Tuesday, 22 January 2013

"අවතාරය" යන සිංහල වචනය හඳුනා ගමු

තමන් සිංහල යයි කියන අය බොහෝය. එහෙත් "සිංහල" යන වදනේ තේරුම දත් අය සිටීද? තමන් සිංහලයකු හෙවත් මෙතෙක් කල් ජාතියක් ලෙස රැකුනු ජන කොටසක වර්තමාන පුරුක යයි කීමට තරම් අපට ඇති සුදුසුකම කුමක්ද? ඒ සිංහල ජාතිය සතු සම්පත් කෙතරම් තමන් සතු දැයි යන කාරණය මත යයි මම කියමි. විශේෂයෙන්ම සිංහල භාෂාව ලෙස හඳුන්වන දැනුම කෙතරම් අපට හිමිද?

අවතාරය යන වදන අප කෙතෙක් වර අසා ඇත් ද? මෑතකදී බොහෝ ජනප්‍රිය වූ ඇවටාර් චිත්‍ර පටියට අනුව එය ඉංග්‍රීසි වචනයක් වන තරම් ය. මා කලින් කී කතාලවට ඇමුණූ යූටියුබ් පුරුකේ මහසොහොන් සමයමේද, අවතාර බලන අවස්ථාවක් ඇත. ඒ අනුව ඉංග්‍රීසින් බිහිවීමටද පෙර මෙම සිංහල වචනය තිබිය යුතුය. එහෙත් තේරුම දත්තකු සොයාගැනීම දුෂ්කරය. මේ වචනය සැදුනු ආකාරයම එය කොතරම් ඉපැරණි වදනක් දැයි කියනවා.

කෙසේ වෙතත් එම වචනය ජීවීන් බිහිවීම ගැන කියන විට යෙදුවද, තේරුම කීමට දෙවරක් සිතුවෙමි. මා කියන දෑ තේරුම් ගැනීමට අපහසුය. එයට මගේ වැරද්දට වඩා ලියා ඇති වචනවල තේරුම නොදැනීමද විය හැක. මම වෙන කිසිවෙකු නොදන්නා මගේ වචන යොදා ලීවේ නම් සෙල්ලිපි පරදවන බව දනිමි. එහෙත් මා යෙදූ සියලු වචන සරල සිංහල වචන ය.

දැන් අවතාරය යන වචනය හඳුනා ගමු. වචනයක අගය යෙදෙන, රය, කම, වීම වැනි දෑ නාම පද බවට වචන හරවන එකතු කිරීම් ය. එවිට අවතා යනු අව තා ලෙස අප දන්න සරල සිංහල පදවලට කඩා බලමු. අව පස සඳ හා පුර පස සඳ අප සැම දන්නේ යයි සිතමු.  එසේ නම් අව යනු සැඟවුනු හෝ නොපෙන යන ලෙස අරුත් දෙනවා නේද?

තා, තා, තා යන ශබ්ද අතදරුවන් හැම නඟන ශබ්දයක් බව දරුවන් දැක ඇති අය දනිති. මෙම ස්වාභාවික හඬ විහිදී ගොස් අද වන විට, තෝ, තී, තාත්තා, දූ, පුතා යන වදන් බිහි වී ඇත. එසේ නම් තා යන්නෙන් මේ සියලු දෙනම හඳුන්වන පොදු වදනක් දැක්වේ. අන්තිමට අප, මිනිසා, ජීවීන් සියල්ලම ඇතුළත් ය. එසේ නම් අවතාරය යනු සැඟවුන අප හෝ සැඟවුන ජීවය ලෙස දකිමු.

මම කලින් ලිපියේ ජීවය යනු ගත හා සිත යයි කොටස් දෙකට බෙදුනු එකක් යයි කීමි. ගත නොදත්තකු නැතැයි සිතමි. අත පය බඩ කට හිස ආදී අංඟ සියල්ලම අයත් ගතටය. ඇස් කන් නාසා වැනි උපාංඟද අයිති ගතටය. එසේ නම් සිත කෙබඳු දෙයක් දැයි නැවත බලමු.

