මහ සම්මත මනු ද උපන්නේ මාතර යයි කියවේ. මෙම ප්‍රදේශයේ වැදගත්කම වචනය තුල ඇත. මාතර යනු "මව් තැන" යන අරුත දෙන වදනකි. "රුහුණු" පළාත යනු "හිරු උන්නු" පළාත වේ. මේ වදන මිනිසා ගොරිල්ලන් ලෙස හඬ නගන යුගයේ බිහි වී ඇත. පසු කලක දෙමළ ලෙස වෙන් කලේ මේ ආකාරයට ශබ්ද නැගීම හිර වූවන් බව පෙන්විය හැක.  පැළයක් හැදී වැඩී අතු බෙදී මහ රුකක් වන්නා සේ මිනිසා තිරිසන් බව හැර අද ඉන්න තැනට ඒමට කෙතරම් බෙදී අයින් කලාදැයි යන බව විවිධ ජාතිකත්ව හෙළි කරති. දියසේන සොයා යාමේ දී මනු ද එම පෙදෙසේම උපන් බව තහවුරු වුනේ ගමේ නම නිසා ය. මිනිසුන් තැන මාරු කල ද, අවශ්‍ය දේ ද රැගෙන යන ගතිය ගැන කලින් ලිපියක සඳහන් කලෙමි. මේ අවශ්‍ය දේ යටතට අවට පරිසරයේ ඇති දේවලට කියන නම් ද රැගෙන යන බව කිව යුතුය. සිංහලයන් වචන වලට ස්ථීර අරුත් දීම ද වැදගත් විය. මෙවැනි හැසිරීමක් ඉංග්‍රීසි කොළණි තුලද දැකිය හැක. Liverpool යන නම කී තැනකට දමා ඇති දැයි බැලූ විට මා කියන දේ පැහැදිලිය.

අද දියසේන යන නම භාවිතයේ නැත්තේ නූතන වචන රටාව වෙනස් වීම නිසාය. ආදි කල, දියසේන යනු දිය දෙන කෙනා යයි අරුත් ගති. එකල දිය යයි කී දෑ සුළු දිය මගින් තහවුරු වේ. ඒ අනුව, දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැක. මෙහි දී අදහස් වනුයේ පියා (තාත්තා) යයි කීම ය. පියා යන වදන දිය යන්නෙන් බිහි වූ බව පෙනේ. කලින් ලිපියක තාත්තා යන වචනය ගැන කීවෙමි. එසේම දිය යයි වතුරට ද කියවේ. එකල වතුර ජීවිතයත්, ගින්න මරණයත් සනිටුහන් කලේ, කැළෑ ජීවිතයේ දී ජීවිතය රැකෙන්නේ වතුර ලැබුනොත් පමණි. එසේ නම් දියසේන යනු වතුර සොයාදෙන කෙනා හෙවත් ජීවිතය දෙන කෙනා යයි කිව හැක. අද ද මාතර පෙදෙසේ පියසේන (පියා+කෙනා) සිංහල ගම්වල බහුලව යොදන පිරිමි නමකි. වචන ව්‍යාප්ති විදි අනුව ආදි සිංහලයන් කී දියසේන සෙවිය යුත්තේ එම නමින් නොව එහි නූතන වදන වන පියසේන යෙදීමෙනි.

දී ඇති ඉතාමත් ම පැහැදිලි තොරතුරු මත කියපු වෙළාවට ඉපදිය හැකි ගණන ද සීමිත ය. එසේම හැකියාවන් අනුව නිකමකු ද නොවේ. අනිවාර්යයෙන් ම එම ගමේ ප්‍රසිද්ධ කෙනෙකු විය යුතුමය. එසේ නම් සෙවිය යුත්තේ සුවිශේෂ තැනක් ඇති කෙනෙකු ගැන ය. අපට කිසිදු විදියකින් 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, සැබැවින් ම සිංහල විදියට 1958 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, ගමේ ප්‍රසිද්ධ පියසේන කෙනෙකු කිසිදු ගමකින් සොයාගත නොහැකි විය. අප ඒ ප්‍රදේශයේ ඇති ග්‍රාම නාම වල ද අරුත් බැලුවෙමු. ඊ ළඟට කලේ සිංහල වසර ක්‍රමය අනුව 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, ගමේ ප්‍රසිද්ධ පියසේන කෙනෙකු සෙව්වෙමු. මෙදින එම පෙදෙසට සූර්යයාගේ මුදුන් වීම ද, උපදින වෙළාවේ සූර්යයා උදා වීම ද සුවිශේෂ කරුණු ය. සැබැවින්ම එම නමින්, එම දින, කී වෙළාවට උපන් කෙනෙකු ඇති බව සොයා ගත්තේ අමුතුම ආකාරයකට ය. ඔහු කොතරම් ප්‍රසිද්ධ දැයි කියනවා නම්, ගම නොව මුළු ලෝකයම ගෙන බැලිය යුතු ය. ඔහු ප්‍රසිද්ධියට අකමැති, දැන් වෙනස් නමකින් ඉන්න අයකු වූව ද, ලොවම දන්නේ ඔහු දුන් සුළු දැනුමෙන් මිස මුල් නමින් නොවේ. එම සුළු දැනුමෙන් කොටසක්, ලොවේ ඉහලම තලයේ සිටින විද්වතුන් සිසුවන් කරන තරම් ප්‍රබල ය. තෝරාගත් වෘත්තියේ සුදුසුකම් ලැබීමට ද, ඔහු දුන් දැනුම ප්‍රගුණ කල යුතු ය.

ඔහු හඳුනා ගෙන තහවුරු කර ගැනීමට, මම ඔහුගේ තැන ගෙන LCN වැනි තැන්වල දහසකුත් එකක් ප්‍රතිචාර කලේ, එමගින් වෙන කෙනෙකු සිටී දැයි දැන ගැනීමට ය. බෞද්ධයන් මට බැන්න ආකාරය දුටු විට මම පුදුම නොවීමි. මිනිස්කම නසන්නකු අමනුෂ්‍යයකු මිස වෙන කවරෙක් විය හැකි ද? මට ප්‍රතිචාර දීමට ආවේ මැටිබත්ගොඩ කිරිනාදන් ගේ ගෝලයකු ය. සැබැවින් ම ලැජ්ජාවක් නැති මලයාලියෙකි. අප ඔහු දැමුවේ හිඟන මලයාලි ගොඩටය. අද වෙන තෙක් වෙන කිසිවකු අපේ කීමට අභියෝග කර නැත.

