Tuesday 8 January 2013

මිනිස්කම


මුලින්ම මගේ සිතේ ඇති මහ බරක් වන මිනිසුන් තිරිසනුන්ගෙන් වෙන් කරන විශේෂ ගති ලක්ෂණ ලියා මෙම සටහන අරඹමි.

තිරිසන්කම හැම සතෙකුටම පොදු හැසිරීම් රටාවයි. විවිධාකාරයෙන් බැලුවද, සුවිශේෂ කෝණයකින් බැලූවිට, හැම සතෙකුගේම තිරිසන්කම, ඒකීය බවක් ගනී. එනම් හැසිරීම, වඩා පැහැදිළිව කියනවා නම් ජීවත්වීම, තම වර්ගය මත නොරඳන විශ්ව ස්වභාවයක් ගන්නා බව තහවුරු වේ. එම රටාව තමාගේ ජීවිතය රැක ගැනීමටත්, පැවැත්ම රැක ගැනීමටත් පොදු වූ එකකි. මේ රටාව හඳුනාගැනීමට දහසකුත් එකක් උදාහරණ අවට පරිසරයෙන් සොයා ගත හැක.

තිරිසන්කම ගැන කී විට මිනිස්කම කියන්නේද තිරිසන්කම නොවේදැයි ඇසිය යුතුය. එහෙත් විවිධ මිනිසුන්ගේ හැසිරීම, වඩා පැහැදිළිව කියනවා නම් ජීවත්වීම, හැදෑරූ විට ඇති වෙනස, තිරිසන්කමේ ඇති විශ්ව ස්වභාවය නොගනී. නොඑසේ නම්, එකිනෙකාගේ හැසිරීම් රටාව තිරිසන්කමට පොදු විවිධ ගති සමඟ එම ගති වලින් බැහැර වීමක් ද පෙන්වයි. මෙම  බැහැරවීම තමන්ගෙ අභිමතය අනුව නොව බාහිර බලපෑම් නිසා වූවක් බව, එකිනෙකාගේ හැසිරීම් රටාව තිරිසන්කමට ඈත් වන ප්‍රමාණයේ වෙනසින් මනාව පිළිබිඹු වේ.

සිංහල බෞද්ධ යයි උපතින් මිනිස් බව ගෙන, අවට පරිසරයේ සිටියවුන්ගේ ක්‍රියා කලාපයේ වෙනස්කම් නිසා තමා සිංහලයකු හෝ බෞද්ධයකු නොවන බව කීමට තරම් කලකිරී රට හැර ගියේ, 87-89 කාලයේ යොවුන් වියේ උන් මරා පුලුස්සන අයුරු දැකීමෙනි. එතැන් සිට සංක්‍රමණිකයකු ලෙස, නා නා විදියේ ජාතිකයන් හා ගැටී උකහාගත් එකිනෙකාගේ හැසිරීම් රටාව මත මම මිනිස්කම කුමක්දැයි සෙව්වේ මටම ආවේණික, මගේ සිතුම් පැතුම් වලට ගැලපෙන ජාතියක් බිහි කිරීමේ අදිටනෙන්ය. මගේම ජාතියක් බිහි කල විට එය කෙතරම් මා ඉපදුන පරිසරයේ තවමත් සිටින මිනිසුන්ට කෙතරම් සමීප දැයි ඒ පරිසරය හැර ගිය මට සිහි වූයේ බොහෝ කලකට පසු අහම්බෙනි. එතැන් සිට සිංහල යනු මගේ කමට සරිලන ජන කොටස බවත්, මා වටා සිටි බොහෝ උන් තමන් සිංහල යයි කියා ගත් සංක්‍රමණිකයන් බවත්, උන්ගෙ ගති මගේ ගතිවලට පටහැනි වූයේ උන් නාමිකව සිංහල වුවත්, කෙරුවාවෙන් වෙන ජන කොටස්වලින් ගැලවී නන්නත්තාරේ ගිය සංක්‍රමණිකයන් බව දැනගත් විටය.

සියලු ජාතීන්ට අයත් තිරිසන්කම හල විට, ඉතිරි වන මිනිස්කම යයි හඳුනාගත් හැසිරීම් රටාවල මුළු එකතුව සිංහලකම තුල දුටිමි. එනයින්, සිංහලකම, මිනිස්කම ලෙස මම හඳුනා ගතිමි.

සිංහලකම තුල ඇති හැසිරීම් රටාව විවිධාකාරයෙන් බැලුවද, සුවිශේෂ කෝණයකින් බැලූවිට, සිංහලකම ඒකීය බවක් ගනී. එනම් හැසිරීම, වඩා පැහැදළිව කියනවා නම් ජීවත්වීම, පුද්ගලයා මත නොරඳන විශ්ව ස්වභාවයක් ගන්නා බව තහවුරු වේ. එම රටාව තමාගේ ජීවිතය රැක ගැනීමටත්, පැවැත්ම රැක ගැනීමටත් පොදු වූ එකක් වූ තිරිසන්කමට වඩා, තමන්ට හැකි පමණින් තම හැසිරීම පාලනය කර "ජීවිතය රැක ගැනීමත්, පැවැත්ම රැක ගැනීමත්" පොදු අයිතියක් ලෙස දැකීමකි. එය සැබැවින්ම තම දරුවන් සියලු දෙන ජීවත්වනු දැකීමක්, දරුවන් බිහි කර පවතිනු දැකීමට දෙමව්පියන් තුල ජනිත වන හැඟීම් වල බල ගැන්වීමක් ලෙස හැඳින් විය හැක.