අදහාගත නොහැකි දෑ මෙතරම් සුලබ, සරල ජීවය බිහිකරනවා යයි සිතීම මුලාවකි. එසේ නම් සිතද ගත වැනි යමක් විය යුතු වන්නේ ගත ක්‍රියාත්මක වන්නේ සිතෙන් එන සිතිවිලි අනුවය. සිතිවිලි නිශ්චිත නම් ගතේ ප්‍රතික්‍රියාවද නිශ්චිත බව අත්හදා දත හැක.

ඉහත කී අවතාරය දැන් ගත් සිතේ ලක්ෂණ වලට අමතරව තවත් උපාංඟ වලින් සමන්විත බව, අපේ ගත ක්‍රියාත්මක වන ආකාරයෙන් පෙනේ. සමහර දෑ සිතිවිලි නැතිවද නිශ්චිත ආකාරයකට වන බවට උදාහරණ එමටය. එසේ නම් අවතාරය යනු සිත පමණක් නොව වෙනත් උපාංඟද සහිත එකක් විය යුතුය. මේ ගැන කියන විට, අජාන් මහ බුආ නමැති තායි ජාතික බෞද්ධයා, බෞද්ධ මතයට පිටින් ගොස් යමක් සිත ගැන සඳහන් කරන බව කියන්නේ එය සැබෑවට ආසන්න නිසාය.

ගත යනු ඇති නැති වන උපාංඟයකි. සිත ඇති අවතාරය එසේ නම් ගත සමඟ ඇති නැති විය යුතු එකක් හෝ සිත ඇති අවතාරය යනු ගත ඇතත් නැතත් පවතින දෙයක් විය යුතුය. කලින් කී ලෙස දෙමාපියන් හා ඔවුන් අතර ඇති වෙනස් කම්, විවිධ ජීවීන් සතු ගති ලක්ෂණ ගෙන හැදෑරූ විට, අවතාරය යනු නොකඩවා පවතින දෙයක් බව පෙන්විය හැක. සිතේ බලපෑම් ගත් විට, ගත අපේ දෙමව්පිය දායකත්වයෙන් බිහිවන බවද, සිත අයත් අවතාරය ඔවුන් බිහි නොකරන බවද, ඔවුන් අතර ඇති නිශ්චිත වෙනස්කම් තහවුරු කරයි.

සිත අයත් අවතාරය බිහි කරන තවත් තලයක් ඇති බවත් එය ගත හා සිත (අවතාරය) අයත් තල වලට වඩා ඉහල ජීවියකුගේ වැඩක් බවත් ස්වාභාවික දත්ත පෙන්වයි. එසේ ම සිත (අවතාරය) හැදුනේද ද්‍රව්‍යමය එකතුවකින් බව එහි නිශ්චිත හැසිරීම් රටාව කියයි. නොඑසේ නම් දරුවකු වදන මවකට අලි පැටියකුද වැදිය හැක. එය එසේ නොවන බව සැබෑ ලොව දත්ත පෙන්වති.

