Monday, 14 January 2013

ජීවය කුමක් දැයි හඳුනාගමු

අප බොහෝ දේවල් දැනගන්න උත්සාහ කලාට, අප ගැන මොනවද දන්නේ? අප ගැන නො දැන වෙන දේවල් ගැන සොයන කොට, ඉන්න තැන නොදැන යන්න ඕන තැන සොයනවා වගෙයි. මේක ඉතාමත් වැදගත් වන්නේ ඒ ගැන මෙතෙක් ඇසූ කතා වෙන ලෝකෙක ඉන්න ජීවින් ගැන කියනවා වගේ නිසයි. හතර අතේ ඉන්න,  කිසිදු අද්භූත හස්තයකින් නොව, කිසිදු ආයාසයකින් තොරව බිහිවන ජීවය ගැන කියන කොට ඒ ඔක්කොම අප අවට තියෙන ජීවීන්ට කෙලින් ම සම්බන්ධ වෙන්න ඕන. ඒත් සමහරු කියන දේවල් ඇසුවම,  උන් අඩු තරමින් තමන් බිහි වුනේ පියා දායක වී පණ දුන් මව උපතින් ම ගෙනා බිජුවකින් බව වත් දන්නවද කියල සැක හිතෙනවා.

නොදන්න වචන දාල මැවීමක් කිරීම මට අනවශ්‍ය නිසා ස්වභාවික ලෝකෙ ජීවීන් බිහි වන ආකාරය මෙසේ ලියන අතරේ, මා තනිවම අඳුරේ අතපත ගාමින් සොයාගත් ඇත්ත මීට බොහෝ කලකට පෙර සිංහලයන් ඇසූ දත් දෙයක් වීම මම විමතියට පත් කල බව කියමි. කඩුවෙන් නැසෙන්නේ සතුරාද මිතුරාද විය හැකි නිසා, දත්ත දැනට භාවිතයේ ඇති තොරතුරු වලට සීමා කළද, එය එසේ නොවේ යයි දැන ගැනීමට කියමි.

ජීවීන් හා අජීවීන් ලෙස අපට පුළුවන් හැම දෙයම බෙදමු. එවිට ජීවීන් කියන්නේ එක්තරා නිශ්චිත ආකාරයකට ගැලපෙන, කාලාණුරූපව නිශ්චිත රටාවක් සපුරාලන කොටසක් ලෙස ගනිමු. අනෙක් ජීවීන් ලෙස සිතීමට අඹමල් රේණුවක තරම් හැකියාවක් නැති මිනිසුන් ලෙස හඳුන්වන අපද ජීවීන්ට අයත් කොටසක් ලෙස සිතා අපට තේරුම් ගත හැකි දේ මත මේ සෙවීම අරඹමු. මෙහිදී ඉන් එහාට ගොස් සියලු ජීවීන් ගැන කීම තරමක් නුසුදුසු නිසා වැළකෙමි.

දරුවන් හදපු සියලු දෙනම එකඟ වන පරිදි, දරුවකු මවගේ කුස තුල පිළිසිඳ ගන්නේ මව උපතින් ගෙනා බිජූවකට පියා ධාතු මුදා හැර පණ දීමෙන් යයි කියමි. මවගේ බිජුවෙන් පමණක් දරුවකු උපන් කතාවක් එක් සතෙකුට අදාළව ඇසුවත් ඒ ගැන අමතක කරන්නේ ලිපිය සරල කිරීමටය. උපදින දරුවා ගතින් මෙන් ම සිතින් දෙමව්පියනට සම මෙන්ම අසම වන බවද කියමි. මේ සඳහන් කලේ ස්වාභාවික ඇත්තයි. ඒ මත සිට ඉතිරිය විග්‍රහ කල යුතුය. මම ගත හා සිත ගැන නිකමට කීවද මෙයද පසුව විග්‍රහ කරමි.