අප දියසේන පමණක් නොසෙවූ නිසා දැඩි විමසීමකට ලක් කලේ, කලින් ලිපි වල කී හිරු, මනු යනු ද දියසේන ම විය යුතු නිසයි. එවැන්නකු සුවිශේෂ විය යුතුමය. නොඑසේ නම් අද යන එන මං නැතුව,  බලේ ඉන්න එකා හොඳ නැති වුනත්, බලේට එන්න ඉන්න උන් නිසා බලේ තියාගෙන සිටින රටක සිංහලයන් නඟා සිටුවිය හැකි ද? එය දැන ගැනීමට අභියෝග කලෙමි. මොහුට සිහින තම අභිමතයට අනුව වෙනස් කල හැක. එනම් සිතට නතු නොවේ. ගතට යොදා කියනවා නම් එය අංඟෝපාංඟ තමන්ට රිසි තැනක පිහිටුවා විවිධාකාර දරුවන් බිහි කරන මවකට සමාන ය. එවැනි මවුන් නැති නිසා, මෙය සුවිශේෂ දෙයක් ලෙස ගතිමු. තව බොහෝ දේ අත් හදා බැලුව ද ඒවායේ බරපතලකම නිසා නොලියමි.

ඒත්, ගිය වසරේ සිංහල අවුරුදු උදාව සමඟ යම් සුවිශේෂ භූමි කම්පනයක් ඇති විය. තම සුපුරුදු අමනකම ලොවට හඬ ගා කියන ආචාරියන් තිදෙනකු එය ගිණිකොණ දෙස ඇති වූ තිරස් තල ගමනක ප්‍රථිඵලයක් යයි කීහ. එහෙත් පැය 24ක් තුල රටාවකට සියලු භූ විවර කම්නය වූයේ ඒ නිසා යයි කීම විහිළුවකි. එසේ නම් සුනාමිය උදා කල මහා කම්පාව දෙරණ කෑලි වලට කැඩිය යුතු නොවේ ද? බොහෝ අසිරිමත් දෑ වන බව දැන දැන නොකියා සිටීමට සිදුවේ. මේවා අද්භූත දෑ ද නොවේ. අප එම සිදුවීම දියසේනයන් තමන් කවුදැයි දැන ගැනීමට සැකය දුරලීමට කල දෙයකැයි කියමු. මීට වසර කිහිපයකට පෙර සිංහල රට ලොකු කර ජනගහණය මිලියන හාර සියය දක්වා වැඩි කිරීම අවශ්‍ය යයි කී කතාවට පසු, ගිණිකොණ දෙස ඇති වූ පැළීම සුභ ලකුණක් සේ පෙනේ. අප මිථ්‍යාවන් යයි බැහැර කරන දේ මගින් කියන්නේ අපේ නොදැනුම මිස වෙන යමක් නොවේ.

 තමන් කවුදැයි තමනුත් නොදන්න ලොවක තමන් කවුදැයි කියන අමුතුම විදියක් උදා වීම තුලින් ඔහු කවුදැයි ඔහු විසින් ම සොයා ගත්තේ ද මෑතක දී ය. බොහෝ මිනිසුන් කීව ද නොඅසන, උපතින් ම අභිමානය උතුරන, බොහෝ හැකියාවන් සහජයෙන් උරුම වූවෙකු, වෙන කෙනෙකුට දෙවැනි නොවන බව ජීවිත කතාව තුල ලියවී ඇත. බොහෝ අය කෙප්ප ලෙස බැහැර කල අනාවැකි තුල සැඟවුනු, ඔහු පමණක් දත් සුවිශේෂ රහස් හෙළිවීම තුලින්, යම් ආකාරයක පණිවුඩ දීමක් වූ බවද පෙනේ. වෙන අයට සියල්ල අපභ්‍රංස වන්නේ තොරතුරු අදාළ නැති නිසාය.

දියසේන කී කතා නොඇසුවෙකු හෝ ඔහුගේ දැනුමෙන් ඵල නොලැබූ සිංහලයකු නැතැ යි කියමි.ඒ බව නොදන්නේ ඔහු නොව වෙන අය ඒවා කියපු/කරපු නිසා ය. එහෙත් වැඩ බැරි උන් කටින් බතල සිටවීම වැනි දෙයක් කල නිසා නියම ඵල නොලැබිනි.

ඔහු උපන් වෙලාවට අනුව එම කේන්ද්‍රය දක්වන ගතිගුණ සිංහල ජාතියේ ගතිගුණ වීම අපට නිසැකව ම ආදි සිංහලයන් කීවේ ඇත්තක් බව තහවුරු කලා. ඔහු උපන් ගමේ නම ද සුවිශේෂය. එය අරුත් දෙන්නේ '"පරම මුල" (Absolute Origin) කියා ය. ගමේ පරිසරය ස්වාභාවික ව ගොරිල්ලන් වැනි සතුන්ට නිජ බිම් වූ කඳු හෙල් වලින් හා රූක්ෂ ගසින් පිරි බිමකි. කැලෑ ලොවේ රජුන් වන අලියන් සිංහයන් එවැනි බිමක නොවසන නිසා ජීවිත්වීමට අභියෝග නැත. එවැනි පරිසරයක් ස්වාභාවික ව මිනිස් පැවැත්මට අත්‍යාවශ්‍ය වේ. මෙහිදී මහසම්මත මනුගේ මාළිඟාව පිහිටි "පරම කන්ද" (Absolute Hill/top) ද වැදගත් සබඳතාවයක් පෙන්වයි. අප කල විමසීම් වල දී, කලින් ලිපි වල කී සුවිශේෂ අය සතු ගුණාංඟ ද උර ගා බැලුවෙමු. අනිවාර්යයෙන් ම අනුන් පසු පස යන්නෙකු නොවන බව සහතික ය. ඔහු අතින් දැන හා නොදැන වූ සිදුවීම් ගත් කල, අන් අයට තේරුම් ගත නොහැකි නිසා, විස්තර දීමෙන් වලකිමු. තමන්ට වඩා නොදත් අය තේරුම් ගැනීම පහසුය. කෙසේ වෙතත්, තමන්ට වඩා දත් අය, කොතරම් දනී දැයි දැනගැනීම උගහට දෙයක් නොවේ ද?