එසේ නම් සිත (අවතාරය) හැදුනේ සැඟවුනු (අපට නොදැනෙන) ද්‍රව්‍ය වලින් යයි කිව හැක. අවතාරය ගැන මෙතරම් තොරතුරු කිව්වේ මම බව සහතිකය. එසේ නම් "තා" හදන්නේ "ද්‍රව්‍ය" ලෙස ගෙන "අවතා" හඳන්නේ "අවද්‍රව්‍ය" වලින් යයි කියමු. මෙහි "අවද්‍රව්‍ය" යනු මගේ වචන නිපැයුමක් ලෙස ගත් විට එහි අරුත දන්නේ මෙම ලිපිය කියවන අය පමණක් නේද? වෙන තැනක "අවද්‍රව්‍ය" යයි යන වදන දුටු විට, තේරුම නොදැන එය අරුත්සුන් වහරක් ලෙස බැහැර කරනවා නේද? සැබැවින්ම අවතාරය යන වදනට වූයේ ද එයමය. මා කී ලෙස ද්‍රව්‍ය මෙන්ම අවද්‍රව්‍යයයන්ද බොහෝ ඇති බවත් ඒවාට ආවේනික හැසිරීම ද්‍රව්‍ය වලට වඩා වෙනස් බවත් අත්හදා බලා දත හැක. අස්ථිර ද්‍රව්‍ය ලෝකේ නොකැඩී යන ජීවීන් ඇත්තේ එම ද්‍රව්‍යවල ගුණාංඟ නිසාය. ද්‍රව්‍ය හා අවද්‍රව්‍ය එකට සම්බන්ධ වන ආකාරය ඉතාමත් සරල බවත්, ඒ සඳහා සහභාගි වන ද්‍රව්‍යය ඉතාමත් අගයැති මෙන්ම සැඟවුනු ස්වභාවයක් ඇති බව, අත්හදා බලා දත හැක.

ගත තාරය ලෙස අවතාරයට ගැලපූ විට, තාරයේ පැවැත්මට අවතාරය විසින සැකසු අවයව, අංගෝපාංඟ රැසක් ඇත්තා සේ, අවතාරයේ පැවැත්මටද ඊටත් වඩා ප්‍රබල අංගෝපාංඟ රැසක්  ඇති බව තාරයේ හැසිරීම හැදෑරූ විට පෙනේ. තාරය සතු මුව ඇස් කන් යනාදිය සන්නිවේදනය කරන ආකාරය අවතාරයේ ක්‍රියාවක ප්‍රථිඵලයක්ය. එසේ නම් අවතාර අතරද සන්නිවේදන මාධ්‍යයක් තිබිය යුතු වන්නේ එවැනි දැයක් තිබීමෙන් වන ඵල ජීවීන් පෙන්වන නිසාය. තාරය (ගත) කාර්ය කිරීමටද, අවතාරය දැනුම දීමටද සැකසී ඇති බව ජීවීන් හදාරා දත හැක. මෙම අවතාරය සතු හැකියාවන් මත  කරන ක්‍රියා නොදැනුම නිසා අද බොරුවෙන් වැසී ඇත. මේ ක්‍රියා ගැන සිංහලයන්ට සුවිශේෂ දැනුමේ කොටස් ගැන කියන විට ලියමි.

8 comments:

  1. බොහොම පැරණි සිංහල තොරතුරක්.

    ReplyDelete
    Replies
    1. කවුරුන් හෝ වේවා, ඔබේ ආගමනය කතෘට සවියක්!

      Delete
    2. @Anonymous 23 January 2013 01:21, කැලුම්,

      ටිකක් පරක්කු වුනා. අද ( බ්‍රහස්පතීන්දා) මට විශේෂ දිනයක්. පොඩි කාලෙ ඉඳලම අළුත් වැඩක් පටන් ගන්නෙ අද. ඇත්තටම කලේ වැලිගල් කැබළි වලින් රඳවන තාප්පයක් බැඳීම. ඒ වගේ එකක් හදන්නත් මොන වගෙ කෑලිද ඕන බැලුවම ජීවිතයක් හදන්න ඕන මොනවද කියල සිහි වුනා.

      දෙන්නටම සුභ පතමි. කැලුම්ටත් ඒක කරන්න හැකියාව තියෙනවා. යට ප්‍රශ්ණ වැලක් දැක්කා. මතක් වුනේ 2011 අගෝස්තුවල පාසල් දෙකකට ගිය අත්දැකීම. පොඩි අය කොච්චර ප්‍රශ්ණ ඇහුවද? ඇත්තටම අපි පොඩි කාලේ කොච්චර ප්‍රශ්ණ ඇහුවද?