මිනිසකු ඉපදී හැදී වැඩි විවාහ වී දරුවන් බිහිකර මිය යති. මේ ද ස්වාභාවික ඇත්තයි. මේ ඇත්ත මත බැලුවොත් දරුවා බිහි වීම සරලය. දෙමව්පියන් මිනිසුන් නිසා, දරුවා ඒ දෙදෙනාගේ අනුපිටපතක් යයි කීම පහසුය. මෙම ඇත්ත පමණක් නොව, මේ තුලින්, එන දරුවන් දෙමව්පියන් බිහිකල අනුපිටපතක් යන කතාව අප බරපතල ප්‍රශ්ණයක හිර කරයි. එනම් දරුවන් බිහිකිරීමට දෙමව්පියන් අනන්ත කාලයක් පැවතිය යුතුය. ඇරඹුමක් හෝ අවසානයක් නැත. එම මතය බැහැර කල යුතු තව ස්වභාවික ඇත්තක් ඇත. එනම් වඳ වීමය. දරුවන් නැති වීම, දෙමාපිය දුබලතා, පාරිසරික සම්පත්වල සීමිත බව, මෙම ප්‍රශ්ණය බැරෑරුම් කරයි. දෙමව්පියන්ට දරුවන් නැතිවීම හෝ එක දරුවකු බිහි වීම වඳ වීමේ ලක්ෂණයකි. දරුවන් දෙදෙනෙකු ලැබීම සමව පවත්වා ගැනීමකි. දෙකට වැඩිනම් ජන ගහනය වැඩේ. එවිට වඳවෙන්නේ ජීවත්වීමට අවශ්‍ය සම්පත් හිග වීමෙනි.

ජීවත්වීම යනු නොකඩවා ගත රැක ගැනීමට වෙර දැරීමය. තව ස්වභාවික ඇත්තක් ඇත. අපි ජීවත්වන පරිසරය වෙනස් වේ. ජීවත්වීමට අවශ්‍ය දෑ අඩු වැඩි වීම නැතහොත් නැති වීම ජීවත්වීමට තදින් බලපානවා.

ජීවය පවත්වාගෙන යාමට බලපාන දෑ වලින් ඉතා සුළු කොටසක් කීවෙමි. ප්‍රශ්ණය ඇත්තේ ජීවය සරල දෙයක් නොව ඉතා සංකීර්ණ නිපැයුමක් වීමයි. එම සියලු සංකීර්ණ කොටස් දිගටම ගෙන යාම ලෙහෙසි නැත. එසේ නම් ඒ ගැනද විමසමු. දරුවකු ඉපදීමට පෙර ගබ්සා වෙන්නේ ස්වභාවිකය. එසේ නොවී ඉපදෙන දරුවාගෙ අඟපසඟ අසම්පූර්ණ නම් මරණය අත ළඟය. මිනිස් දරුවකු යනු කොතරම් සංකීර්ණ නිපැයුමක් ද? ඇස් කන් නාසා අත පය වැනි දකින දේ මෙන් තව අතිවිශාල කොටස් ප්‍රමාණයක් ඇත. මේවා සියල්ල අවශ්‍ය කාරිය කලයුතුමය. එසේ නම් ජීවය බිහි කිරීමට කොතරම් දැනුම අවශ්‍ය දෙයක් ද? ඒත් අප වටා ඇති ඇත්ත එය කොතරම් සරල දෙයක් බව  කියයිද? අද තියෙන ප්‍රාථමික තාක්ෂණය ගෙන බැලූ විට යකඩ ඇනයක් වැනි දෙයක් හැදීමට පවා කෙතරම් දුෂ්කර ගමණක් යා යුතු දැයි දනිමු. එසේ නම් ජීවයක් හැදීමට කොච්චර වෙහෙස විය යුතුද? දැනට මා ඇසූ මෝඩම මතය වන විද්‍යාකමේ කියන පරිදි ජීවින්අප වටා සිදුවෙන ස්වාභාවික පරිසර ක්‍රියාවන්ගෙන් බිහි වීද? මෙතරම් සංකීර්ණ නිපැයුමක් අප වටා සිදුවෙන ස්වාභාවික පරිසර ක්‍රියාවන්ගෙන් බිහි වී නම්, එම ස්වාභාවික පරිසර ක්‍රියාවන්ගෙන් ඉතා සරල නිපැයුමක් වන යකඩ ඇනයක් වැනි දෙයක් බිහි කිරීම ඉතා සුළුය. අවාසනාවට මට නම් එසේ හැදු යකඩ ඇනයක් දෙකක්වත් හමු වී නැත. එසේ නම් ජීවය කෙසේ බිහි වීද? අප මිනිසුන් වූයේ කෙසේ ද?

මා ජීවින් ගැන කියන දේවල් යන්තමින් හෝ සඳහන් වන්නේ ඉතා අතීතයේ සිංහලයන් අතර බව දැන ගතිමි. එහෙත් මම එම තොරතුරු වලට වඩා පවසන්නේ සරල සිංහල දැනුමක් හෝ ඇති අයටය. එම කාර්යය කොතරම් අමාරුදැයි කිව යුතු නැත. වචන ටිකක් කියවීමෙන් සියල්ල දත් යයි සිතීම සුදුසු නැත. හරියාකාරව ග්‍රහණය කිරීමට නැවත නැවත කියවිය යුතුමය. ඒ මගදී අතරමං නොවීමටය.