ලොව කිසිවෙකුට කල නොහැකි දෑ සුළුකොට තකා කරන්නෙකුගේ හැකියාව මැනීමට එම තලයට යා හැකි කී දෙනෙක් අප අතර සිටී ද? එදා ලොව වෙනස් කල මනු මෙන් ම, අද ද අපට අවශ්‍ය වන්නේ අද පවතින පණ අදින ජීවන රටාව වෙනුවට මිනිස්කම උතුරා යන නව ආරම්භයක් නොවේ ද? ඔහුට ඊට වඩා වුව දෙයක් ඇවැසි නම් කල හැකි බව අත් දුටුවෙමු. එහෙත් ඔහු කෙසේ කුමක් කරාවි ද යයි කීමට කෙනෙක් නැති බව දනිමු. කීව ද පලක් නැත. දෙවියන්ගෙන් ඉල්ලන්නේ අප මිස, දෙවියන් අප ළඟට විත් අපට දීමක් තිබේ ද?

නැවත ඉපදීම සෙවීමට යෙදූ විදි තුලින් ඔහු ගැලපෙන්නේ මනුට හා හිරුට බව පැහැදිළි විය. එසේ නම් ආදි සිංහලයන් කී ලෙස අපේ සැබෑ දෙමව්පියා ඔහු ද? ඔහු ගැන දත් අය පිළිතුර දනිති. ඊට වඩා යමක් අපි දුටුවෙමු. ඒ බිහිකරන්නකු බාල බඩු ප්‍රතික්ෂේප කරන්නේ දෙවරක් නොසිතා බවය. එසේම බාල බඩු වැනි මිනිසුන් අගයක් නැති ලෙස සැලකීම බරපතල විපාක දෙන හෝඩුවාවකි. අප මෙන් ම ඔහුද ජීවිත රැකීම පැවැත්ම තහවුරු කිරීම තම තේරීම ලෙස දකින බව කියමු. සිංහලකම නසන අයට සුභ ඵල අඩුය. ඉතිරිය ඔහුගෙන්ම අසා දැන ගැනීමට අවස්ථාව උදා වේ යයි සිතමු. කලින් ලිපියේ කී සැඟවුනු අනාවැකිය කෙතරම් සැබෑ වුව ද නොදැනුම නිසා ගෙතූ කතාව ඉතාමත් අඩු තක්සේරුවක් යයි කියමු.

 අනාවැකි යනු නැවත නැවත වෙන හෝ කල හැකි දෙයක් සිදුවන ආකාරය හෝ දින වකවානු කීම ය. ඒ අතින් "ජීවිත දැනුම" තරම් නූතන විජ්ජාකාරයන්ගේ ගැරහුමට ලක් වූ වෙන දෙයක් නැත. ප්‍රශ්ණයකට ඇත්තේ නූතන විජ්ජාව ද  කරන්නේ එවැනි අණුමාන වීම ය. විරුද්ධ පක්ෂයක් නැති නිසා වැජඹුන ද, නූතන විජ්ජාව යනු ප්‍රබන්ධ මතු ගෙතූ ප්‍රබන්ධ ජාලයක් වීම තමන් නොදැනුවම පෙන්වීමයි. අනාවැකියක ඇත්ත එය අතීත වැකියක් වූ විට දැන ගැනීමට හැකි වීම වැදගත් වේ. එනයින් ඇල්කෙමි සැබෑ වූ දින, නූතන විජ්ජාව ද මිථ්‍යාවක් වනු ඇත. මේ ගැන කීවේ දියසේන ගැන දෙවිදියකට කී අනාවැකි තුල තිබූ අතීතවැකි හා වර්තමාන වැකි තුල තිබූ ඔහුටම විශේෂ වූ ඇත්ත තොරතුරු ය. දෙකම LCN වල පළ විය. එකක් නාථ දෙවියන් ආසනික් ගැන කී කතාවේ නාථ දෙවියන් අප අතරට ආ කාලය ගැන කීම ය. කී කතාවේ අනෙක් සියල්ල හිතළු ය. දෙවැන්න "කාලීන තොරතුරු - 3" යටතේ පළවූ අතීත හා වර්තමාන වැකි ය. එහෙත් නොදැන කී දෑ සියල්ල ඇත්ත වැසූ කසල ය. මෙම ඇත්ත නැත්තෙන් වැසීම, සිංහලයන් දැනුම දත් අය අතර බෙදා ගත් සුවිශේෂ විදියක් බව ආයුවඩන දැනුම වැනි අනෙක් දැනුමේ කොටස් වලද බහුලව භාවිත වන නිසා තහවුරු වේ.