      මම නම් හිතන්නේ අවංකව හිතට නැගෙන ප්‍රශ්ණ ඇසීම තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය දෙයක් කියලයි. ප්‍රතිචාරය ගැන නොසිතා ඒක කරන එක ලොකු සවියක්. දවසක් මම නම ගහල තියෙන තැනක ඉඳන් ඒ තැනම තියෙන්නෙ කොහෙදත් අහල තියෙනවා සුද්දියෙක්ගෙන්. ඒකි බලපු විදියට තාමත් ලැජ්ජයි.

      මේ බ්ලොගේ නම් ඇරඹුවේ බදාදා. ඉවරයක් නැති, බදාගෙන ඉන්න වැඩක් එදාට තමයි පටන් ගන්නේ.

      Delete
  2. ඔබ ගොඩ නගන්නේ බැහැරකරලිය නොහැකි තර්කයක්...අද අවශ්‍ය ව ඇත්තේ ද ඔබ වන් වියතුන් ය.

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව අගයමි.

      සිංහලයන් අතරේ තිබෙන දැනුම තේරුම් ගැනීම, තේරුම නොදැන වචනය කියමින් ඉන්නවාට වඩා හොඳයි කියල සිතමි. අද තාක්ෂණය ලෙස යොදන්නේ ජීවීන් සැකසීමට මුල් වූ දැනුම අණුකරනය කිරීමෙන්. අපට ඊට වඩා යමක් කලහැකි බව මගේ දැකුමයි. මම කියන සියල්ල ප්‍රායෝගිකව කරන දේවල් තුලිනුත් තහවුරු වෙනවා.

      Delete
  3. මට ප්‍රශ්ණ කීපයක් ඇසීමට ඕන. මේවා පැහැදිලි කරන්න.

    ප්‍ර1: //එවිට අවතා යනු අව තා ලෙස අප දන්න සරල සිංහල පදවලට කඩා බලමු.//

    අව යන අර්ධ වචනය අඩු යන අදහස නේද දෙන්නේ?

    ප්‍ර2: //සිතිවිලි නිශ්චිත නම් ගතේ ප්‍රතික්‍රියාවද නිශ්චිත බව අත්හදා දත හැක.//

    මෙය පහදා දුන්න නම් අගෙයි.

    ප්‍ර3: //සමහර දෑ සිතිවිලි නැතිවද නිශ්චිත ආකාරයකට වන බවට උදාහරණ එමටය.//

    ඔබ සිතිවිලි යයි කියන්නේ මට හිතුනා මට දැනුනා වගේ දේවලටද? එසේ නොවන දේවල් තියෙනවාද?

    ප්‍ර4: //අජාන් මහ බුආ නමැති තායි ජාතික බෞද්ධයා, බෞද්ධ මතයට පිටින් ගොස් යමක් සිත ගැන සඳහන් කරන බව//

    ඒ කුමක්ද?

    ප්‍ර5: //සිත ඇති අවතාරය එසේ නම් ගත සමඟ ඇති නැති විය යුතු එකක් හෝ සිත ඇති අවතාරය යනු ගත ඇතත් නැතත් පවතින දෙයක් විය යුතුය.//

    ඔබ ගේ තර්ක කිරීම පහදන්න.

    ප්‍ර6: //සිත අයත් අවතාරය බිහි කරන තවත් තලයක් ඇති බවත් එය ගත හා සිත (අවතාරය) අයත් තල වලට වඩා ඉහල ජීවියකුගේ වැඩක් බවත් ස්වාභාවික දත්ත පෙන්වයි.//

    තල යයි කියන්නෙ ඇයි?

    ප්‍ර7: //මා කී ලෙස ද්‍රව්‍ය මෙන්ම අවද්‍රව්‍යයයන්ද බොහෝ ඇති බවත් ඒවාට ආවේනික හැසිරීම ද්‍රව්‍ය වලට වඩා වෙනස් බවත් අත්හදා බලා දත හැක.//

    ඔබ අත්හදා බලා තිබේද?

    ප්‍ර8: //අවතාරයේ පැවැත්මටද ඊටත් වඩා ප්‍රබල අංගෝපාංඟ රැසක් ඇති බව තාරයේ හැසිරීම හැදෑරූ විට පෙනේ.//

    අංගෝපාංඟයක් ගැන අදහසක් දෙන්න පුළුවන්ද?