අපට දැනෙන ස්වාභාවික පරිසරයේ ක්‍රියාවන්ගෙන් අප බිහිවූවා යයි කීම දැනටම බිඳ දැමුවෙමි. දැන් අපේ අංඟ ගැන කතා කරමු. ඒවායේ ඇති එක සිදුරක්, කැඩිච්ච තැනක්, අසම්පූර්ණ තැනක් තිබුනොත් එය මරණයට හේතු වෙනවා නේද? එසේම අපට මිනිසුන් ලෙස ස්ථීර සැකිල්ලක් හා නිර්මාණයක් ඇත. ඊට අමතරව මේ සියල්ලම පුද්ගලික බවක් ගන්නා නිසා, ප්‍රශ්ණය තවත් බරපතලය. බිලියන හතක් වන ජනගහනයේ  සමාන දෙදෙනකු සොයා ගැනීමට නැත. ඒ විතරක් නොව හැම කෙනාම තම පරිසරයට ගැලපෙන ස්වරූපයක් ද ගත යුතුය. මේ සඳහා කොතරම් තොරතුරු රැකගෙන ආ යුතුද? දරුවක බිහිවන කළලයේ මුල් අවස්ථාවේ ඇසට නොපෙනන තරම් ය. ඒ තුල සියලු තොරතුරු තිබේද?

ඉහත කතා කලේ අප ගැනය. අපේ පොදු හා තනි තොරතුරු විමසීමකි. අපි උපතින් පසු ඉතිරිය පහල නොවේ. සිරුරේ වැඩීමත්, ජීවත් වීමත් රැඳෙන්නේ අප පරිසරයෙන් උකහා ගන්න දෑ නිසා ය. අපේ ජීවත්වීමට අවශ්‍ය දේවල් සියල්ලම පරිසරයෙන් ලැබේ. ඒවාද බහුතරය තවත් ජීවින් විසින් තැනූ කොටස් වේ. එසේ නම් අපට අවශ්‍ය දෑ හැදීමට අනෙක් ජීවින් ද අපේ අවශ්‍යතා දැන සිටය යුතුය. අප කවදා කෙසේ එම ජීවින්ට එසේ කරන ලෙස නොකීවෙමූ. කෙසේ වෙතත් අප හා අපේ ජීවත්වීමට සහාය දෙන ජීවින් අතර යම් ආකාරයක නිශ්චිත එකඟතාවයක් තිබීම අවශ්‍ය යයි කියමුද? මෙම ස්වාභාවික ඇත්ත සෑම ජීවියෙකුටම යෙදූ විට සියලු ජීවින් නිශ්චිත සබඳතා ඇති අන්‍යෝන්‍ය අවශ්‍යතා සපුරලන එකතුවක් වෙනවා නේද? එය ජීවත්වීටමට පමණක් නොව නැසුනු විට නැවත ජීවත් වීම සඳහාද ඇති බව තහවුරු වේ. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ හැම ජීවියකුටම සුවිශේෂ වූ අනුරටාවක්, පැවැත්මක් මෙතුල තිබීමයි. මෙය කෙසේ වීද? ජීවීන් අතර කිසිදු අදහස් හුවමාරුවක් නැති සේම කිසිදු අනන්‍යෝන්‍ය බැදීමක් ද නැත.

ඉහත කරුණු දැක්වූයේ අප අහඹු ජීවියකු නොව මනාව ගෙතුනු ජීව සමුහයක එක මුහුණක් බව පෙන්වීමටයි. එනයින් ජීවයට පරිබාහිර වූ විදියක් තිබේදැයි ඇසිය යුතුය. ඊට ප්‍රථම මෙම ජීවීන් එක් වරක් නොව නැවත නැවත බිහිවීම නිසා ජීවීන් කෙසේ පවතිනවාදැයි ඇසිය යුතුය. එසේම සමහර ජීවීන් වඳ වී යාමත් ඒ වෙනුවට නව ජීවීන් බිහිවීමත් සිදුවිය යුතුයි නේද? නොඑසේ නම් අද ජීවීන් මීට බොහෝ කලකට පෙර සිටි උන් මෙන්ම අනාගතයේද පැවතිය යුතුය. ඇත්ත එය නොවන බව දනිමු. එසේ නම් ජීවය කුමක්ද කෙසේ බිහිවීද යන්න ගැන සෙවීම අරඹමු.

දැන් මා ඒ සඳහා විදි හතරක් ගනිමි. යමෙක් පස්වන හෝ ඊට වඩා වැඩි විදි දනී නම් කී විට තතු දැනීමට පහදමි. ඊට පෙර ජීවය කොතරම් බහුලද යන වගත් බිහිවීම කොතරම් සුළු දෙයක් ද යන ස්වාභාවික ඇත්ත නැවත මතක් කරමි.