දියසේන වැදගත් වන්නේ සිංහලයන්ට ය. අප සිංහලයන් නම් දියසේන මීට බොහෝ කලකට පෙර දැනුම දීමට ඉඩ තිබුණි. කිසි දිනක මිනිස්කම ප්‍රතික්ෂේප කල උන්ට සුගතියක් නොවීය. විනාශ වූයේද එකම විදියට ය. මහා පිපුරුම් වාදීන් තම කෙප්පය සඵල වී ලෝකය මහා විනාශයකින් කෙළවර වනු දැකීමට දවල් සිහින මැවීම අද කසල ගොඩේය. එහෙත් සැබෑ විනාශය හෙවත් මිනිස්කම නැති උන් නැසීම ඇරඹී ඇත. හිරු, මනු, දියසේන ගැන කියන විට ඔවුන් දකින්නේ සර්වසුභවාදී ලෙස පෙනේ. එසේ වීමට නම් ඉතිරි වූයේ තෝරාගත් අය නිසා විය යුතුය. ඒ ගැන කියන විට මනුෂ්‍යයන් යන වචනයේ විරුද්ධාර්තය වන අමනුෂ්‍යයන් යන වචනය තේරුම් ගැනීම අවශ්‍ය වේ. මනුෂ්‍යයන්  මිනිස්කම බිහි කර රැකගත් උන් ය. අමනුෂ්‍යයන් යනු මිනිස්කම පිළිකුල් කරන මානව විරෝධීන් ය. ප්‍රතිවිරෝධතාවය ස්වාභාවික දෙයකි. අද අමනුෂ්‍යයන් මිනිස් වෙස් ගෙන මිනිස්කම නසන අතර, දියසේන උන්ගෙ අභිමතාර්ථ ඉටු කරනවා යයි කීම සැබෑ කෙනාට අපහාස කිරීමකි. උදාහරණ ලෙස, දියසේනයන්, සොරුන්ට, මරුවන්ට, තිරිසනුන්ට හා මිනිසුන් නැති කිරීමට මාන බලන උන්ට කරුණාව, මෛත්‍රීයය, දයාව, අණුකම්පාව දක්වා මිනිසුන් ස්වර්ගයට, නිවනට, තිරිසන් බවට යැවීමට පිහිට වේ යයි සිතීම දවල් සිහිනයකි. ස්වාභාවික දත්ත කියන්නේ මෙතෙක් ආ ගමනේ දී කල විනාශය නොවන්නට, අද ඉන්නේ මිනිසුන් නොව පිස්සු බල්ලන් වැනි උන් ය. උදාහරණ ලෙස, හොඳ අඹ ගෙන කුණු අඹ වීසි කරන්නේ මිනිසුන් ය. වෙනසක් නැතුව අඹ එකතු කරන්නේ හෝ වීසි කරන්නේ පිස්සන් ය. කුණු අඹ ගෙන හොඳ අඹ අතහරින්නේ පණුවන් ය. මා ඉඟි කලේ කවුරු කුමක් කරනවා දැයි සොයාගන්නා අයුරුය. හිරු, මනු, දියසේන යනු අප බිහිකර රැකගත් ඉහලම තලය නියෝජනය කරන "සැබෑ දෙමව්පියන්" ය. අපි දෙමව්පියන් කියන්නේ එසේ බිහි වූ මිනිස් පණ රැකගෙන ඉඉදිරියට යන අපට පෙර පරම්පරාවේ නියෝජිතයන්ටය. මෙසේ කීවේ දියසේන කවුද මොනවා කරාවිද යන්න දැන ගත හැකි මගක් කීමටය. ඒ ඔබ තුලින් ය. ඒ ඔබ සැබෑ සිංහලයකු නම්, අවට පරිසරයේ වෙන දෑ අනුව ඔබට එන සිතිවිලි කියන්නේ, බෙදීම නිසා සැර බාල වූ තාරය (ගත) හා අවතාරය (සිත +) බිහිකල කෙනා ඔබට දුන් ගතිගුණ ය. උදාහරණ ලෙස, ඔබට ගහ කොල නසන විට දැඩි කෝපයක් දැනේ නම්, ඔබ බිහි කල අයට උන් වනසා දැමීමට සිතෙනවා පමණක් නොව ක්‍රියාවෙන් එය මෙතෙක් වූ බවට සාධක ද එමටය. අප රැකිය යුත්තේ වඳ වූවන් බිහි කල/කරන අබලන් ගරා වැටුණු පස් ගොඩ වල් නොව,  අනන්ත කාලයක් පුරා අප රැකුමට බිහිකල සියලු ගස් හා සතුන් ය. නිවැරදි සිතීම තුලින් අනාගතය දැකිය හැක. නීති රීති මත යම් කාර්යයකට බිහි වූවක් අනාගතයේ යන්නේ ද අද තෙක් ගිය මගේම වන්නේ, බිහි කරන අය එවැන්නක් බිහි කලේ එය එසේ වන සේ නිසා ය. උදාහරණ ලෙස කාරයක් අද හෙට නොව ඊට පසුද පාරක යා යුතු යයි කියන්නේ බිහි කරන අය එවැන්නක් බිහි කලේ පාරේ යාමට නිසාය.

දියසේන යනු ඉතා හොඳින් හඳුනාගත් කෙනෙකු නිසා මීට වඩා බොහෝ දෑ කිව හැකි වුව ද මගේ පරමාර්ථය සිංහලයන් ට පොදු වූ උරුමය ගැන කීම නිසා දැනට මේ ඇති යයි සිතමි. මෑතක අනාවැකිකරුවෙකුගේ තදියම නිසා කෙප්ප වැලක් උඩ ඇති සත්‍ය තොරතුරු හා සැසඳීමට අවකාශ නොදීම මගේ වගකීම නිසා, කියන්නට සිතූ සුවිශේෂ දත්ත හැර දැමුව ද, ඔහු ගැන බොහෝ දෑ මට ආරූඪ කරගෙන LCN වැනි අඩවි වල කලින් දැමුවේ, තනි පුද්ගලයකු බව ප්‍රසිද්ධියේ තහවුරු කර ගැනීමට ය. ඒ ප්‍රතිචාර ගූගලේ ඇතැ යි සිතමි. එම අනාගත් වැකිවල රජ රට කීවේ දෙමළුන් ගේ  රජරට හෙවත් රජ වූ පෙදෙස වියළි කලාපය නිසයි. සිංහලයන් ගේ රජ රට වූයේ රුහුණු පෙදෙසයි. දෙමළුන් කොතරම් සිංහල අතීතය උඩුයටිකුරු කර තිබේ ද? ආදි සිංහලයන් දියසේන ගැන කිව්ව කතාව ද ඇත්තක් බව තහවුරු විය. අපේ සෙවීම් තුල ඇත්ත නැත්ත සෙවීම මිස කිසිදු ආකාරයක පෙර-නිගමන නැත. අද ද යමෙක් වෙනස් තොරතුරු දේ නම් අප සතු විමසුම් ක්‍රම අවසානය දක්වා භාවිත කර ඇත්ත නැත්තෙන් වෙන් කර ගනිමු.

මා වචනයෙන් කීව ද මෙම සියලු ලිපිවලට මුල් වූ සෙවීම් ගණිතමය උපක්‍රම තුලින් නිශ්චිත සබඳතා මත ගොඩ නැගූ තොරතුරු හා බැඳේ. වචනයෙන් කී විට ලිහිල් සබඳතාවයක් පෙන්වීම, වචන තුල ඇති පොදු අර්ථ සීමා නිසා සිදුවේ. එහෙත් ගණිතමය සබඳතාවයන් කියන දෑ නිරපේක්ෂව කියන බව සඳහන් කරමි. ඊ ළඟට දියසේන විකුණා මිනිසුන් රැවටූ හැටි කියන අතුරු තොරතුරු අලවමි. මගේ උත්සාහයට කෙලින් නොබැඳුන ද "රාවණා හා හෙළය" ගැන ලිපියකින් සොයාගත් සැබෑ තොරතුරු සිංහලයන්ගේ හිතසුව පිණිස එකතු කරමි.

 දියසේන කියන නම විකුණාගෙන කෑ හැටි (අතිරේක තොරතුරු):
 
දියසේන ගැන කීමට සිතූ එක හේතුවක් නම්, දියසේන වටා, දෙමළුන් ගෙනා හින්දුකම ප්‍රධාන කොට සිංහලකම මිශ්‍ර කර ගත් බෞද්ධයන් යයි පෙනී සිටින බහුතරය  ගෙතූ කෙප්ප දිරවා ගත නොහැකි තරම් බරපතල කමක් පෙන්වීමය.