සිංහලකම තුල දකින විවිධත්වය යනු තමන් කෙතරම් දුරට තිරිසන්කමෙන් මිදුනේදැයි දක්වන විග්‍රහයක් වේ. මම සිංහල කම ලෙස අරුත් දෙන්නේ, "ජීවිතය රැක ගැනීමත්, පැවැත්ම රැක ගැනීමත්" පොදු අයිතියක් ලෙස දැකීම සඳහා තිරිසන්කමෙන් මුළුමනින් ම මිදීමය. මෙහි ඇති විශේෂත්වය වන්නේ, තිරිසන්කම මුල් කොට ජනිත වූ මිනිස් වර්ගයා කෙතරම් සාර්ථකව මිනිස්කමට නතු වේදැයි යන අභියෝගයයි.

මිනිසුන් අතර බහුතරයක් නොමිනිසුන් ලෙස හැසිරෙන පරිසරයක, මිනිස්කම නොව නොමිනිස්කම රජ කරන බව මා අත්දැකීමෙන් දනිමි. නොමිනිස් මතවාද තුල සිරවූවන් පැරදීමේ අභියෝගයට මුහුණ දී මිනිස්කම හෙවත් සිංහලකම දිනවීම මගේ අභිප්‍රායයි. මගේ උත්සාහය සිංහලකම ඇති උන් හා සිංහලකම අගයන උන් වෙනුවෙන් මා සොයා ගත් දැනුම ලියා ගොනු කිරීමයි. අද සිංහලයන් අතරට වැද සිංහල වෙස් ගත් සංක්‍රමණිකයන්, සිංහලකම ගැන කතා කිරීමටද අවස්ථාවක් නොදෙන කල, මගේ වෑයම උන් පරදා සිංහලකම රැකීම යයි කියමින් මෙම සටහනේ මුල් පිට නිම කරමි.


(මෙම බ්ලොගය මට මෙන්ම සිංහලයන්ට වැදගත් වූ පර්යේෂණ දත්ත සීමිත ලෙස අන්තර්ජාලයට මුදා හැරීමකි. මගේ උත්සාහය හැකි පමණින් තොරතුරු බිඳක් දී සිංහලයන් හඳුනා ගැනීමය. දැනුම කෙතරම් ප්‍රබල දැයි කියනවා නම් බොහෝ තොරතුරු වාරණය කිරීමට සිදු වේ. යමෙක් එකතු කිරීමක් හෝ ප්‍රශ්ණ නැගීමක් කෙරේ නම් අගයමි. ඒ මා කියන දෑ හුදු විශ්වාස නොව දත්ත මත ලියූවක් නිසාය.)

7 comments:

  1. දෙවෙනි වටයටද කියවීම පටන් ගතිමි....

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. ඇත්තම කියනවා නම් මම ලිව්වට, මමත් නැවත නැවත කියවනවා. ලියන කොට එක ලෝකෙක. කියවන කොට තවත් එකක. එතකොට මම ලිව්වා කියල හිතන්නෙ නෑ. හැම නොදන්න දේම දැනගන්න නම් දන්න දේ මොනවද කියල ප්‍රත්‍යයක්ෂ කරගන්න ඕන.

      Delete
  2. කියවීම පටන් ගතිමි.

    ReplyDelete
  3. ලිපිය කියවීමි. ඔබහා එකග වෙමි. තිරිසන්කමින් මිදුන ජාතියක් ඇත්නම් ඒ සින්හලයා පමනකි.(අතීතයේ) දැන්නම් සින්හලයා තරම් තිරිසනුන් වෙනත් ජාතියක නැතිතරම්. ඉදිරියටත් කියවමි.

    ReplyDelete
  4. අගෙයි මිත්‍රයා ඉතා අගෙයි....

    ReplyDelete
  5. අද සිට කියවීමට පටන්ගතිමි.

    ReplyDelete
  6. ලිපිය කියවීමට පටන් ගැනීමට පෙර දෙයක් සදහන් කිරීමට කැමැත්තෙමි..
    සහෝදර කැලුම් සහෝදරයා ලබා දුන් ගුරුහරුකම් වලට බෙහෙවින් තුති පුදමි..
    සිංහල ජාතිය ගැන ඉගෙනීමට අතීතයට යෑමට ලැබීම භාග්‍යයක් කොට සලකමි..
    ලිපිය කියවා නැවත් සටහනක් තබන්නෙමි..

    ReplyDelete

Note: only a member of this blog may post a comment.