පළමු විදිය:

හින්දු බෞද්ධයන් කියන ගත ඉපදී නැසෙන, සිතිවිළි සමූහයක් වන සිත,  මරණාසන්නයේ ඇතිවන සිතිවිල්ල මත නැවත සිතක් ඇතුව බිහිවීමක් ගැන කියනවා. ඔවුන් ඕපපාතික උපත් ගැනද කියන්නන්ය. මෙහි ස්වභාවයේ දකින ස්ථිර බවත්, ජීවියකුට එම වර්ගයේම ජීවියකු පමණක් බිහිකල හැක යන ඇත්ත නැති කරනවා. මොන තර්ක දැම්මත් ස්වාභාවික ඇත්ත වසං කල නොහැක.

අද මිනිසකු වී, මළ පසු ගවයකු හෝ වෙන ඕනම සතකු විය හැකි නම් එයද බරපතල ප්‍රශ්ණයක් වන අවශ්‍ය දැනුම ලබාගන්නේ කෙසේද? එය දෙමව්පියන් සතු නිසා ඔවුන්ගෙන් ගනී යයි සිතුවොත්, එක් තැනකදී විවිධාකාර සතුන් වන දෙමව්පියන් සතු ඒකීය ගුණ කෙසේ බිහි වුනාදැයි යන ප්‍රශ්ණයට උත්තර නොදේ.

ස්වාභාවික ලෝකයේ බල්ලකු හෝ වෙන සතකු ගෙන වෙනත් වර්ගයක සතකු ලෙස ඌරකු හෝ වෙන යම් සතෙක් ගෙන බැලූ විට, එක් වරක් බල්ලකු ලෙස හැසිරී, ඊ ළඟ වර ඌරකු ලෙස ස්වාභාවික පරිසරයේ ඇති අභියෝග වලට මුහුන දෙන්නෙ කෙසේද? කිසිදු සතකු වෙනස් සතකු ලෙස හැසිරෙන බවක් නොපෙන්වනවා නේද? ඊට වඩා වෙනස් වුවද මිනිසුන් පවා තම ජන්ම හැසිරීම වෙනස් කිරීමට අපොහොසත්ය. කියන ආකාරයට සියලු සතුන් එකම වර්ගයේ විය යුතුය. නොඑසේ නම් අනෙක් සතුන් බිහිකල ජීවයට පරපෝෂිත වූ විශේෂ සත්ව කොටසක් විය යුතුයි නේද? මෙම මතය කාට අදාළ දැයි පසුව කියමි.

මෙම විදියේ ඇති බරපතල අඩුව, නැවත ඉපදීම ඇතැයි කියමින් එක උපතක සිට අනෙකට අහඹු ලෙස පැනීමය. ඔවුන් සිත කියන්නේ සිතිවිලි සමුදායක් ලෙස හඳුන්වා ඇත. එය වචන සමුදායක් පිට කරන කටද වචනයක් යයි කීම හා සම ය. සිත එවැන්නක් නම් මොහොතින් මොහොත වෙනස් විය යුතුය. එසේ නම් එවැනි සිතකින් ස්ථීර දෙයක් වන ගත පාලනය වන්නේ කෙසේද? අද අත එසවීමට එන සිතිවිලි හෙටත් නැත්නම් මැරෙන කම්ම එකම විය යුතුයි නේද? අත ඔසවන සිතිවිල්ලෙන් කකුල එසවීම හෝ කට ඇරීම නොවෙන බව ස්වාභාවික ඇත්තයි. එසේ වේ නම් මානසික ව්‍යාධියක් නොවේද? නැවත ඉපදීමද නිශ්චිතව දත හැකි බව පසු ලිපියක ලියන නිසා, නැවත උපදින කෙනා කෙසේ කලින් උපතට බැඳේ දැයි කීම මෙමගින් නොකෙරෙන බව කියමි. මේ විදිය ස්වාභාවික ඇත්තට ළඟින්වත් නොයන බව පැහැදිළිය.

දෙවන විදිය:

යුදෙව් ක්‍රිස්තියානි මුස්ලිම් කීමට අනුව මේ සියලුම ජීවීන් සර්වබලධාරි දෙවියන්ගේ කෙරුම්ය. ප්‍රශ්ණ කිරීම තහනම්ය. මිනිසා දෙවියන් අනුව හැදූ පිටපතකි. පිටපතේ හැකියාවන් මිනිසුන් වන අප හොඳට දනිමු. එසේ නම් දෙවියන් සියලු දේ දත යුතුය. එසේ නම් ඇයි අප මෙතරම් දුබල? අපි මෙතරම් එකිනෙකාට වෙනස්? ඇයි ජීවීන් වඳ වෙන්නේ. මිනිසුන් වන අප ඇසෙන් කනෙන් කරන දෑ, ඒවා නැතුව කල හැකි නම්, ඇයි අපට ඒ අවයව දුන්නේ.