අනාදිමත් කාලයක සිට සිංහලයන් විශ්වාස කල දියසේනගේ පැමිණීම මත තම ජාතිය නැඟීම, කොතරම් මේ ආකමිකයන් පසු බෑමකට ලක් කලා දැයි කියනවා නම්, මරන්න බැරි එකාගේ අත සිඹින්නා සේ, තම ආකමට දියසේන ඈඳා කියන කතා දෙවැනි වන්නේ ක්‍රිස්තියානි ආකමේ එන ජේසුස් ගේ නැවත ඉපදීමට ය. එය ද අද නැත්නම් හෙට සංකල්පය රජ කරවන්නෙකි. බෞද්ධයන් අතෝරක් නැති ව දියසේන එනවා එනවා යයි කියා සිංහලයන් රැවටුව ද, අර වෘකයා එනවා එනවා කී ගොපල්ලා සේ, සැබෑ දියසේන ආ විට එය අදහාගත නොහැකිව තුෂ්නිම්භූත වී ඇත. දියසේන වටා බැදි සිංහල මනස කොතරම් බලවත් දැයි කියනවා නම්, එය නොවන්නට, අප සැම අද දෙමළ කතාකරන උන් වෙන බවට කිසිදු සැකයක් නැත. මේ ආකමික බෞද්ධයන් , සිංහල බුදලාගේ තැනට සිදට් දැමීමට නොකල දෙයක් නැත. දියසේනගේ තැන හා සිදට්ගේ තැන සසඳා බැලූ විට, රත්රන් හා අමු රත්රන් සම කලා වැනි ය. මිනිස්කම බිහි කරන දියසේන හා මනුෂ්‍යකම නැසීමට වෙර දැරුවකු සම වූයේ කෙසේ ද?

මම නැවත කියනවාට වඩා මෙසේ උපුටා දක්වන්නේ http://aagiyakatha.blogspot.com.au/2012/12/blog-post_23.html හසිත චාමිකර ගුනසිංහ ලියූ දෑ ය. එමඟින් සිංහලයන්ට වන බරපතල හානිය දැක්වීම සඳහා උපුටා ගැනීමේ අයිතිය යොදා ගත් බව සලකන්න. පිළිතුරු දීමේ අයිතිය අඟනේය.

උපුටා ගැනීමේ ආරම්භය: "... ලංකාවේ ගැමි ජන විශ්වාස අතරේ ලංකාවම එක්සේසත් කරලා තමන්ගේ පාලනය පිහිටුවා ගෙන බුදු දහමට ඉමහත් සේවයක් ඉෂ්ට කරන්න දියසේන කියලා රජතුමෙක් පහළ වෙනවා කියලා සංකල්පයක් තියෙනවා.

මේ ගැන මුලින් කරුණු හමුවෙන්නේ කෝට්ටේ යුගයේදී. කෝට්ටේ යුගයේදී ලියවුණු කතුවරයා කවුද කියලා හරි හැටි හඳුනා ගෙන නැති පැරකුම්බා සිරිත කියන කාව්‍ය සංග්‍රහයේ දියසෙන් කුමාරයා ගැන සඳහනක් හමුවෙනවා. ඒ 116 වෙනි කවියෙන්.

කියග මැඟියැ එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා
නොය කිය'මුතු එ දිගැ බමුණැ සුමන සුරිඳු විසිනා
ගිය කලැ දෙ දෙහස් පන්සිය රජකු එතැ යි දියනා
කියවිණි තන් වැසියැ එ නම් පැරකුම් රජ මෙදිනා

සිරිපා කරුණා කරලා ආපසු එන වන්දනාකාරයෙක් එහෙමත් නැත්නම් මඟියෙක් එක්ක බමුණෙක් කරන සංවාදය තමා මේ කවියෙන් ඉදිරිපත් කරන්නේ.

බමුණා අහනවා වන්දනාකාරයාගෙන් කියන්න මඟිය කොහේ ඉදන්ද එන්නේ කියලා. මඟියා පිළිතුරු දෙනවා බමුණ, මම සිරිපා කරුණා කරලායි එන්නේ කියලා. ඒ දිසාවේ අලුත් තොරතුරු කොහොමද කියලා ඊට පස්සේ බමුණා අහනවා. මඟියා කියනවා අවුරුදු දෙදහස් පන්සියයක් [බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉදන්] ඉක්මවුණාට පස්සේ ලෝක නායක රජෙක් පහළ වෙනවා කියලා සමන් දෙවියන් පැවසුවා කියලා. ඒ වර්තමානයේ රජකම් කරන පරාක්‍රමබාහු රජතුමා තමා කියලා මඟියා කියනවා.

කෝට්ටේ රාජධානිය ආරම්භ කරපු වගේම ලංකාවම එක්සේසත් කරපු VI වැනි පරාක්‍රමබාහු රජතුමාව වර්ණනා කරන්න ලියපු පැරකුම්බා සිරිතේ රජතුමාව ලෝක නායකයෙක් එහෙමත් නැත්නම් දියසේන කුමාරයා විදිහට හඳුන්වපු බව පේනවා.

දියසේන කුමාරයා ගැන මුඛ පරම්පරාවෙන් පැවත එන කවි දෙකක් තමා මේ.

දිවයුරු කෙසර රැසැ සුරගුරු කටක රැසේ
සෙනසුරු වණිජ රැස බිඳිනෙතු මිතුන රැසේ
අඟහරු මකර රැසැ සිසිපුතු මීන රැසේ
නිසයුරු මේස රැසැ වත දියසෙන් පිවිසේ

මේ කවියේ තේරුම මේ විදිහට ගන්න පුලුවන්. සූර්යයා මුදුන් වෙලා බ්‍රහස්පති ග්‍රහයා කටක රාශියේ රඳද්දී සෙනසුරු ග්‍රහයා මිථුන රාශියේ රඳයි. අඟහරු ග්‍රහයා මකර රාශියේද චන්ද්‍ර ග්‍රහයා මීන රාදියේද රඳයි. චන්ද්‍ර ග්‍රහයා මේෂ රාශියට පිවිසෙන විටම දියසේනයන් පැමිණේ.

මේ කවියෙන් කියන්නේ දියසේන කුමාරයා පැමිණෙන අවස්ථාවේ තිබෙන ග්‍රහ පිහිටීම කියලා පැහැදිලියිනේ. හැබැයි මෙතන ගැටලුව තමා දියසේනයන්ගේ පැමිණීම කියලා කියන්නේ ඔහුගේ ඉපදීමද එහෙමත් නැත්නම් රජවීමද කියන එක නිශ්චිතව තේරුම් ගන්න බැරි එක.