    ප්‍ර9: ඔබ යන වේගය වැඩිය. සිංහල භාෂාව - 2 යටතේ ඔබ කිව් දෑ ගැන නොසතුටක් දැනුනා. ඔබ කියන්නේ අසභ්‍ය වචන භාවිතය හොඳයි කියලද?

    ReplyDelete
    Replies
    1. @Anonymous 23 January 2013 18:06,

      ප්‍රශ්ණ පත්‍රයක් නේ. විභාගෙට ලියනකොට දැනුනු චකිතය මතක් වුනා. පුළුවන් තරමින් උත්තර දෙන්නම්. විවිධ හේතු නිසා මගහැරීමට සිදු වුවොත් කණගාටු වෙමි. ඔබේ ප්‍ර1ට මගේ උ1 ගැලපේ යයි සිතමි.

      අව යන විරුද්ධ අර්තය දීමට යොදන වචන ඛණ්ඩය මම ඉතාමත් පැරණි කතාවක් ගෙන පැහැදිළි කලේ ඒක කාටත් දත හැකි නිසයි. අවවාද, අවසර, අවශ්‍ය (අනවශ්‍ය), අවමානය, අවලාද, අවහිර, අවනත, වැනි වචන දිහා බැලුවම ඒ තුල වචන ඛණ්ඩය මෙන් ම අ හා ව අකුරු එකට යෙදීමත් තියෙනවා. මේ ගැන බලන කොට, කලින් පැවති සරල වචනයක්, ඊට වඩාංකීර්ණ අරුත් දීමට මෙවැනි වචන ඛණ්ඩ එකතු වෙනවා. අවරෝහණය ගත්තමත් එතැනත් වචනයක විරුද්ධ අර්තය දීමට තමයි අරගෙන තියෙන්නෙ.

      උ2: ඉස්සර වෙලා අත ඔසවන්න සිතන්න. ඊට පසු ක්‍රියාවෙන් බලන්න. ඔබ අත එසවීම හැර වෙන දෙයක් වුනාද බලන්න. කොතරම් අත්හදා බැලුවත් එකමය. සිතා මතා කකුළ එසවුවත් වැරදීමෙන් අතම ඉස්සෙන අවස්ථා ඇත. ඒ තරමට සිත හා ගත දැඩිව බැඳී ඇත.

      උ3: සිතිවිලි යයි කියන්නේ මට හිතුනා මට දැනුනා වගේ දේවලට තමයි.
      ඒත් ජීවත්වීමට අවශ්‍ය ශාරීරික ක්‍රියා සියල්ලම අපේ සිතිවලින් මිදී ඇත. උදාහරණ හද ගැස්ම පාලනය කල නොහැක. හුස්ම ගැනීම අඩු වැඩි කිරීම කල හැකි වුවද, නැවතීමට බාහිර බලපෑම් අවශ්‍යයි නේද?

      උ4: සිත විනාශ කල නොහැකි බව එතරම් පැහැදිළි නැතත් කියා ඇත. (http://en.wikipedia.org/wiki/Ajahn_Maha_Bua)
      ඉතිරි දෑ අදාළ නැත.

      උ5 - උ9: උත්තර පසුව

      Delete
    2. @Anonymous 23 January 2013 18:06,

      උ5: මම අනුගමනය කරන විදිය තුල පෙර-නිගමනයකට නොපැමිණ හැකි තාක් දුරට හැම සිදුවිය හැකි ආකාරයක් ම ස්වාභාවික දත්ත හා ගලපනවා. ස්වාභාවික දත්ත වලට නොගැලපේ නම් ඒවා වළංඟු නොවන්නේ, අප මොනවා කිව්වත් එම ස්වාභාවික දත්ත වෙනස් නොකල හැකි නිසාය.