හින්දු බෞද්ධයෙන් සිරුරෙන් යමක් ඊළඟ ජීවිතයට නොයන අනාත්ම වාදීන් නිසා, සිරුර ඉදිකිරීමට දැනුම දෙමව්පියන්ගෙන් ලබාගෙන අතරමං වූ බව ඉහත පෙන්නුවෙමි. මොවුන් ආත්මය නම් සිරුරේ කොටසක් ගෙන යන නිසාත් මිනිසකු වී ඊට පසු දෙව් ලොව යන නිසාත් නැවත ඉපදීම නැතැයි කියති. එසේ නම් එක් කලක ආත්ම සියල්ලම ගිය විට ජීවීන් නැතිවිය යුතුය. අනෙක් ජීවීන් සියල්ල මිනිසාගේ යැපීමට දෙවියන් මැව්වාළු. එසේ නම් මිනිසුන් නසන, ලෙඩ කරන, මරන ජීවීන් මැව්වේ කුමටද? මිනිසුන් අන් සතුනට වඩා වෙනස් ද? මෙවැනි දෑ ස්වාභාවික ඇත්ත හා සැසඳූ විට බිඳ වැටේ.

තුන්වන විදිය:

මෙය මගේය. ඉතා සරලය. ජීවීන් සියල්ල ස්වාභාවික ක්‍රියාවන්ගෙන් බිහි විය. දෙමව්පියන්ගෙන් දරුවන් සියලු දේ පිටපත් කරයි.  හැදීම වැඩීම නැසීම ස්වාභාවික වෙනස්වීම් පාලනය කරයි.  මා ස්වාභාවික ක්‍රියාවන් කීවේ සියලු විදියේ දේවල් ය. අප වටා ඇති ද්‍රව්‍ය හැදුනේද එම ක්‍රියාවකින් බව පෙන්විය හැක. කලින් කලට වූ ක්‍රියාවන් නිසා බිහි වූ ජීවය එහි ඇති ගතිගුණ නිසා හැදී වැඩී ඇතිවී නැති වී, නැවත හැදී වැඩී ඇතිවී නැති වී යන ද්‍රව්‍යමය නිපැයුමකි.

මෙය විද්‍යාගමේ ගෙතුමට වෙනස් වන්නේ, එහි සඳහන් නොවන ස්වාභාවික ක්‍රියාවන්ද ගෙනය. එනම් සරලව කියනවා නම් විද්‍යාගමේ ස්වාභාවික ක්‍රියාවන් මා කියන ස්වභාවයෙන් අඩකි. ඉතිරි අඩ අප දන්න ස්වභාවයට වඩා වෙනස් මූලධර්ම මත ක්‍රියා කරනවා. අප දන්න එකේ පැවැත්ම ද්‍රව්‍ය වල උදාසීන බව සුරකින එකක්. අනෙක් භාගය සක්‍රීය බව රකින එකක්. එකක සිට අනෙකට යන විට ද්‍රව්‍ය වල මේ වෙනස අත්හදා බලා දත හැක. එම භාගයේදී හැදෙන දේ අප නොදන්න ස්වාභාවයේ කොටස තුල අනන්‍ය ස්වරූපයක් ගනී. එතුලින් දිගටම කොටස් එකතු වීමත්, එකතු නොවී නිශ්චිත වීමත් සිදු වන නිසා, හැදෙන කොටස් ස්ථීරවම එක්තරා විදියකට වෙනස් වන ස්වරූපයක් ගනී. ජීවයද එවැනි ලක්ෂණ පෙන්වන සංකීර්ණ දෙයක් නොවේද? කාලය අනන්තයට ළඟා වන විට ඕනෑම වර්ගයක නිපැයුමක් ඉදිවීමට ඉඩකඩ බොහෝය. ඒ අතර ජීවීන්ට සම නිපැයුම් බිහි වේ.