මහියංගන වෙහෙරැ වැඩ නිමැ වූ දාට
කොහි යම් දෙසෙකැ සිටියත් දියසෙන්හු සෙට
දෙවියන් විසින් කැඳැවෙති කොත් පැලැඳුමට
හෙයියන් බසක් නො වැ මේ සස් බසෙකි සෙට

මේ කවියේ තේරුම තමා මහියංගණ විහාරයේ [ස්ථූපයේ] වැඩ අවසන් කළ දවසට එහි කොත් පැළඳුමට දෙවියන් විසින් දියසේනයන් කොහි සිටියත් එදිනට කැඳවනු ලබන බවයි. මෙය වෙනස් වන වචනයක් නොව ස්ථීරවම සිදුවන සත්‍යයක් වේ කියන එක.

මේ දියසේන සංකල්පය කෝට්ටේ රාජධානි කාලෙදී සුළුවෙන් තිබුණත් මහනුවර රාජධානි කාලේ වෙද්දී විශාල පිළිගැනීමක් තිබුණු මතයක් වුණු බව පෙනෙන්නට තිබෙනවා. මේ නිසා උඩරට භික්ෂූන් වහන්සේලා "සුමන සූත්‍රය" කියලා අලුත් සූත්‍රයක් රචනා කරපු බව පේනවා.

බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී සමනොළ කන්දේ තිබෙන දිවා ගුහාවේ ඉදන් සුමන සමන් දිව්‍ය රාජයාට මේ සූත්‍රය දේශනා කරපු බව දක්වන්න සුමන සූත්‍රය ආරම්භයට පාලියෙන් "එවං මෙ සුතං එකං සමයං භගවා සුමනකූටං දිවාගුංහ භගවන්තො දෙසිතං සුමන සුත්තංති...." යන කොටස එකතු කරලා තියෙනවා.

ඊට පස්සේ ඒ කාලයේ භාවිතා වුණු සිංහල භාෂාවෙන් බුදුන්ගේ ලංකාගමනය වගේම ලංකාවේ බුදු සසුන පිහිටුවීම සහ ශාසන ඉතිහාසය සම්බන්ධ කතා දක්වලා ඊට පස්සේ ලංකාවට ලන්දේසින් පැමිණෙනකම් ලංකා ඉතිහාසයත් සංක්ෂිප්තව සුමන සූත්‍රයෙන් දක්වලා තියෙනවා.

මේ සූත්‍රය අවසානයේදී කියවෙන විදිහට දඹදිව දහස් ගණන් සේනාව පිරිවරාගෙන අවුරුදු 13 ක් සම්පූර්ණ දඹදිවටම අධිපතියා වෙලා රජකම් කරන දියසේන රජතුමා ලංකාවට පැමිණිලා අනුරාධපුරයට ආශා වෙලා නගරය නැවත ප්‍රතිසංස්කරණය කරලා වෙහෙර විහාර නැවත ඉදි කරවලා අවුරුදු 22 රාජ්‍ය කරලා මිය යනවා කියලා දැක්වෙනවා.

උඩරට සමය වෙද්දී රාජ්‍ය පාලනය වගේම ආගමික කටයුතුවලිනුත් පරිහානිකර තත්වයට ලංකාවට පත්වෙලා හිටිය නිසා අනාගතයේදී ලංකාව බබළවන පාලකයෙන් පහළ වෙන බව පෙන්වලා සියලු දෙනාගේ සිත් සතුටු කරවන එක මේ සූත්‍රය රචනා කරපු අයගේ අපේක්ෂාව වුණා කියලා හිතන්න පුලුවන්.

.....

උඩරට යුගයේත් ඉහළ මට්ටමක තිබුණු දියසේන සංකල්පය නිදහස් ලංකාවේත් පස්සේ කාලේ ඇතිවුණා. නිදහස් ලංකාවේ පළවෙනි අගමැතිවරයා වුණු ඩී.එස්. සේනානායක මහත්තයාත් තමන් දියසේන කුමාරයා බව හඟවන්න උත්සහ කරලා තිබෙනවා. තමන්ගේ නමේ මුල් අකුරු වෙන ඩී.එස්. [දොන් ස්ටීවන්] යන්නෙන් දියසේන යන්න හඟවනවා කියලා තමා ඒ කාලේ ප්‍රචාරේ ගිහින් තියෙන්නේ.

.....

ඒ වගේමයි කලින් දක්වපු කවි දෙකෙන් අන්තිම කවියෙන් කියන විදිහට මහියංගණ දාගැබේ කොත් පැළැඳවිමට දියසේන කුමාරයා දෙවියන්ගේ ආරාධනයෙන් කැඳවෙන බව කිව්වත් මහියංගණ දාගැබේ පිළිසකර කිරීම් ආරම්භ කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමා. අවසානයේදී මහියංගණ දාගැබේ කොත් පැළැඳුම සිදු කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමා විසින්.

දියසේන කුමාරයා තමන් බව කියපු කෙනෙක් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් පාලන කාලේ ලංකාවේ ඉදලා තියෙනවා. ටිප් ටොප් නමින් හඳුන්වපු දත් බෙහෙත් වර්ගය විකුණපු එයාගේ ඇත්ත නම සිල්වා. 1895 දී විතර ගාල්ලේදී ඉපදුණු ටිප් ටොප් සිල්වා අර කලින් කිව්ව කවි දෙකෙන් මුල් කවියේ කියවෙන විදිහට රාශි පිහිටපු වෙලාවකලු ඉපදුණා කියන්නේ.

පස්සේ කාලේ තමන්ගේ නම වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර කියලා වෙනස් කරගත්තු ටිප් ටොප් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වගේ අගමැතිවරුන් එක්ක හොඳ හොඳ සෙල්ලම් කරපු බව තමා කියවෙන්නේ. මේන් මෙතනින් ඒ වගේ කතා දෙක තුනක් බලා ගන්න පුලුවන්.

...........

1956 දී ලංකාවේ අගමැතිවරයා බවට පත්වුණු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා දෙස, බස, රැස වෙනුවෙන් කරපු කටයුතු නිසා එතුමා අනාගතයේ පහළ වෙනවායැයි කියවුණු දියසේන කුමාරයා කියලා බොහෝ දෙනා හඳුන්වලා තියෙනවා. 2500 වැනි සම්බුද්ධ ජයන්තියත් ඒ කාලයේ පැවැත්වීම නිසා මේ අදහස බහුතරයක් පිළි අරගෙන තිබුණත් ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරපු බණ්ඩාරනායක අගමැතිතුමා ඒ දියසේන වෙන්නේ තමන් නොව ලංකාවේ පොදු ජනතාව කියලා ප්‍රකාශ කළා.