      තව ලෙසකින් කියනවා නම් ශාකයක පැලවීම හැදෑරීමට මම කොල, අතු, පොතු, ඇට, කඳ, මුල විතරක් නොව මැරුනු කොටස් ද පැල කිරීමට උත්සාහ කරමි. වරක් කරපිංච ගසක් වවා ගත්තේ මම ඉන්න පරිසරයේ බැරි බව දැන දැනය. එය මැරෙන බව දැක දැක වතුර දමා, මැරුන පසුද එසේ කලෙමි. මම මුල් පෑදෙන ලෙස පසද ඉවත් කලෙමි. එතැන අද කරපිංචා ලන්දකි.

      උ6: තල යයි කීවේ ගණිතමය ඌරුවක් දීමටය. දෙමව්පියන්ගෙන් අප බිහිවුවද දෙමව්පියන් අපෙන් බිහි නොවන නිසා, දෙමව්පියන් එක තලයකටද අප හෙවත් දරුවන් ඊට පහළ තලයකට දැමුවෙමි. දෙමව්පියන්ට අප බිහි කිරීමට හැකි වුවද, සිත ඔවුන්ගේ බිහිකිරීමක් නොවන නිසා, සිත බිහිකරන ජීවය, දෙමව්පියන්ගේ තලයට ඉහලින් ඇති තලයකට දැමුවෙමි.

      උ7: අවද්‍රව්‍යයන් ගැන සෙවීම පසුවට තබා සරල උදාහරණයකින් ද්‍රව්‍ය අතර වන ලක්ෂණ පෙන්වන සිදුවීමක්, අපට නොදැනෙන සිදුවීමකින් බැලිය හැක. යකඩයක් තුලින් යකඩයක් නිකම් නොයයි. එසේම චුම්භක දඟරයක් තුලින් යැවීමට තැත් කරන චුම්භකයකටද එවැනිම ලක්ෂණයක් පෙන්විය හැක. විමතිය සඳහා, දිසාව වෙනස්කල චුම්භකයක් එසේ දඟරය තුලින් නොයා සිටීමට ආයාසයක් දැරිය යුතු බව සටහන් කරමි.



      උ8: අවතාරය යනු සිතීමෙන් බිහිවන දෙයකි. මෙහිදී සිතීම යනු මනඃකල්පිත දෙයක් නොව, ස්වාභාවික ක්‍රියා දාමයක් බව කියමි. සිතීම හරහා භෞතික දෙයක් වන ගතද ක්‍රියා කරන බව අමතක නොකරමු. මෙම ක්‍රියාවලියට සිතිවිලි හුවමාරු කිරීමට අවශ්‍යයි නේද? මෙය ද්‍රව්‍යමය සන්නිවේදන ක්‍රමයන්ට වඩා වෙනස්ව ක්‍රියා කරන අංගෝපාංඟයකි. අපේ පාලනයෙන් තොර පාලනයටද, තොරතුරු රැස්කර තබා ගැනීමටද, ඒවා භාවිතා කරන උපක්‍රමද අංගෝපාංඟයන් වේ. ගතට ඇති අංගෝපාංඟය ගතට අවශ්‍ය සේ සැකසී ඇත. සිතට ද තම අවශ්‍ය දේ කිරීමට අංගෝපාංඟයන් ඇති බව පෙන්විය හැක.

      උ9: වේගය කීමට ඇති දෑ මගින් තීරණය වේ.

      සිංහල භාෂාව - 2 යටතේ මා කිව්වේ භාෂාව ගැනය. භාවිතය තම හැකියාවෙන් තීරණය වේ. මට වචනය දැනුම ගොනුකර තැබූ සංකේතයකි. අසභ්‍ය යයි කියන වචන එසේ වූයේ බාහිර බලපෑම් මතය. ඒවාද සිතිවිලි හා බැඳී ඇත. හොඳ නරක තීරණය කිරීම මගේ උත්සාහය නොවේ. එහෙත් වචනයක් ස්වාභාවික සිද්ධියකට බැඳීම එහි අර්ථය බැඳ තබයි. වටහා ගැනීමද පහසුය.

      Delete