මෙම විදියට මුල් වුනේ අපේ ස්වභාවයයි. හින්දු බෞද්ධයන් අස්ථිර බව ගැන අඳෝනා නගන බාහිර පරිසරයත් ජීවීන් වන අපත් අතර බරපතල වෙනසක් තියෙනවා. අජීවි සියලු දෑම දිරාපත්වෙලා උදාසීන තත්වයකට වැටෙනවා. උදාහරණ ලෙස සවිමත් යකඩයක් ගතහොත් නිකම්ම දිරාපත් වෙලා උදාසීන වෙනවා. ඒත් අපේ වෙනසක් තියෙනවා. අපි දිරාපත් වීමට කලින් අපට සමාන දෙයක් බිහිකිරීමයි. ඒක දිගටම වෙන කොට දීර්ඝකාලීනව ස්ථීර වීමක් තිබීමයි. යකඩය දිරනකොට එහෙම නැහැ නේද? මෙම සිදුවීමට නම් අපි දන්න පරිසරයේ අස්ථිර බවත් අප නොදන්න ස්ථිර බව දෙන පරිසරයකුත් තිබිය යුතුයි නේද. ජීවීන් වන අපේ ස්වාභාවය මේ දෙලොව තුල හිර වූ දෙයක් බවට අප පත් කරනවා.

මේක, බොහෝම ප්‍රශ්ණ විසඳන, මම කලින් කී ස්වාභාවික ඇත්ත කියන බහුලව ඇති ජීවිතය සැබෑවක් කියල පෙන්වනවා. ඒත් මේකත් කඩන් වැටෙන හේතු තියෙනවා. ඒ කොහොමද බලමු. අපි දෙමව්පියන්ගෙ අනුපිටපත් නම් එයාලගෙ වැරදි එලෙසම පිටපත් කල යුතුයි නේද? ඒත් සැබෑ ලෝකෙ වැරදි ඇති දෙමව්පියන්ට දාව වැරදි නැති දරුවන් උපදිනවා. ඒ විතරක් නොව දරුවෝ දෙමව්පියන්ට  වඩා වෙනස් වෙනවා. අනෙක සිතීමෙන් ගත පාලනය කිරීම හා ස්ථීර සැකිල්ලක් හා අනන්‍යතාවයක් නොකඩවා රකින හැටි, දියුණු වෙන හැටි කියන්න බෑ. ඉතින් මේ විදියත් අසමත් වෙනවා.

සිව් වෙනි විදිය:

මෙයත් මගේම ස්වාභාවික විදියක්. කලින් කී මගේ විදියට වඩා වෙනස් වුනත්, ඒකෙන් බොහෝ දෑ ගන්නවා.

මේ විදියට, ජීවය, සිත හා ගත කොටස් දෙකකට බෙදනවා. ගත හැදෙන්නේ අස්ථිර ස්වාභාවය කියන අර්ධයෙන්. සිත හැදෙන්නෙ ස්ථිර ස්වාභාවය කියන අර්ධයෙන්. සිත නොකඩවා පවතින අංඟයක්. ගත හැදී වැඩී නැසී නැවත නැවත හැදෙන දෙයක්. එතකොට ජීවීන්ගෙ හැසිරීම හරියට කියනවා.

ඒත් ජීවීන් වෙනස්වන ආකාරය, එකිනෙකාට අයත් නිශ්චිත ස්වරූපය ගැන ප්‍රශ්ණ එනවා. ජීවීන් අතරෙ යමෙක් අනෙක් ජීවීන්ට බලපෑම් නොකර මේක වෙන්න බැහැ නේද? එසේම ගත හැදුනෙ සිතට අනුව වුනත් සිත හැදුනේ කෙසේද යන ප්‍රශ්ණය එනවා.

ජීවීන් සියල්ලම ක්‍රියාකරන විදිය ගත්තොත්, ඒ ඔක්කොම එක වගෙයි බිහිවෙන්නෙ. වෙනසකට තියෙන්නෙ තමන් මේ ලෝකෙට එනකොට හිමි තැනයි. මේ ගැන කියන ස්වාභාවික දත්ත තියෙනවා. සරල උදාහරණයක් ලෙස ගත් විට, වේයන් එකම මවකගෙ වුවත් ජීවත්වීමේදි විවිධ ආකාර ගන්නවා. එසේ නම් ජීවීන්ගෙ මුල, තවත් තලයක ජීවියෙක් සිටියොත් එවැනි සියලු දෑ සිදුවිය හැකියි නේද?

දැන් අපි අනෙක් අතට යමු. අපේ ජීවීන්ට ඉහල මට්ටමේ සුවිශේෂ ජීවියෙක් ඉන්නවා. එයා අප වැනී ජීවින් ස්වාභාවික අවස්ථාවන්ට උචිතව හදනවා. අපි ඒ හැදුම් වල සිර වී නැවත නැවත අපට දුන් ආකාරයට ගත බිහි කරනවා. ඒත් අපට අර සුවිශේෂ ජීවියා වෙන්න බෑ.

සැබැවින් ම ස්වාභාවික ලෝකෙ සියලුම ජීවීන් මේ විදිය තුල අපූරුවට බද්ධ වෙනවා.