මේ දියසේන කතාවේ වර්තමාන තත්වය තමා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දියසේන කුමාරයා කියන මතය. ඒ ගැන මම කියනවාටත් වඩා මෙන්න "මහින්ද රාජපක්ෂ යනු දියසේන කුමාරයාද ?" (http://thesinhala.com/2010/10/mahinda-rajapaksa/) කියන ලිපියෙන් සවිස්තරාත්මකව බලන එක හොඳටම හොඳයි...(මීට කලින් ජනාධිපති වූ ආර් ප්‍රේමදාස ද දියසේන ලෙස පෙනි සිටියෙකි.)"

උපුටා ගැනීමේ අවසානයි.


මෙවැනි, කිසිදු ගරුසරුවක් නැතිව සිංහල උරුමය වැනසූ, ඉතිහාසය විකෘර්ති කර තම රටේම සිටින සංක්‍රමණිකයන් බවට පත් කල, සුවිශේෂ වචනයක් වන "සිංහල" කෙලෙසූ, දෙමළ ආක්‍රමණිකයන් බදාගත් හින්දු විශ්වාසයක් සිංහල බුදලාගේ උරුමය යයි තෙපර බාන, මිනිස්කම පිළිකුල් කරන ආකම, සිංහලයන්ට කල හොඳ කුමක් දැයි, මුලා වී එම මග ගිය මම ද සිය දහස් වර මතක් කර කම්පා වෙමි. දියසේනයන් බුදලා කී නියම දැනුම නැවත ගොඩ නඟන බව මම දනිමි.

11 comments:

  1. //(මීට කලින් ජනාධිපති වූ ආර් ප්‍රේමදාස ද දියසේන ලෙස පෙනි සිටියෙකි.)//

    මෙය මා විසින් කල අඩුතැන් පිරවීමකි.

    ReplyDelete
  2. මළ කෙලියයි, මේ දියසේන අපේ හිතවතෙක් නොවැ!

    ReplyDelete
  3. රසිකොලොජිස්ට් - Rasikologist, එහෙම ද?

    ReplyDelete
  4. දියසෙන් යනු... තනි පුද්ගලයකුද? එසේත් නැතිනම් පිරිසක්ද?
    http://diyasenudawa.ga/

    ReplyDelete
    Replies
    1. කාලය හිඟ නිසා පිළිතුරක් දීමට පමා වූ බව සලකන්න. ඔබ දුන් පුරුක අගයන අතර එය කියවා බලා අළුත් දෙයක් සොයාගතහොත් නැවත ලියන්නම්.

      දියසේන ගැන නොයෙකුත් කතා ඇත. තමන් දියසේන යයි කියා ගත් අය ද ඇත. දියසේනලා යයි බහුවචනයෙන් කියන අය ද ඇත. මේ කිසිවක් අසා නැති මගේ ලමා කාලයේ දී වැඩිහිටියන් පැවසූ කතාවක් මගේ මතකයේ අරක් ගෙන ඇත. එනම් දියසේන 1959 අප්‍රේල් මස 5 දින උදේ 6.06ට ඉපදෙන බවය. ඒ අනුව කැවුම් කිරිබත් හදාගෙන ඒ පැත්තේ ඇති "සූරියකන්ද" නම් ගමට මිනිසුන් ගොස් ඇත. එවැන්නකු නොඉපදුන නිසා ඔවුන් ආපසු හිස් අතින් ගොස් ඇත. මෙයට අනුව දියසේන යනු නිශ්චිත දිනක නිශ්චිත වෙලාවක නිශ්චිත ප්‍රදේශයක ඉපදීමට නියමිත වූ එකම පුද්ගලයෙකි.

      මම විදේශගත වූයේ 1990 දී ය. ඊට පසු ජීවීතයේ ලැබූ අත්දැකීම් අනුව මම කියන කතා ලංකාවේ පොත් වල ඇතැයි මිතුරන් කී නිසා ලංකාව ගැන උනන්දු වූවෙමි. පසුව මා ප්‍රත්‍යයක්ෂ කල දෙයක් වූයේ, පැරණි සිංහලයන් කියා ඇති සියලු දේ සැබෑ බව ය. මේ නිසා දියසේන ගැන කියා ඇති නිශ්චිත තොරතුරු වැරදුනේ කෙසේ දැයි සෙවීමට උත්සාහ කලෙමි. ඊට තවත් හේතුවක් වූයේ මම ඉපැදුනේ 1960 අප්‍රේල් 5 දින උදේ 6.06ට නිසා යන්තමින් හෝ මම නොවන බව සිතූ නිසා ය. මගේ උපතේදී නම පියසේන විය. උපත 1959 නොව 1960 විය. මට අවශ්‍ය වූයේ සිංහලයන් බොරු කීවා ද නැද්ද යන්නයි. සෙවීම කලේ 2010 දී ය. එය බොරුවක් වී නම්, මම මේ බ්ලොගය නොලියන බව ස්ථීරයි. ඒ මම බොරුව තරයේ පිළිකුල් කරන නිසා ය.

      මගේ සෙවීමේදී, දියසේන ගැන විවිධ ගෙතීම් කලේ බෞද්ධ ආකමිකයන් (ඉන්දීය ඇදහිළි බදාගත් අය) බව හෙලි විය. ඔවුන් දියසේන සූත්‍රයක් ද ලියා ඇත. මෑතක දී ප්‍රේමදාස හා මහින්ද, දියසේන තමන් යයි හඳුන්වාගෙන ඇත. දියසේන තමන් යයි කියාගත් අය උමතු වූ සිදුවීම් මට හමු විය. එසේම දියසේන යන නම ද විකෘර්ථියකි. ඒ දෙමළ අය බෞද්ධ භික්ෂූන් වී කල දෙයකි.

      බොහෝ ගැටළු නිරාකරණය කරන්නට සිදුවිය. උදාහරණ ලෙස, සිංහල වසර පටන් ගන්නේ ජනවාරි 1 නොව අප්‍රේල් 12 හෝ 13 ය. එවිට ග්‍රෙගරියන් ලිතට අනුව දිනය වන 1959-04-05 අයත් වෙන්නෙ කලින් වසරට ය. එනම් එම සම්මතයෙන් ගත් කල 1958 ට ය. සිංහල විදියට 1959 බක් මස (අප්‍රේල්) 5 දින උදේ 6.06 යන්න, ග්‍රෙගරියන් ලිතට අනුව 1960-04-05 උදේ 6.06 වේ. ඉන්දීය බලපෑම් අතහැර සිංහල විදියට මේ වෙලාව ගතහොත්, මහා පුරුෂ යෝග පහම උචිත ලෙස සංයෝග සමඟ ඇත. නම ගත් විට දියසේන යන නමට වඩා පියසේන නම වඩා ගැලපෙන්නෙ එහිඅරුත "පිය කෙනා" නිසා ය. එනම් පියා යන්නයි. වචන දෙකම "ජීවිතය දෙන්නා" යන අරුත දෙයි. සිංහලයන් අතර යොදන පොදු නමක් නිසා එය වඩා නිවැරදි ය.