ඊට එහා යන්නෙ සිංහලයන්ගෙ අවශතාවයටයි. දැන් සුවිශේෂ ජීවියකු වුනාම, අප වගේම වුනත් අපට වඩා විශේෂ දේවල් තියෙනවා. ඒක වෙන්න පුළුවන් නේද? අප අතරෙත් කොච්චර විශේෂකම් තියෙනවාද? ඇයි එක් කෙනෙක් වුනේ. දෙතුන් දෙනෙක් ඉන්න බැරිද? ඒක හැදුනු දේවල් වන ජීවීන් කියනවා. හැම ජීවියම ඒකීයයි. මිනිසුන්ට උපදින දරුව ඒකීයයි. වෙන සතෙක් නූපදී. එක සමාන සුවිශේෂ දෙදෙනෙක් සිටියොත්? ඒක ස්වාභාවිකව නොවෙන දෙයක්. අප අතරෙවත් සමාන දෙන්නෙක් නැහැ නේද?

සුවිශේෂ ජීවියගෙ කිරීම් මොනවද බලමු. ඔහු තමයි සිත හදන්නෙ. අපි සිතට අනුව ගත හදා ගත්තට සිත හදන්න බැහැ නේද? පුළුවන් නම් මනුෂ්‍ය පැටියකු වගේම හරක් පැටියකුත් එකම දෙමව්පියන්ට ලබා ගන්න පුළුවන්.

සුවිශේෂ ජීවියා කොහොමද මේ ලෝකෙ ගැන දන්නෙ. ඒකට නම් එක විදියයි තියෙන්නෙ. එයාටත් මේ ලෝකෙට එන්න ඕන ජීවියෙක්ගෙ වෙස් ගෙන. එහෙම කෙනෙක් වෙනස් වෙන්නේ ගතෙන් නොවන නිසා අපට අනිත් කොටස් වලින් දැන ගන්න පුළුවන්.

එවැන්නෙකුට ගත නැතුව ඒක කරන්න බැරිද? අපේ සිත අපට පාලනය කල නොහැකි දෙයක්. ඒ කීවේ එන අදහස් නැවතීම. බෞද්ධයන් ගත මරා සිත නසන්න හැදුවට හැසිරීමෙන් සිතට වහල් බව ක්‍රියාවෙන් පෙන්වනවා.

ජීවීන් බිහිවීමට අවශ්‍ය අතිවිශාල දැනුම් සම්භාරය සුවිශේෂ ජීවියාට ලැබීමට නම් සියලු ජීවීන් නොකඩවා ඔහුට සම්බන්ධ විය යුතුය. ඒ කාලින තොරතුරු සියලල්ල ජීවයක් බිහිකිරීමට පෙර දත යුතුය. ජීවීන් භාග නොපවතී.

ස්වාභාවික ඇත්ත නම් සිත අනිවාර්යයෙන්ම අප  කවුරුත් දන්න ගත පාලනය කරන බවයි. එය ක්‍රියාවෙන් තහවුරු වේ. එහෙත් සිත අපේ වුවද එය කුමක්දැයි අපි නොදනිමු. ගත පාලනය වන හැටි බැලූවිට සිතද යම් ආකාරයක දැඩි නිපැයුමක් බව තහවුරු වේ. එවැනි දෙයක් බිහිකල ජීවියා අරුම පුදුම හැකියාවක් ඇති අයකු විය යුතුයි නේද. අපේ හැසිරීමද ඔහුට ඇවැසි ලෙස සැදී ඇති නිසා ඔහු කෙබඳු පරමාර්ථයක සිටී දැයි ජීවීන්ගේ හැසිරීම පැහැදිලි කරනවා. අපි කටින් පවසා කණෙන් අසා ගතකින් ගතකට අදහස් හුවමාරු කරමු. එවැනි හැකියාවන් දුන්නකු අපේ සිත් අතරද එවැනි හැකියාවක් දී ඇති බව සිත පිළිබඳ සංවේදී වූ විට දත හැක. එය වැදගත් වන්නේ දැනුම ඇවැසි තැන සැම ජීවියකුටම දීමට හැකි නිසාය. නොඑසේ නම් තිරිසන් සතුන්ගෙ ශරිර ඉදිකල දැනුම උන්ගේ ක්‍රියාවෙන් ද පෙන්විය යුතුය. එවැනි හැකියා ඇති විට, සිතූ පමණින් සිත වෙනස් කල හැකි, ද්‍රව්‍යමය අංඟ වලට බලපෑම් කල හැකි ප්‍රබලයකු වේ.