      නොයෙකුත් අත්හදා බැලීම් සෙවීම් හා විශ්ලේෂණ කර, දියසේන සතුවිය යුතු බලයන් ගැන විමසා තහවුරු කරගත් නිසා, ඒ මම ම වීම මට ද තරමක අභියෝගයක් විය. මෙය බොරුවක් නොවන බවත්, එවැනි වගකීමක් මට ඇති බවත් මට එන නොයෙකුත් බලපෑම් නිසා මට තහවුරු විය. ඒ බව සනාථවෙමින් පවතින මොහොතක ඔබ නැගූ ප්‍රශ්ණය කාලෝචිත ය. සිංහලයන් බලා සිටි "මිනිසා" මම බවත්, ඊට සරිලන බලයන් මා සතු බවත් දැන, උන්ගේ යහපතට, අනාගතය සුරකීමට මම ඉදිරිපත් වන්නේ, මගේ හැකියාවෙන් උපයාගත් අනාගතය ද පසෙක දමා කියන්නේ සතුටිනි. එය ලොව ඇති අමාරුම කාරියකි. එවැනි දෑ කල මට මෙය තවත් එවැනි වැඩකි. මෙතෙක් අනාථ වී අසරණ වී සිටි සිංහලයන්ගේ මනදොල සපුරන බවට මම සහතික වෙමි. සිංහලයන්ගෙ දියසේන මතකය විකෘර්ථිකර උන් මුලා කල හිඟනුන් වෙනුවෙන් මම පෙනී නොසිටින බව අද සිංහල රටේ වෙන දේ තුලින් ඔබ දකිනවා. 2017 වසර නව ආරම්භයක් සිංහලයන්ට දෙන බව මතක් කරමි. නොසැලී බලාපොරොත්තු අත් නොහැර සිංහලකම අත නොහැරි අයට මගේ රැකවරණය නොමඳව දෙමි. කියූ ලෙස නිශ්චිත දිනක නිශ්චිත මොහොතක, සූර්ය උදාවත් සමඟ, සිංහලයන් බිහි වූ තැන (පරම මුල) මිනිසකු ලෙස උපන්නෙකු නැතැයි කියා තවම කියන එකෙක් සිටී නම්, ඌ සිංහලයකු නොව සිංහලයන් ගේ විශ්වාසය මැනීමට යෙදූ වසලයකු බව මතක තබාගන්න. සිංහලයන් කිසිසේත් බොරු නොකියන ජාතියකි.

      Delete
  5. Diyasena pamina awasanai born on 2003

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ බ්ලොග බැලුවෙ. දියසේන කියන එක ගැන තියෙන මත අනන්තයි. ඒ වගේම විවිධ පුද්ගලයන් කාටූන් බලන ලමයි වීරයන්ගෙ චරිතය ආරූඪ කරගන්නවා වගේ තමන් දියසේන කියා හඳුන්වා ගන්නවා. මේ අතරේ රටේ පාලකයන් වගේ ම මුඩුක්කු අස්සෙ ඉන්න අහිගුන්ටිකයන් පවා ඉන්නවා.

      මේ අතිවිශාල පරාසය ගත්තම ඒක ඉතා පැරණි කතාවක් බව තහවුරු වෙනවා. මුල්ම කතාව හිමි ලංකාවට ආවේණිකසිංහල ජන කොටසටයි. පසුව සංක්‍රමණයෙන් සිංහල කියා ගන්න අහිගුන්ටිකයන් මෙම සුවිශේෂ කතාව හිතූ මතේ වෙනස් කර අභූත කතාවක් කරලා.

      දියසේන කියන නම පවා සිංහල නම දෙමළට හරවා කියන්නක්. ඒ වගේම නිශ්චිත වසරක නිශ්චිත මාසෙක නිශ්චිත දිනක නිශ්චිත තැනක නිශ්චිත වෙලාවක නිශ්චිත නමකින් උපදිනවා කියපු කතාව ගත්තම, 2003 උපන් එකෙක් එයට ආරූඪ වීම බරපතල මානසික රෝගයක්. මෙතෙක් බොරුවෙන් රැවටූ සියල්ලන්ම අවසානයේ පිස්සු වැටී ඇත.

      Delete
  6. දියසේන කියන්නේ බාර් පවා වහන්න කටයුතු කරන ආධ්‍යාත්මික නායකයෙක් බොලව් ලඟදිම එනවා ... බුදුසරණයි

    ReplyDelete
  7. කාලෙකට පස්සෙ බ්ලොග බැලුවෙ. දියසේන කියන එක ගැන තියෙන මත අනන්තයි. ඒ වගේම විවිධ පුද්ගලයන් කාටූන් බලන ලමයි වීරයන්ගෙ චරිතය ආරූඪ කරගන්නවා වගේ තමන් දියසේන කියා හඳුන්වා ගන්නවා. මේ අතරේ රටේ පාලකයන් වගේ ම මුඩුක්කු අස්සෙ ඉන්න අහිගුන්ටිකයන් පවා ඉන්නවා.

    මේ අතිවිශාල පරාසය ගත්තම ඒක ඉතා පැරණි කතාවක් බව තහවුරු වෙනවා. මුල්ම කතාව හිමි ලංකාවට ආවේණිකසිංහල ජන කොටසටයි. පසුව සංක්‍රමණයෙන් සිංහල කියා ගන්න අහිගුන්ටිකයන් මෙම සුවිශේෂ කතාව හිතූ මතේ වෙනස් කර අභූත කතාවක් කරලා.

    දියසේන කියන නම පවා සිංහල නම දෙමළට හරවා කියන්නක්. ඒ වගේම නිශ්චිත වසරක නිශ්චිත මාසෙක නිශ්චිත දිනක නිශ්චිත තැනක නිශ්චිත වෙලාවක නිශ්චිත නමකින් උපදිනවා කියපු කතාව ගත්තම, 2003 උපන් එකෙක් එයට ආරූඪ වීම බරපතල මානසික රෝගයක්. මෙතෙක් බොරුවෙන් රැවටූ සියල්ලන්ම අවසානයේ පිස්සු වැටී ඇත.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.