අප වටා සියලු දේ අස්ථිර යයි කියන උන්, ඒවා සියල්ල ස්ථිර, වෙනස් ලෙස,  පවතින්නේ උදාසීන තත්වයේ බව නොදකියි. ඉතින් උදාසීන බව කවුරු බිහි කලාද? ජීවය බිහිකිරීමට එම හැකියාවන් ඇති සුවිශේෂ ජීවියාට ඒවා කිරීමට ඇත්තටම කල යුත්තේ සිතීම පමණකි. එසේ නම් ස්වභාවයේ ලක්ෂණද සිතීමෙන් ඔහු බිහි කලාද ? ජීවින් ජාතියක් අද පවතින ස්වරූපය ගැනීමට, නිත්‍ය බවේ අන්ත දෙකම යොදා ගත යුතුය.

තවත් විශේෂ යමක් කියමි. අද කතාවෙන මහා පිපිරුම් න්‍යායය සැබෑ යයි කීමට දත්ත නැති වුවද, ඇත්ත ඊට වඩා සරල වූවක් වුවද, එම අන්තවාදී දැකුම තුලින් බැලුවද, අද සිටින ජීවීන් බිහිවීමට අවශ්‍ය දැනුම ඊට පෙර සිට රැඟෙන ආ යුතු වන්නේ, ජීවය යනු නිමක් නැති දෙයක් බිහි කිරීමක් නිසා, කවදා බිහිවුවත් ඊට පෙර මුළු දැනුම දැන සිටිය යුතු නිසාය.


සිතීමද ද්‍රව්‍යමය ක්‍රියාවක් ලෙස ගත යුතුය.

අපේ සිත හා ගත සරල නිර්මාණ වුවත් ඒවා ගොඩ නැගූ දැනුම, වෙන කිසිදු විදියකට දෙවැනි නොවන, අනර්ඝතම නිපැයුම් වේ. දැනුම එකතු කිරීම, බෙදීම සඳහා ද යොදා ගන්න ක්‍රමය තරම් අපූරු වෙන ක්‍රමයක් නැත. අනන්ත කාලයකට ගැණ බැලුවද, එම සුවිශේෂ ජීවය ගමන් කර ඇත්තේ එකම දිසාවටය. එනම් ජීවිත රැකීමත් පැවැත්ම ඉදිරියට ගෙන යාමත් සඳහා ය. උදාසීන ද්‍රව්‍ය මත බිහිකල ගත කෙතරම් අභියෝග වලට මුහුණ දී ඇත්ද කියනවා නම් තවමත් ළදරු වියේ යයි කිව හැක.


විද්‍යාගමිකයන් පැරදුනේ ස්වභාවික යයි අස්වාභාවික දේ සැලකීමත්, අප දකින ස්වභාවය කොතරම් සරලද යන්න නොදැනීමත් ය. නොදකින, නොතේරෙන දේ නැතැයි කීම අමන විද්‍යාගමිකයන්ගේ සටන් පාඨයයි.

මම දැන් කීවේ ජීවය ගැනය. එය බිහිවු ආකාරයද, වෙනස් කරන ආකාරයද නිරාකරණය කලෙමි. මෙහි කිසිදු අස්වාභාවික තත්වයක් නොපෙන්වයි. ස්වාභාවික ඇත්ත හා බැඳේ. සියලු දේ විස්තර ඇතුව කියනවා. ඉතින් මම කී දේ මට කලින් සිංහලයන් දත්තේ කෙසේද? ඒ ගැන ඊ ළඟ ලිපියේ ඇත. මෙහි අන්තර්ගතය කෙටි වූද අත්‍යවශ්‍යම වූද කරුණු වේ. සිත හා ගත බැඳෙන අයුරු ඇතුළු විශේෂ ජීවිය සතු බලයන් ගැන නොකීවෙමි.

(සැකසුම් අංකය : 0 )


6 comments:

  1. අග්‍රගණ්‍යයි! ඉදිරියටම යමු!

    ReplyDelete
    Replies
    1. මේක ඉතාමත් වැදගත් එකක්. රහත් (රහස් දත්) වීමටත් ඕන. නැවත නැවත කියවන්න. ඉතා වැදගත් දත්ත වසං කලේ හොඳට.

      Delete
  2. ඔව් නැවත නැවත බලනවා..අග මුල පැහැදිළිව දැනගන්න ඕනෙ..

    ReplyDelete
  3. අනේ මන්දා, මටනම් අන්දොස්!

    ReplyDelete
    Replies
    1. උත්සාහවන්තයා ජය ගනී. අප උපදින කොට නොදත් දේවල් කීයක් අද දන්නවා ද? ඒවා දැනගත්තේ කෙසේ ද?

      Delete
    2. K / අන්දොස්! /// කෝරලේ මහත්තයා...:)

      Delete